වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




කලා භූමියේ සප්ත පියනැඟුම

කලා භූමියේ සප්ත පියනැඟුම

කලා භූමි ශිල්ප ශාලිකාව තිස්තුන් වසරක් පුරා බිහි කළ ශිල්පී ශිල්පිනියන් එක්ව සත් වැනි වරටත් ඉදිරිපත් කරන 'කලාභූමි සප්ත පියනැඟුම' ප්‍රසංගය මේ මස 18 වැනිදා සවස කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත් වේ. සරල හා ශාස්ත්‍රීය සංගීතයෙන් සහ නැටුම්, ගැයුම්, වැයුම් රසයෙන් සපිරි ශිෂ්‍ය කුසලතා එළි දැක්වෙන මේ කලා රසෝඝය පිළිබඳ පූර්ව සටහනකි මේ....

අප පියගැට පෙළ නැඟ යන විටත් ඈතින් ඇසුණු මනහර ගීත නාදය අපේ සවන්පත් පිනවන්නට විය. මඳ වේලාවකින් අප දුටුවේ සර්පිනාවේ සප්ත ස්වර මත මෘදුව අතැඟිලි විහිදුවමින් සිටින සංගීත් නිපුන් මංජුලා සෙනෙවිරත්නය. ප්‍රධාන සංගීත උපදේශිකාව වන ඇය මහත් උනන්දුවෙන් කන යොමා සිටින්නේ ගායන වෘන්දයේ සාමාජික සාමාජිකාවන් නියමිත ස්වරස්ථානයෙන් පිහිටන්නේද කියාය. විශාරද සනත් අජන්ත පීරිස් ගායක පේළි වෙත ගොස් විවිධ උපදෙස් දෙනු පෙනේ. විශාරද විමුක්තා අධිකාරි තාලම්පට වයමින් පිරිස නියමිත ලයේ පිහිටුවන්නීය. ඒ අතර සංගීත් නිපුන් සංජය හේමාල් වාහලතන්ත්‍රි ගිටාරයේ තත් හඬවමින් සංගීත ඛණ්ඩ ගීයට මුසු කරයි.

ලලිතකලාවේදී ට්‍රින්සි රුවන්පුර, විශාරද චින්තානි සෙනෙවිරත්න, ලලිතකලාවේදී දීනූපා කෝදාගොඩ ගායක කණ්ඩායම තාල තබන ආකාරය මෙන්ම මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි අංග චලනයන් නිසි ලෙස සිදු කරන්නේදැයි සොයා බලති. සංගීතඥ ලක්ෂ්මන් විජේසේකරගේ හඬ අතරින් පතර උස්ව මතු වන්නේ ළාබාල ගායක පිරිස ගීතවල අලංකාර කොටස් ගයන විටදීය. සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මේ සියල්ල නිසි ලෙස සිදු වේදැයි මදක් ඈතට වී බලා සිටින්නේ තවත් ගීතයක තනුවක්ද මනසින් නිමවමිනි.

මේ සියල්ල අප දුටුවේ වසර පහක නිහැඬියාවකින් පසු සිය මියුරු හඬ අවදි කළ කලාභූමියේදීය. කලාභූමි ශිල්ප ශාලිකාව වසර 33ක් පුරා බිහි කළ සිසු සිසුවියන් එක්ව මේ මස18 වැනිදා සවස බිෂොප් විද්‍යාලයීය කරළිය මියුරු මියැසි විසිතුරකින් සරසන්නට නියමිතය. එය සංවිධානය කරන්නේ ආදි සිසුන්ගේ සංගමය වීම මෙහි සුවිශේෂත්වයයි. ආදි ශිෂ්‍ය සංගමයක් සහිත පාසලක් නොවන සංගීත ආයතනයක් ගැන අසන්නට ලැබෙන්නේ කලාභූමියෙන් පමණය කීවත් නිවැරැදිය. ඒ පිළිබඳ බොහෝ අභිමානයෙන් අපට පැවසුවේ කලාභූමියේ ලියාපදිංචි වූ පළමුවැනි ශිෂ්‍යාව වන හසන්ති තෙන්නකෝන් මහත්මියයි. දහස් ගණනක් සිසු සසුවියන්ගේ මියැසි තෝතැන්න වූ මේ සංගීතායතනය ඒ ශිල්පීන්ගේ හැකියාවන් රටට ලෝකයට කියන්නට සංගීතප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ද අමතක කළේ නැත. එහෙත් එය වාර්ෂිකව පැවැත් වූවක් නොවීය.

කලාභූමියට අවශ්‍ය වූයේ හුදෙක් ගායක ගායිකාවන් බිහි කර මාධ්‍ය සන්දර්ශනයක නිරත වීම නොවන බැවිනි.

එහි ආරම්භක උපදේශකවරුන් ගැන සඳහන් කළ විට කලාභූමියේ අරමුණ පැහැදිලි වනු නියතය. පණ්ඩිත් අමරදේව, සංගීතඥ ඩන්ස්ටන් ද සිල්වා, ප්‍රවීණ මාධ්‍යවේදී ගීත රචක ධර්මසිරි ගමගේ ආදීන්ගේ උපදේශකත්වයෙන් 1985 වසරේදී රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි තිදෙනා එක්ව ඇරැඹූ මෙහි අධ්‍යක්ෂ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ වචනයෙන්ම කියතොත් මහා සංගීතඥයන් බිහිකිරීමේ අරමුණින් පමණක්ම නොව උසස් රසවින්දනයක් ශක්තියක් සහිත සමාජ ප්‍රිය සුභාවිත කලාව හඳුනන ඇසුරු කරන සංවේදී පුද්ගලයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් පිහිටුවූවකි. අප අන් සියලු දෙනාගෙන්ම විමසුවද ඔවුන්ගේ මුවින් ගිලිහුණේ මීට සමාන අරුත් දෙන පද වැලක්මය. සංගීතඥ ලක්ෂ්මන් විජේසේකරයන්ගේ මතකය පණ්ඩිත් අමරදේවයන් කලාභූමියේ විසි අටවැනි සංවත්සරය අලළා කළ ප්‍රකාශයකට යොමු කරමින් පැවසුවේ මෙය තවත් සංගීත 'වෙළෙඳ පොළක්' නොවන බවය. එය සනාථ කළේ කලා භූමි ආදිසිසු හවුලේ සභාපති විශාරද සනත් අජන්තය. ඔහුට අනුව ඇතැම් ටියුෂන් කඩවල පන්ති ගාස්තු වෙලාවට නොගෙවුව හොත් ඇතුළු වීම තහනම් වුවද කලා භූමියට එවැනි සීමා නොවීය. එනිසාම තවමත් කුලී පදනම මතම ආයතනය පවත්වාගෙන යනවා විනා ස්ථිර ගොඩනැඟිල්ලක් තනා ගැනීමට තරම් වත්කමක් මෙතෙක් එකතු කර ගන්නට එයට නොහැකි විය. කලාභූමිය හා යාව ජීව ලෙස බැඳී සිටින ආදි සිසු හවුලේ මීළඟ අභිප්‍රාය ඒ අඩුව කෙසේ හෝ සපුරාලීමය. ඔහු එසේ පවසද්දී එතැන සිටි ආදි සිසු සිසුවියෝ එක හඬින් එය අනුමත කරන්නට වූහ. එයද එක්තරා ගීතයක් මෙනි මට ඇසුණේ.

වර්තමානයේ ඔවුන්ගේ උපදේශක මඩුල්ල වන්නේ ගීත රචක කුලරත්න ආරියවංශ, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන ප්‍රවීණයන් තිදෙනායි. අප එහි යන විට සිසුන්ගේ අංගචලනයන් නිවැරැදිව සිදු වේදැයි මහත් උනන්දුවෙන් බලා සිටි කළුආරච්චි මහැදුරුතුමා පැවසුවේ මෙය අනාගත පුරවැසියන් යහපත් රස වින්දනය සඳහා යොමු කිරීමට ගන්නා වෑයමක් මිස ගෝලබාලයින් සැදීමේ අරමුණින් සිදු නොකරන්නක් මෙන්ම සංගීතය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා දීමට ගන්නා තැතක් බවයි. ඒ ව්‍යායාමයේදී ගුරුවරුන් වන ඔවුන් මෙන්ම සමස්ත සිසු පිරිසද එකාවන්ව සතුටින් කාලය ගත කරන බව ඔහු මහත් සොම්නසින් පැවසුවේය.

සංගීත නිපුන් මංජුලා සෙනෙවිරත්න ප්‍රධානාචාර්යවරිය මේ ප්‍රසංගය මෙන්ම කලාභූමියේ සිදුවන ඉගැන්වීම් කටයුතු වදන් කීපයකට කැටි කළේ ශාස්ත්‍රීය අංග මෙන්ම සරල ගීතත්, නව නිර්මාණත් එකසේ ඇසුරු කෙරෙන මෙහි බහතෝරන වියේ සිට විශ්‍රාම සුවයෙන් දිවි ගෙවන්නන් දක්වා පිරිස් සහභාගී වන බව පවසමිනි. කලාභූමියෙන් බිහි වූ පිරිස අතර දමිතා, සසන්ති, ශානිකා, මාධව වැනි කලා කෙතේ අස්වනු නෙළන්නන් මෙන්ම, සංගීත ගුරුවර ගුරුවරියන් රැසක් වන බවද ඇය පැවසුවාය. වසර තිස්පහක් ගත වුවද මේ පැවැත්වෙන්නේ ඔවුන්ගේ සත් වැනි ප්‍රසංගයයි. මෙහි තේමාව ලෙස සීටී ප්‍රනාන්දුගේ ගීතත්, රෝහණ වීරසිංහයන් සංගිත අධ්‍යක්ෂණය කළ ඩීබී නිහාල්සිංහයන්ගේ රේඛා ටෙලි නාට්‍යයේ දැල්වූ පහන් ඇතුළු ගීත සතකුත් තවත් නිර්මාණ රැසකුත් ඔබ වෙත ගෙන ඒමට නියමිතය. ඉතින් ඔබත් සුභාවිත සංගීතය ප්‍රිය කරන්නේ නම් 18 වැනිදා සවස 6.30ට බිෂොප් විද්‍යාලයීය රඟහල එවන් වූ ඔබ වෙනුවෙන් පුදන්නේ කලාභූමි සංගීත ආයතනයේ සිසු සිසුවියන්ගේ හඬට ස්වර, වචන, තාල සුසංයෝග වූ හෝරා කීපයකි.

විශේෂ ස්තූතිය - නිශානි සෝමසිංහ මහත්මියට