වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ගී ගායනයෙන් පෙරහැරේ නොදුටු පැතිකඩ ගෙනෙන මංජු ශ්‍රී රන්දෙණිය

ගී ගායනයෙන් පෙරහැරේ නොදුටු පැතිකඩ ගෙනෙන මංජු ශ්‍රී රන්දෙණිය

මිටි මිනිසුන්ගේ පෙරහැර . . .
කස පුපුරන හඬ ඈතින් ඇහුනට
කස හඬවන අය පෙනෙන්නෙ නෑ
බෙර පද තාලෙට නැට්ටුවො නැටුවට
නැටුම් නටන හැටි බලන්න බෑ

උස ගිය ඇත්තෝ බොහෝ පින් කළ ඇත්තෝ
දෙනෙත් පුරා පෙරහැර බැලුවා
පින් නැතුවද මන්දා - මං උස නැති හන්දා
බලන්න බැරි පෙරහැර ඇසුවා

පිනුම් ගසනවලු - ගිනි එළි කැරකෙනවලු
කස ගැහුවෙත් මං වගෙ අයලු
පෙරහර බලනව මං උස ගියෙ නැතුවට
මටත් හරිම ආඩම්බරලු

පද - ගාමිණී චන්ද්‍රසේන
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - මංජු ශ්‍රී රන්දෙනිය

ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයකු වන මංජු ශ්‍රී රන්දෙනිය දිගු නිහඬතාවයකින් පසු නැවතත් ගායන ක්ෂේත්‍රයට පිවිස සිටින්නේ අලුත්ම ගීතයක් සමඟිනි. ගාමිණී චන්ද්‍රසේන රචනා කොට එච්. එම්. ජයවර්ධන සංගීතවත් කළ කස පුපුරන හඬ ගීතය ගායනා කරමින් ඔහු මේ දිනවල රසිකයන් අතරට එක්ව සිටී. පෙරහැරේ නොදුටු පැතිකඩක් නමින් නම් කොට ඇති කස පුපුරන හඬ ගීතය සමඟ මංජු ශ්‍රි තවත් ගීත දෙකක් රසිකයන්ට තිළිණ කොට ඇත. මහගමසේකර ශූරීන් රචනා කොට රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ ආයෙ කිසිවකු සමඟ නොවේ, බන්දුල නානායක්කාරවසම් රචනා කොට රෝහණ වීරසිංහ සංගීතවත් කළ ගුවනේ මල් පීදිලා ගීත ගායනයෙන් මංජු ශ්‍රී රසිකයන් අතරට එක් වී සිටිති. වසර විසි පහක පමණ නිහඬතාවයකින් යළිත් ගීත ක්ෂේත්‍රයට පැමිණ සිටින මංජු ශ්‍රී 70 දශකයේ ගීත ක්ෂේත්‍රයට එක් වූවෙකි. වයස අවුරුදු විසි දෙකේදී ගීත ගායනයට ආධුනිකයකු ලෙස එක් වූ මංජු ශ්‍රී 1985 දී ස්වර සංකල්ප නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් වත්තල පුරහලේදී පවත්වනු ලැබීය. රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ එම ප්‍රසංගයේ මංජු ශ්‍රී මාලිනී බුලත්සිංහල සමඟ දුවන මුවන් දැක ගීතය යුග ගායනා කරමින් ඉදිරිපත් කරනු ලැබීය. 1988 දී ප්‍රේමාරාධනා නමින් ගීත දොළහක කැසට්පටයක් රසිකයන්ට තිළිණ කළ මංජු කිසිදා අධීවේගී ගමනක් අපේක්ෂා නොකළේය.
1604/6, මාලඹේ පාර, කොට්ටාව, පන්නිපිටිය මංජු ශ්‍රී ගේ ලිපිනයයි.