වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




‘අපි මිනිහාට ගාණක් දීලා ෂේප් වෙන එක හොදයි වගේ සුදු නෝනේ’

‘අපි මිනිහාට ගාණක් දීලා ෂේප් වෙන එක හොදයි වගේ සුදු නෝනේ’

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

බිනරි නිළියක වන්නට පෙරුම් පිරුවේ පාසල් අවදියේය.ඇය ජීවත්වූයේ බොරැල්ලේ ය. ඇයගේ පියා පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයෙකු විය.විනෝද් ජීවත් වූයේත් ඇගේ නිවහන තිබුණ පැත්තේමය. ඔවුහු එක වයසේ හොද මිතුරෝ වූහ. නාට්‍යකරුවෙකු වීමේ අරමුණින් කල් ගත කළ විනෝද්ගේ එම අපේක්ෂාව බිඳ වැටුණේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම නිසාය.ඒ වන විට ඔහු සිය මුල්ම නිර්මාණය වේදිකාවට ගෙන ඒමට සැලසුම් කරමින් සිටියේය. විනෝද් ගේ හව්හරණයට කිසිවකු නැති වෙයි.නාට්‍යකරණය පිළිබඳ සියල්ල අත හරින විනෝද් ජීවිතය අලුතින් අරඹන්නට ඇඹිලිපිටියේ පදිංචියට ගියේය. පාසල හමාර කරන බිනරි නිළියක වීමේ අභිලාෂය පසෙක ලා මව්පියන් සොයා දුන් තරුණයෙකු හා විවහ ව ඉතාලියට ගියාය. එයින් වසර ගණනාවකට පසු ඇය ආපසු එන්නේ විවාහය අතරමග බිද වැටීමෙනි.මේ වන විට චුට්ටං මුදලාලි වෙනත් ගැහැනියක හා හාදව අනුරාධපුරේ පදිංචියට ගොසිනි.තම නිවාසය අලුත් වැඩියා කරන්නට පැමිණෙන ඩික්සන් සමග හාද වන බිනරි ඔහු හා පවුල් කන්නට පටන් ගත්තාය.විනෝද් සහ බිනරි ගේ පැරණි නාට්‍ය සගයකු වූ දර්ශන ගේ මග පෙන්වීම මැද බිනරි චිත්‍රපටයකට ආයෝජනය කරන්නට පටන් ගත්තාය.ඒ තම අතැති මුදලිනි. එහි ප්‍රතිවීරයාගේ චරිතය රඟපානුයේ ඩික්සක්ය.චිත්‍රපටය අවසන් කරන්නට මත්තෙන් බිනරි සතු මුදල් අවසාන වෙයි.මේ අතරවාරයේ හදිසියේ අහම්බෙන් හමුවන විනෝද් බිනරිට උපකාර කරන්නට පටන් ගත්තේය.එහෙත් එය අතරමඟ බිඳ වැටෙනුයේ කිසියම් පිරිසක් විසින් විනොද් ඝාතනය කරනු ලැබීමෙනි. විනෝද් පාතාල ලෝකයට සම්බන්ධ නායකයෙකු බැව් අනාවරණය වනුයේ එයින් පසුවය.මේ අතරවාරයේ ඩික්සන් ද විවාහකයෙකු බැව් දැන ගන්නා බිනරි ඔහු නිවසින් පළවා හරියි.එහෙත් ඇය සොයා එන ඩික්සන් නිවස තුළ වළ දමා ඇති විනෝද් විසින් සොරා ගන්නා ලද මුදල් හා රන් ආභරණ බිනරි වෙත පෙන්වා දෙන්නේ ඇය විස්මයට පත් කරමිනි.ඩික්සන් එම මුදලින් යළි චිත්‍රපටය අරඹන්නේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු පත් කර ගනිමිනි.මේ බොරැල්ල හන්දියේ කතාන්තරයයි.

අද එතැන් සිට...

හිටි අඩියේ ඩික්සන් චිත්‍රපටයේ වැඩ අරඹා ගන්නට මුදල් සොයා ගත්තේ කෙසේදැයි අලුතින් චිත්‍රපටය බාර ගත් සුරේෂ් දැන සිටියේ නැත.

අසන්නට සිටියත් ඒ ගැන අසන්නට ඔහු මැලි විය.නිවසට ඇවිත් තිබුණ විදුලි බිලේ හා ජලයේ රතු පත සිහිපත් වීම ඔහුගේ මුව දොරගුළුලෑමට ප්‍රමාණවත් විය.මේ වන තෙක් තමාට සිදුවුණේ අනුන් විසින් අඩක් නිම කළ චිත්‍රපට කිහිපයක් අවසන් කරන්නට යැයි සුරේෂ් සිත සදා ගත්තේය.

දවසින් දවස චිත්‍රපටයේ වැඩ කටයුතු කරන ආකාරය බලන්නට බිනරි දර්ශන තලයට ආවා ගියාය.

.‘මේ පික්චර් එක දුවාවි බිනරි.ඊට පස්සේ හොද ටෙලි නාට්‍යයක් කරන්ඩ.මං අල්ලල දෙන්නම් චැනල් එකක්.’

කැමරාව මෙහෙය වන නිමල් පැවසුවේ බිනරි දෙස කෑදර බැල්මක් හෙලමිනි.

‘ඩික්සන් මේ ප්‍රොඩියුසර් කියලා හරියන්නේ නෑ.නෝනවත් සීන් එකකට දාන්ඩකෝ’

ඔහු පැවසුවේ බිනරි සිය මුල් යෝජනාව සිනහවකින් අනුමත කළේයැයි හැඟි ගිය නිසාය.තැලෙන යකඩය රත්වුණ කාලයට උඩ දමා තැලිය යුතුය.එය එවිට ඕනැ අතට නම්මා ගත හැකිය.

‘සුදු නෝනේ.අපි ගාව සල්ලි තියෙන විත්තිය කවුරුවත් දැන ගන්ඩ ඕන නෑ’

ඩික්සන් පැවසුවේ එදින රාත්‍රියේය.බිනරි තමා සමග තිබුණ අමනාපය සදහටම තුරල් කර ඇතැයි ඩික්සන් කැට කඩා ගෙන තමාටම දිවුලේය.තමා ගේ රූපය සිනමා රූපයට නැගෙනු ඇතැයි බිනරි සිතුවේ නැත.චිත්‍රපටය නිපදවන අතරතුර තමාටත් රගපාන්නට අවස්ථාවක් ඉල්ලා සිටින්නට ඇයට කිහිප වරක්ම හැඟුණත් ඇය එය කියන්නට ඉක්මන් වූයේ නැත.අද එම වාරය ආවේය.කැමරාවෙන් බිනරි ගේ මුහුණ දුටු නිමල් ඇය කැමරාව විසින් ආලය කරනු ලබන්නියකැයි වටහා ගත්තේය.

‘නෝනා ඇයි ෆිල්ම් වල ඇට් කරන්ඩ හිතුවේ නැත්තේ’

ඔහු ඇසුවේ ඊළග දර්ශනයේය.බිනරිට රඟපාන්නට තිබුණේ ඩික්සන් සමගය.ඔහු මෝටර් රථයකින් පැමිණෙනෙද්දී ඇය සමග කතා කරන්නේ විස්තර අසන්නටය. ඩික්සන් ගේ චිත්‍රපටයේ චරිතය හොඳීන් ප්‍රෙක්ෂකයන්ට වටහා ගන්නට අලුතින් ලියන ලද මේ දර්ශනය හොද වනු ඇතැයි නිමල් පැවසුවේ සුරේෂ් ඒගැන යමක් කියන්නට පෙරාතුවය.

තමා රඟපෑ දර්ශනය බලා ගන්නට තවත් දින ගණනාවක් ගත වනුඇත.එහි තමා ලස්සනට ඇතිදැයි බිනරි කල්පනා කළාය.

‘සුදුනෝනේ’

ඩික්සන් යළිත් හීන් කෙදිරියකින් කතා කළේය.ඔහු කතා කරන හඩ කිසිවකුට හෝ ඇසෙතැයි කල්පනා කල වැන්න.

‘සුදු නෝනේ.අපිට විනෝද් මහත්තයාගේ සල්ලි ලැබුණ කියලා දැන ගත්තොත් හොඳ නෑ.ඒ හින්දා අපි ණයක් ගත්තා වගේ වැඩ කරන්ඩ ඕනෑ.’

බිනරි ට බියක් ඇති විණ.ඇය ඩික්සන් ගේ අතින් අල්ලා ගත්තාය.ගැහැනිය ගේ හද ගැස්ම කියන්නට තමන්ට හැකිවිනැයි ඒ වර ඩික්සන් කළ අනුමානය ටක්කෙටම හරි ගියේය.

‘ඇයි ඩික්සන් එහෙම කිව්වේ.’

ඔහු මොහොතක් නිහඩව සිටියේය.

‘අද දර්ශන මාව හම්බ වෙන්ඩ ආවා’

බිනරි උන් තැනින් නැගිට ඩික්සන් ගේ මුහුණ දෙස බැලුවාය.

‘මොකටද එයා ආවේ.අපිට කරපු හරිය මදිද? නොදන්නා පික්චර් ගහන්ඩ ගිහිල්ලා’

‘මිනිහා ඇවිත් කියනවා සුරේෂ් ට පික්චර් එක දුන්නාට කමක් නෑ ලූ.ඒ වුනාට මිනිහාට ගාණක් දෙන්ඩ තියෙනවාලු.ඒක දෙන්ඩ ලු.’

‘මොනවා කොහේ තියෙන ගාණක් ද?’

‘අනේ ද කියන්නේ.ඒ යකා හැම එකාටම පික්චර් එකේ කතා කරගෙන තියෙන්නේ ගාණක් තියා ගෙන.අපි කෙලින්ම ආටිස්ට්ලට කතා කළා නම් ඉවරයි.’

‘ඇයි ඩික්සන් ඒ ගැන මට කලින් නොකිව්වේ’

‘මම කියන්න ගියේ නැත්තේ දර්ශන ලා සුදු නෝනෙ ලා පරණ යාළුවො හින්දා‘

‘ඒ වුණාට ඩික්සන් මේවා ගනුදෙනු වැඩ.අනික ඔය කියන තරම් යාළුකමක් තිබුණේ නෑ.විනෝද්ගේ යාළුවානේ ඒ දවස්වල.නාට්‍ය කරන්ඩ එනවා නේ.’

‘මිනිහා කියනවා පික්චර් එකේ කතාව එයාගේ හින්දා ඒකට ගාණක් දෙන්ඩලු.වැඩ කරාටත් එක්ක.’

බිනරි මිනිත්තුවක් නිහඬ ව සිටියාය.

‘කීයක් ද? අපි එහෙම ගනුදෙනු කතා කළේ නෑනේ.’

‘මං කිව්වා. ඕක දර්ශන මහත්තයාට ගෙවනවා නම් ඔය කතාව ලියපු ඉන්දියාවේ මහත්තුරුන්ටත් ගෙවන්ඩ වෙයි නේ කියලා‘

‘හොඳ වැඩේ.ඉතින්’

ඩික්සන් මොහොතක් නිහඩ ව සිටියේය.

‘මේක අහලා සුදු නෝනේ කලබල වෙනවා නෙවේ.මිනිහා ලක්ෂ පහක් ඉල්ලනවා’

‘ඒ මොන මගුලකටද?’

බිනරි කෝප වූ බවක් පළ කළාය.

ඕක නේ සුදු නෝනේ.මිනිහා කියනවා විනෝද් මහත්තයාගේ ගෝලයෝ සල්ලි ගැන හොයනවාලු.

‘ඒ කිව්වේ.’

‘විනෝද් මහත්තයාලා ගේම් දුන්නාට සල්ලි බජාර් එකේ ගේමට සෙට් වෙච්ච් එවුන්ට බෙදලා නෑ.ඒවා පරිස්සමට අරන් තියලා තියෙන්නේ එක එක තැන්වලනේ.දැන් විනෝද් මහත්තයා නැති හින්දා උන් සල්ලි හොයනවා.දර්ශන මගෙන් අහනවා.එක පාරට ලොතරැයියක් ඇදුණ ද කියලා.’

බිනරි ඉහලට ගත් හුස්ම බිම නොදමා අසා සිටියාය.අනතුරුව ඇය කතා කළේ දළ බිඳුණු ගානටය.

‘ඉතින් මිනිහා දැන ගෙන ද?’

එබසට ඩික්සන් කිසිත් නොකිව්වේය.ඔහු කතා කළේ තවත් වෙලාවක් ගත වූ තැනය.

‘අපි මිනිහාට ගාණක් දීලා ෂේප් වෙන එක හොදයි වගේ සුදු නෝනේ’

‘ඒ මොකටද?’

‘මිනිහා දන්නවා අපේ ගාව විනෝද් මහත්තයාගේ සල්ලි තියෙන විත්තිය’