වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ඉන්ද්‍රජිත් නාවින්නයනි!

සිය හැත්තෑ වන වියේදී සදහට සමුගත් ප්‍රවීණ රංගධර ඉන්ද්‍රජිත් නාවින්නයනි ඔබේ වියෝව දැරිය නොහැකි පාඩුවකි.

මිහිදුම් සළු අතරින් දොළොස් මහේ පහන ගෙන ඩොරින්ගේ සයනය දුටු ඔබ කෙළිමඬලේ රන්මලීගේ වාසනාව ලැබ ගුරු පාර දිගේ පිය මැන යද්දී යක්ෂාවේෂය දැක තැති නොගත්තේය.
එළිවෙන දවසේ පොඩි විජේ සමඟ සුදු කළුවර බිඳලූ ඔබ අවිදු අඳුර මැද බැද්දේගම උපාසකම්මා හා අඹු දරුවෝ සමඟ වන වදුලේ වසන්තය අතරින් කටු ඉඹුල මඟහැර මඩොල්දූවට ගොඩ බැස්සේය.
ධවල රාත්‍රියේ රන්මසු වැස්සට තෙමී නිරානන්දයෙන් කුලවමිය හා දිරිය දෝණි සනසා ලොවම රසවත් කළේය. ඔබට නිවන් සුව.

විරාජ් හර්ෂනාථ බණ්ඩාර
නිකවැරටිය


රංගිරි සේවයට තුතියි

දඹුලු 'රංගිරි' ගුවන් විදුලි සේවය මඟින් 'අසන්නන්ගේ ගී ඉල්ලීම්' වෙනුවෙන් ඉටු කර දෙනු ලබන 'ශ්‍රාවක ප්‍රසාදිනී' නම් ගීත ඉල්ලීම් වැඩ සටහන මඟින් ගී ඉල්ලන හැම ශ්‍රාවකයකුගේම මනදොල සපිරෙන පරිදි ගුවනින් නම කියවා ගීත ප්‍රචාරය කිරිම ගැන අපගේ සතුට 'රංගිරි' සේවයට මින් පුදනු කැමැත්තෙමු.

කෑගල්ලේ තටාකය පාරේ
මැණිකේ විල්වල සහ
තිලකරත්න විල්වල


චිත්‍රපට පෙළහරට තුති

පාසැල් නිවාඩු කාලයේ මුළු අගෝස්තු මාසය සවස එකට දෙරණ නාළිකාවෙන් විකාශනය වූ චිත්‍රපට පෙළහර බාල මහලු කා අතරත් ඉතාමත් ජනප්‍රිය සරෝජා, සමනළ තටු, සූරිය අරණ, බිංදු, පුංචි සුරංගනාවි, පුංචි අපිත් භය නැහැ, කුස පබා, ආලෝකෝ උදපාදි, හීන හොයන සමනල්ලු, අබා, විදු, ඇහැලෙපොළ කුමාරිහාමි විකාශනය වීම ගැන මගේ උත්තමාචාරය. දෙරණ නාලිකාවේ මෙවැනි දෙයක් කිරිම ගැන මගේ හද පිරි ස්තුතිය. මතුවට මෙවැනි දේවල් දෙන්න. දෙරණ නාලිකවේ කාර්මික ශිල්පින්ට හද පිරි මල් කළඹ පිළිගන්න. දෙරණ දිනෙන් දින දිනේවා.

කලඑලිය
සරත් සේනාධීර


මාවතක් නම් කරමු!

සිංහල සිනමාවේ පතාක යෝධයෙකු ලෙස විශාල සේවයක් කරමින් රංගනයෙහි යෙදී අප අතරින් වෙන් වුණු බැප්ටිස් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් මාවතක් නම් කිරීමට කටයුතු කරන්නේ නම් එය කලගුන සැලකිමක් වනු ඇත. තවමත් ඔහුට ආදරය කරන්නන් රටේ සිටින බවට එයම සාක්ෂියක් වේවි.

එස්. ඒ. සමන් කුමාර
කඩවලගෙදර


නැවත ඕනේ

ජාතික ගුවන් විදුලි සංස්ථාවේ සෑම සෙනසුරාදා දිනකම සහ ඉරිදා දිනකම ප්‍රචාරය වූ මකයේ රැඳුණ ගී සහ ගී නිම් නාදය හිටි හැටියේ නවතා දැමීම පිළිබඳව අදාළ බලධාරින්ට ශ්‍රාවක අප කනගාටුව ප්‍රකාශ කරන අතර මෙය නැවත ලබා දෙන ලෙස අදාළ නිෂ්පාදකතුමාගෙන් ඉල්ලා සිටිමු.

කපුගොඩ මාළිඳ
සරත් රණසිංහ


පියෝ හරි අගෙයි

පෞද්ගලික නාලිකාවල රියැලිටි තරගවල පුංචි ළමයි ගායනා කරන්නේ වැඩිහිටියන්ගේ ගීතය. සමහර ගීත ළමයින්ට උචිත නොවේ. ඒවාද ගායනා කරනු ලැබේ. ළමා ගීත නාලිකාවල අසන්නට නොලැබේ. නමුත් පියෝ රූපවාහිනි නාලිකාවේ ටෙලිකොම් සතු 365 නාලිකාවේ 80, 90 දශකයේ අප කුඩා කළ ඇසූ ළමා ගීත රාශියක් විකාශය කෙරේ. පද පේලි රූපවාහිනි තිරය මත යටින් උදෑසන අපි දිව එනවා, මිදුලේ වැලි මාළිගාවේ, බෝල බෝල වාගේ එළි කැරකෙනවා, සමන් පිච්ච මල් ඉහිරුණු යන ගීත රාශියක් ළමා පරපුර වෙනුවෙන් විකාශය කිරිම ප්‍රශංසනීයයි.

දිනේෂ් ගුණසේකර
මාතර


අංග රචනයට ප්‍රණාම

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනූ උදයකාන්ත වර්ණසූරිය මහතා බද්ධ අංග රචනය ප්‍රථම වතාවට හඳුන්වා දුන් රං කෙවිට එක චිත්‍රපටයේ අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කරමින් සිංහල සිනමාවට එක් වූ ජයන්තා රණවක මහතා මෙවර සරසවිය සම්මාන උලෙළේ ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ අංග රචනා කොට හොඳම අංග රචනා ශිල්පියා ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව මගේ ප්‍රණාමය මෙසේ පුද කරමි.

කැලණියේ
දයාරත්න ගනේගොඩ


ජෝතිගේ ගරුත්වය රැක ගමු

ජෝතිමත් ගායක එච්. ආර්. ජෝතිපාල දැයෙන් සමුගෙන පුරා වසර 31 සපිරෙන මේ මොහොතේ ඔහුගේ නාමයටත්, ගැයූ ගී වලටත් හිමි ගරුත්වය රැක දෙන ලෙස කටයුතු කරන මෙන් ඔහුගේ ගීත ඉතා අසංවර ලෙස විකෘති කර කෑකෝ ගසමින් විනාශ කරන වත්මන් සංගීත කණ්ඩායම්වලින් සහ නවක ගායකයන්ගෙන් ඉල්ලා සිටිමි.


හෙලන්ට ප්‍රණාම දක්වමු

නිළි රාජිනියක, ගීත කෝකිලාවියක වූ රුක්මණී දේවියගේ සහෝදරිය වන හෙලන් නිලන්ති ඩැනියෙල්ස් ශිල්පිනියට ඇවිදීමට අපහසු තත්ත්වයක සිටින බැවින් ඇයට පහසුකම් සලසා රුක්මණී දේවි සැමරුම් උලෙළකට ගීත ගායනා කිරීමට සලස්වා ඇයට ද ගෞරව ප්‍රණාම දක්වන ලෙස ඉල්ලමි.

නිමල් කුලසේකර
අඟුලාන


ජයන්ත චන්ද්‍රසිරි මහතාට,

කවදත් හරවත් තේමාවලින් චිත්‍රපට තැනූ ඔබගේ ඝරසරප සිනමා සිතුවම සිනමාවේ පෙරළියක් කරනු නොඅනුමානය. ඉදිරි නිර්මාණවලට අවැසි ශක්තිය ලැබේවා.

එච්. කේ. මොහාන්
මහවැලි සී කලාපය


නිවන් සුව සිත්තරාණෙනි

ඉතිං ඊට පස්සේ චිත්‍ර කතාව තුළින් තරුණ තරුණියන් උන්මාදයට පත් කළ බලංගොඩ සරත් මධු සොඳුරු කලාකරුවා නික්ම ගිය ද හෙටත් ඔබ ජීවමානය.
චිත්‍ර කලාවට පෑවූ තරුව නිවී ගියා!
නිවන් සුව ඔබට සිත්තරාණෙනි!

අතුල රම්‍යසිරි
පානදුර


සම කළ හැකි හඬ තිබේද?

ආදර පාන සුදා කියලා . . . රුක්මණී දේවී
ආදරේ මාගෙ මා දමා යන්නේ කියලා . . . ලතා වල්පොල
ආදරේ මන්දිරේ සඳලුතල එළිවෙලා කියලා . . . සුජාතා අත්තනායක
වලාකුළක් මෙන් ඈතට පාවී ගියා . . . රාණි පෙරේරා
මේ හඬට හරි යන හඬවල් තවත් තියෙනවද?

රංජනී රණසිංහ
හෝකන්දර


මුතු කුඩ වටින්නේය

දෙරණ නාලිකාවේ විකාශනය වූ 'මුතුකුඩ' ටෙලි වෘත්තාන්තය අපේ පැරැණි කුල කතුන්ගේ රට ජාතිය කෙරෙහි තිබූ අභිමානය මොනවට විදහා දක්වයි. කාන්තාවන් තුළ විවාහය ආදරයට වඩා ජාති මාමක හැඟීම උද්දීපනය වෙයි මුතු කුඩ වටිනා ටෙලි වෘතාන්තයෙන්.


සරත් මධු සදා අමරණීයයි

එදා යොවුන් පරපුර ආදරයෙන් වැළඳ ගත් ඉතින් ඊට පස්සෙ චිත්‍ර කතාවේ නිර්මාතෘ බලංගොඩ සරත් මධු චිත්‍ර ශිල්පියා අපගෙන් සමුගත්තත් එදා ඔබ නිර්මාණය කළ චිත්‍ර කතා තාමත් අපගේ මතකයේ රැඳී ඇත. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නමෙු.

ඉඹුල්ගොඩ අබේසිංහ
ශ්‍රියානි ජයසිංහ
අලව්ව


ප්‍රසංග වේදිකාවට ගිය කලක්

දැන් සින්දු කියනවාද, සිංදු කනවාද, නැටුම් නටනවාද, ඉබාගාතේ දඟලනවාද, අනේ අපේ ප්‍රසංග වේදිකාවට ගිය කලක්.

සුනිල් චන්ද්‍රසේකර
කොටුගොඩ


මාලිනීට උත්තමාචාර

අඩසිය වසක් පුරා රංග ප්‍රතිභාවයෙන් සිනමා කෙත සැරසූ අග්‍රගණ්‍ය සිනමා නිළි මාලිනී ෆොන්සේකාට රසික අපගේ හද පිරි උත්තමාචාරයයි මේ.

අඩ සියවසක් රංග ප්‍රතිභාවයන් ඔප් නංවා
ආභරණයක් වූවා මාලිනී ලක් දෙරණ පුරා
හද රැඳි රංග ප්‍රතිභාවන් ඔප කරලා
සිනමා ලොවේ බිතු සිතුවම ඇය වූවා
වාණිජ සහ කලාත්මක සිනමාව තුළින්
පුර සඳක් ලෙස ඇය බැබලුණා සිනමාව තුළ
නිළි රාජනිය ලෙස කිතු ගොස ලබා ඇය
සැමටම ආදර්ශයක් ගෙන දුන්නි සිනමාව තුළ

එච්. ඉන්ද්‍රපාල
මුංහේන


විනු සිරිවර්ධනට

පළමුව මම ඔබේ රංගන දිවියට සුබ පතන අතර ඒ වගේම ඔයාගේ ප්‍රශංසාත්මක අවස්ථාවක් පසුගිය අගෝ: 24 සිකුරාදා ධ් ඊ ව් හි විකාශය වන ඛ්ඩ්ඒඊ ඒව්ච් ර්උඉධ්ඛ් ප්‍රසංගයේදී රසිකයකු එවපු ලිපියක් ඉදිරිපත් කර ඒ සඳහා හෘදයාංගම ස්තූතිය පළ කළ මොහොත.

ඇත්ත වශයෙන්ම කලාකරුවකු හෝ කලාකාරිනියකගේ පැවත්ම රඳා පවතින්නේ රසික රසිකාවයින් අතෙර්ය. අද ඉ. ර්. ඉ ජ්ඒඛ්ඡ් ඕර්‍ණර්‍ණම් වැනි දෑ සමඟ අදහස් උදහස් පවසන මෙවන් කාලයක එම ක්‍රියාව වැදගත් වන්නේ ලිපියකින් පෞද්ගලිකව ඇමතීම මොනතරම් අගය කළ යුත්තක්ද? විනූ ඔබේ ඒ ක්‍රියාවට මගේ සුභපැතුම්.

මහනුවර උපනන්ද


පබෝධා සංදීපනී නිළි සහෝදරියට

උරුමයක අරගලය ටෙලි නාට්‍යයේ ඔයාගේ රඟපෑම අති විශිෂ්ටයි කියා මම සිතමි. මෑතකදී ඔයා එම ටෙලි නාට්‍යයේ දකින්න නැත්තේ ඇයි? පුරන්අප්පු ප්‍රථමයෙනුත් ඔයා දෙවෙනියාටත් අති දක්ෂ රඟපෑමේ යෙදෙන බව එය නරඹන ප්‍රේක්ෂක සොහොයුරෙකු වන මට පෙනෙනවා. ඔබ දෙපලගේ අති දක්ෂ රඟපෑම ඉදිරියටත් දැකගන්න ලැබේවා.

බී. පී. ගම්මුදලි
කඩුගන්නාව


දඩයම රඟපෑ රවීට ස්වර්ණාට

ඔබ දෙදෙනා කරට කර රඟපෑ විශිෂ්ට සිනමාපටය දඩයම ලෙස හැඳින්විය හැක. දැන් හැදෙන ඒකකාරී චිත්‍රපට බලන විට ඔබලා රඟපෑ දඩයම කොපමණ ඉදිරියෙන්ද කියා සිතා ගැනීමටවත් බැරිය. සත්‍ය කතාවක් ඇසුරෙන් තැනූ දඩයමේ ඇඩ්ලින් විතාරණට පණ දුන් ස්වර්ණාත් ආනන්ද ජයලාල්ගොඩට පණ දුන් රවින්ද්‍රගේත් රඟපෑම් අපේ හදේ තැන්පත් වී ඇත. එවැනි චිත්‍රපට දැන් හැදෙන්නේ නැති එක ගැන ඇත්තේ දුකකි කනගාටුවකි. දැන් සම්මාන දෙන චිත්‍රපට දෙස බලන විට ඔබලා ලොව හොඳම නළු නිළි යුවළට සම කළ හැක. එසේම දඩයම අධ්‍යක්ෂණය කළ වසන්ත ඔබේසේකර මහතාගේ අධ්‍යක්ෂණය ද ඉතා විශිෂ්ට බව කිව යුතුමය. දැන් ඔබලා එවැනි චිත්‍රපටවල රඟ නොපෑම ගැන ඇත්තේ දුකකි.

එස්. පී. සොලමන්ස්
තලාතුඔය


ජැක්සන්ට ශක්තියක්

ජැන්සන් අන්තනි අපට සිටින ප්‍රවිණ රංන ශිල්පියෙකි. දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. එදා මොදාතුර ඔහුගේ රංගන ජීවිතයයේ විශිෂ්ටතම රංගනය වූයේ සූරිය අරණ චිත්‍රපටය බවයි මගේ හැඟීම. 'අබා' ඔහු මෙතෙක් අධ්‍යක්ෂණය කළ සුවිශේෂී චිත්‍රපටයයි. තව තවත් හොඳ නිර්මාණ අපට දායාද කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය


එදා සිට අද දක්වා

හෙළ හවුලේ නායකයින්
1941 - කුමාරතුංග මුනිදාස
1944 - ජයන්ත වීරසේකර
1949 - රැපියෙල් තෙන්නකෝන්
1965 - අමරසිරි ගුණවඩු
1977 - කෝදාගොඩ ඤාණාලෝක හිමි
1988 - වරකාගොඩ සීලරතන නා හිමි
1991 - ආ. දො. චන්ද්‍රසේකර
2001 - අරිසෙන් අහුබුදු
2005 - අනඳපිය කුඩාතිහ
2008 - අමරසිරි පොන්නම්පෙරුම
2012 - ශී‍්‍රනාත් ගනේවත්ත

මොරටුව, කටුබැද්දේ
ඩඩ්ලි ගෝමස්