වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මම සුදානම් නෑ

රංගනය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මම සුදානම් නෑ

Saumya Liyanage

නිම්නයක හුදෙකලාව වෙනුවෙන් 2017 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා වූයේ සෞම්‍ය ලියනගේය. වේදිකාවේ මෙන්ම සිනමාවේ දිගු ඉතිහාසයක් ඇති ප්‍රවීණ රංගන ශිල්පියකු වන ඔහු ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් රංගනය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරා මේ වන විට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පිඨයේ පීඨාධිපති වශයෙන් සේවය කරයි. මේ අපේ සිනමාව පිළිබඳ ඔහුගේ මතයයි.

මේ ඔබ ලබන තුන්වැනි සරසවි සම්මානය?

ඔව්. ඒ වගේම හොඳම නළුවා ලෙස ලබන දෙවැනි සම්මානය. මීට පෙර වසන්ත ඔබේසේකර මහත්මාගේ ආගන්තුකයා වෙනුවෙන් හොඳම නළුවා සහ විජිත ගුණරත්න මහතාගේ වලාපටල වෙනුවෙන් හොඳම සහය නළුවා ලෙස සම්මාන ලැබුවා. ඒත් මෙය ලැබුණේ වසර පහකට හයකට පස්සේ. හේතුව බූඩිගේ චිත්‍රපටය කරලත් කාලයක් වෙනවානේ. ඉතින් අස්වැන්න නෙළන්නත් කල් ගත වෙනවා.

ඔය කතාව තමයි බොහෝ දෙනා පවසන්නේ?

ඇත්ත. සම්මානය ලැබීම එක් අතකින් හොඳ වුණාට බූඩිගේ චිත්‍රපටයට රට තුළ කෙතරම් ප්‍රේක්ෂකයන් අතරට යන්න හැකි වුණාද? එවැනි සිනමාවකට තිබෙන ඉඩකඩ කෙබඳුද? යන ප්‍රශ්න තිබෙනවා. එනිසා එවැනි පර්යේෂ-ණාත්මක අත්හදාබැලීම් කරන අධ්‍යක්ෂවරුන් හා ඔවුන්ගේ නිර්මාණ මේ සමාජයට කුමන මැදිහත්වීමක් කරනවාද? එවැනි චිත්‍රපටයක ජීවකාලය කොපමණද? කියා කනගාටුවකුත් තිබෙනවා. අපි නළුවෝ හැටියට ඉතිහාසය පුරා වේදිකාවේ සහ සිනමාවේ යෙදුණේ මෙවැනි නිර්මාණවලයි. අපි අවුරුද්දකට දෙකකට වරක් යම් කලාත්මක මැදිහත්කාරකමක් කළහැකි චිත්‍රපටයයි දෙකයි කරන්නේ. එය අසීරුයි වගේම කෙතෙක් දුරට ඵලදායීද කියා හිතෙනවා, අපේ වගේ රටක එවැනි අදහසක් ඉදිරියට ගෙන යෑම ඉතාම සංකීර්ණ දෙයක් වී තිබෙන නිසා.

හේතුව මොකක්ද?

ඉතිහාසයේ ඉඳන් ආ දේශපාලනික සංස්කෘතික කරුණු තමයි. උදාහරණයක් ලෙස මමත් වෘත්තීය නළුවෙකු ලෙස හඳුන්වන්න බෑ. පූර්ණ කාලීන වෘත්තීය නළුවකු ලෙස රැඳී ඉන්න තරම් චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවෙන්නෙත් නෑ. කලාත්මක නිර්මාණ ඉතාම විරල වශයෙන් නිපදවෙන්නේ. මම වාණිජ චිත්‍රපටවල රඟ පෑ කෙනෙකුත් නොවේ. මොකද ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු දකින්නේ අප එවැනි චරිත කළ නොහැකි වෙළෙඳ වටිනාකමක් නැති නළුවන් විදිහටයි.

කලාත්මක සිනමාවට අපේ ප්‍රේක්ෂකාගාරය පුරුදු නැත්තේ ඇයි?

වෙනරටවලත් එහෙම තමයි. සීමාසහිත ප්‍රේක්ෂකාගාරයක තමයි අනන්‍යතාව පවත්වා ගන්න හදන්නේ. කර්මාන්තයක් වැඩි වශයෙන් පවතින්නේ වාණිජ සිනමාවෙන්. ඒත් සිනමාව මානව ප්‍රකාශන මාධ්‍යයක් ලෙස වෙනත් ගැඹුරු ප්‍රහර්ෂයන් සහ ලාලසාවන් ගෙනහැර දැක්විය හැකි අයුරින් භාවිත කළ හැක්කේ කෙසේද? ඒ සඳහා සමාජයක් තුළ ඇති සංස්කෘතික ඉඩ කඩ කොපමණද යන්නයි වැදගත්. ඒ සඳහා විශාල ප්‍රේක්ෂකාගාරයක් අවශ්‍ය නැතත් වෙනම ආකාරයක සහයෝගයක් සහ අනුබලයක් අවශ්‍යයි.

කාගෙන්ද?

මම මේ සියලුම දේ රජය මත පටවනවා නොවේ. ඒත් ඇයි අප යම් කිසි රාජ්‍ය ව්‍යුහයක් කාලෙන් කාලෙට පවත්වාගෙන යන්නේ? උදාහරණයක් ලෙස රටේ සංස්කෘතික ජීවිතය නිර්මාණය කිරීමේදී එහි අවියෝජනීය අංගයක් වන සිනමාව සඳහා කුමනාකාර ප්‍රතිපත්තිමය, මූල්‍යමය දායකත්වයක් සංස්කෘතික ක්ෂේත්‍රයේ ඉන්න අයට සහ රාජ්‍යයට දැරිය හැකිද? ඇයි අපි සිනමාවට එවැනි ප්‍රතිපාදන ලබා දිය යුත්තේ? සිනමාව වැනි කලා මාධ්‍යයක් තුළින් කුමනාකාරයක සංස්කෘතික මිනිසෙක් බිහිකළ හැකිද? යන ප්‍රශ්න අපි ඇසිය යුතුයි. ඒත් අප ඉන්නේ සමස්ත සමාජය ලෙසම එසේ ප්‍රශ්න නොකරන යුගයක. අප සංස්කෘතික ජීවිතයෙන් ඈත් වෙමින් යන සමාජයක් ලෙසයි මම දකින්නේ.

ඇයි ඒ?

සංස්කෘතික ජීවිතය අපට අත්‍යවශ්‍ය නොවන තැනකයි ඉන්නේ. එයින් අදහස් වන්නේ නෑ අපි සංස්කෘතික ක්‍රියාකාරකම් නොකරනවා කියා. අවුරුද්දට වෙසක් එකට උත්සව පවත්වනවා තමයි. ඒත් ප්‍රතිපත්ති හා ආකල්ප සැකසී තිබෙන්නේ. අපේ පැරැණි දේ අගය කරමින් අතීතකාමයක වෙලී ඉන්නට විනා සමකාලීන ජීවිතයට සංස්කෘතියක් අවශ්‍යයි කියා මතක නෑ . අපේ ජීවිත ගත විය යුත්තේ සංස්කෘතික මිනිසකු ලෙසයි. අපි ආහාර පාන ගත යුතුයි, ගැහැනුන් මිනිසුන් සතා සීපාවා ගහකොළ වාතාශ්‍රය, නිවෙස්, අධ්‍යාපනය අවශ්‍යයි. ඒ තුළ නොවේද කලා භාවිතය, සාහිත්‍යය, සිනමාව ආදී සියල්ල තිබෙන්නේ.. අපි සාමූහික සත්ත්වයෙක් නිසාමයි කලාව බිහි වන්නේ. සිනමාවත් විශාල මනුෂ්‍ය ප්‍රජාවක් එක්ව කරන සාමූහික කලා ප්‍රයත්නයක්. ඒ සංස්කෘතික මිනිසා තමයි ලෝකය නැවත නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ.

මේ රටේ කීයෙන් කී දෙනාද සවසට පවුල පිටින් ගිහින් සිනමාවක් නරඹන්නේ. අපට මතකයි සමහරු කියනවා 60-70 දශකවල එහෙම සංස්කෘතික ක්‍රියාකාරකමක් තිබුණා කියා. මට හිතෙන්නේ එය නැතිවෙලා ගියා.

කොහොමද නැති වුණේ? ඇයි නැති වුණේ?

විපර්යාසයන් ගොඩක් නිසා. එකක් විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් සමඟ වින්දනය ලබා දෙන ටෙලිවිෂනය, දුරකථනය, කල් යද්දි ඉන්ටනෙට් ආදි මාදිලි රැසක් එනවා. ඉස්සර තොවිල්පළේ, නාට්‍ය ශාලාවේ, සිනමා හලේ සාමූහිකව ගත් ආනන්දය අද හෑන්ඩ් ෆෝන් එකෙන් නරඹන්න පුළුවන්, හැබැයි තනිවම.

සිනමා ශාලාවක ලබන වින්දනය ජංගම දුරකථනයකින් ලබන්න පුළුවන්ද?

බෑ. ඒක තමයි මම කියන්නේ මේ වෙනකොට සිනමා කෘතියක් කියන්නේ මොකක්ද? ශාලාවක් ඇතුළේ ලැබෙන්නේ මොකක්ද? සාමූහික ක්‍රියාකාරකමක් කියන්නේ මොකක්ද? කියන අදහස නැතිව ගිහින් කියලා. මම තවමත් විශ්වාස කරන්නේ සිනමාව කියන්නේ ශාලාවක නැරඹිය යුතු ඒ රූපවල දැවැන්ත කමත් සමඟ අපව සලිත කරවන, වෙනම පරිසරයක, වෙනමම සූදානමක් ඇතිව කළුවර වුණත් අපට තවත් පිරිසක් ඉන්න බව දැනෙන අත්දැකීමක් කියලයි. සමහරු මෙය දන්නේ නෑ. ඒ නිසා ඒ අත්දැකීම නැති කෙනාට ජංගම දුරකථනයෙන් බලන එකත් චිත්‍රපටයක් තමයි.

ඒකද අපට ස්වර්ණමය යුගයක් නැති වෙන්න ප්‍රධාන වුණේ?

අපි කතා කරන්නේ තිබුණු එකක් ගැන. ඒත් අපි උත්සාහ කළාද ඊළඟ ස්වර්ණමය යුගයක් හදන්න. මම නම් විශ්වාස කරන්නේ නෑ ස්වර්ණමය කීවාට ඒ යුගයේ මිනිසුන් ස්වර්ණමය ජීවිතයක් ගත කළා කියලා. මොකද එය එක අතකින් ඉතා දුෂ්කර කාලයක්. අද අපට ස්වර්ණමය වගේ පෙනුනට පතිරාජලා, ධර්මසිරි බණ්ඩාරනායකලා කොහොමද චිත්‍රපට කළේ කියලා අපි දන්නවානේ. හැබැයි එය එක්තරා විදිහක කලාවේ සහ සමාජ විපර්යාසයේ පුනරුදයක්. 1956 කොපමණ දේවල් වුණාද? සිනමාව, නවකතාව, කෙටිකතාව, කවිය, චිත්‍රකලාව, ඡායාරූපකරණය පවා වෙනස් වුණා. ඒත් ඒ තුළත් ඛේදාන්තයන් ගොඩාක් තිබෙනවා.

ඒ දේශපාලනිකව ඇති වූ බාහිර බලපෑම් නිසා නොවේද?

ඔව් ඒ 83 ජූලි කලබල හෝ 88-89 දකුණේ සිදු වූ අරගල විය හැකියි. අපි මේ සමාජය කොයි දිශාවටද ගමන් කෙරෙව්වේ. අවුරුදු 30ට කලින් මේ රටේ දේශපාලනය පුරුදු කළේ අසල්වැසියාට වෛර කරන මානසිකත්වය. එයට ඉතිහාසයක් තිබෙනවා. මම මේ දිනවල රඟපාන චිත්‍රපටයක දෙමළ බස පිළිබඳ උපදේශනය කරන චන්ද්‍රසේකරන් මහත්මයා කියනවා ඔවුන් ඉස්සර මේ කොළඹ දෙමළ නාට්‍ය කළාලු. ඒවා සිංහල නාට්‍ය වගේම යාපනේ හැම තැනම පෙන්නුවා. මනුෂ්‍ය කොට්ඨාස අප හිතනවාට වඩා සම්මිශ්‍රණය වෙලා කටයුතු කළා. සංස්කෘතික සම්පර්කයක්, සංස්ලේශනයක් සිදුව තිබුණා ජනවර්ග අතර. ඒ නිසාම කලාව පැවතුණා. දේශපාලනික විසබීජ නිසා සමාජයක් ලෙසත් අප විතැන් වුණා. තිබුණු ශාලා ටික ගිනි තියාගත්තා. මිනිස්සු කල්ලි ගැහුණා. රාත්‍රියට බය වුණා. අසහනය අනවබෝධය අවිනිශ්චිතතාව අස්ථිරත්වය සහ ස්ත්‍රීන්ට කුඩා දරුවන්ට වයසක අයට එළියට බහින්න බැරි භීතිය නිසා සංස්කෘතික ජීවිතයත් හීන වෙලා ගියා. අප තිබුණු දේවල් නැති කරගත්තා. පසුව අපට පුළුවන් වුණාද හොඳ රසිකයන් පිරිසක් ආපසු බිහි කරන්න? හොඳ රඟහල් ටිකක් හදන්න? මොනවද අපි අධ්‍යාපනයෙන් කියලා අවුරුදු විස්සක් තිහක් තිස්සේ දරුවන්ට දුන්නු වටිනාකම්? දැන් අපි හුස්මක් අරන් හැරිලා බලද්දි අපේ සමාජය මුඩු බිමක් වගේ. පිස්සු බල්ලො වගේ ළමයි අරන් ටියුෂන් දුවනවා, අධ්‍යාපනය විකාරයක් වෙලා, සල්ලි තියෙන මිනිස්සු වෙන දේවල් කරනවා, තනි තනි මිනිස්සු ටිකක් මේ සමාජයේ තිබෙන සම්පත් කඩා වඩා ගැනීමේ තරගයක ඉන්නවා. ඒ ව්‍යාපෘතියට කලාව, සිනමාව, සංස්කෘතිය සියල්ල නතු වෙලා.

ඒත් අදටත් සමහර වෙලාවට සිනමා ශාලා අසල දිග පෝලිම් තිබෙනවානේ?

ඒ පෝලිම් තිබෙන්නේ හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට බලන්න. ඒ දැවැන්ත සිනමාවන් කලාපීය හා පරිවාරයේ රටවලට ඉතාම ශීඝ්‍රයෙන් වෙළෙඳපොළ අල්ලලා. තරුණ තරුණියන් ඇමෙරිකාවේ රිලීස් වෙන චිත්‍රපටය මෙහෙ වැඩි මුදලක් දීලා ඊළඟ දවසෙම බලනවා. හැබැයි ඔවුන්ට දකින්න ලැබෙන්නේ සිනමා කලාවේ එක් වර්ගයක් පමණයි. ඔවුන්ට කවදාවත් යුරෝපීය චිත්‍රපටයක් බලන්න ලැබෙන්නෙ නෑ. ලෝකයේ සිනමාව විශාල කර්මාන්තයක් බවට පත් වද්දී ඒ දෙන මැජික් එක අපට අපේ සිනමාවෙන් දෙන්න බැරි වෙලා. ඉතින් අපි කොහොමද තරග කරන්නෙ. කලාත්මක චිත්‍රපටවල පමණයි අපට පැවැත්මක් තිබුණේ. මොකද ඓතිහාසික වටිනාකමක් තිබුණා වුණත් සන්දර්භයන් ලෙස දිගින් දිගටම අපේ වාණිජ සිනමාව ලෝකේ අනෙක් රටවල් හා සැසඳුවාම අදටත් බොහෝ ප්‍රාථමිකයි.

සරසවිය සම්මාන උලෙළෙදී බොහෝ තරුණ පිරිස් අගය කෙරුණා. ඔවුන්වත් මේ ගමන නිසි මඟකට ගනීද?

එය හරියට 90 දශකයේ ප්‍රසන්න විතානගේ, බූඩි, හඳගම, විමුක්තිලා අපි එකතුවෙලා සිනමාවේ යම් හැරවුමක් කරන්න උත්සාහ කළා වගේ දෙයක්. සමහර විද්වතුන් කීිවා එය සුසමාදර්ශී වෙනසක් කියා. ඒත් එයටත් හිතූ තරම් ලොකු පිළිගැනීමක් ලැබුණේ නෑ. සමහර කණ්ඩායම් විවේචන එල්ල කළා. ප්‍රතික්ෂේප කළා. අපි කළ චරිත ජුගුප්සාවෙන් විවේචන කිරීම ප්‍රශ්නයක් නොවේ. ඒත් දැන් සරසවිය සම්මාන ලැයිස්තුවේ තරුණයන් දෙස බැලුවාම අපි වයසක කට්ටිය වෙලා.

ඒ අර්ථයෙන් ගත්තාම ඉස්සර අපි ජෝ මහත්තයාලා දිහා බැලුව විදිහට මට අද මගේ දිහා බලන්න වෙලා. දැන් තරුණයන් විශාල වශයෙන් යහපත් සිනමාවක් වෙනුවෙන් පෙනී සිටිනවා වුණාට ඛේදවාචකයක් තිබෙනවා ඒ තුළ. මොකද මේ කෘති බහුතරයක් ප්‍රදර්ශනය නොකරන නිසා ප්‍රේක්ෂකයන් දැකලා නෑ. හැබැයි ඒ තරුණ තරුණියන්ට ඒ ගැන වගකුත් නෑ. සම්මානය නිසා ඔවුන් නිහඬ වුණාද මන්දා. සරසවිය සම්මාන උලෙළ ගැනවත් අනෙක් සම්මාන උලෙළ සංවිධායකයන් ගැනවත් නොවේ මම මේ කියන්නේ. මෙහෙ සෑම සම්මාන උලෙළක්ම මට පේන්නේ සිනමාකරුවන් ලෙස හෘදය සාක්ෂිය අහිමි කරගත්ත මිනිසුන්ගේ ගැහැනුන්ගේ සම්භාෂණයක් ලෙසයි.

එහෙම වන්නේ ඔවුන් පිටරට උලෙළ අරමුණු කරන නිසාද?

ඔය යන තරමට සල්ලි හම්බෙන්නෙත් නෑ ඕවයේ. මේ සිනමාව නිසා නිර්මාණය වන බරපතළ ගැටලුව බෝට්ටුවෙන් පනින්න බැරි නම් චිත්‍රපටයක් අරගෙන රට පැනීමේ මානසිකත්වය. ඩිජිටල් තාක්ෂණය සමඟ කට්ටිය වගකීමෙන් නිදහස් වුණා. මම මිමී 35 වැඩ කළ කෙනෙක් හැටියට හොඳටම දැනෙනවා ඒ නිෂ්පාදන ව්‍යූහය නැති නිසා සියල්ල තුට්ටු දෙකට වැටී ඇති බව. හැත්තෑව දශකයේ වත් නොකළ රුපියල් පනස් දාහෙන් චිත්‍රපටයක් කළාම සිදුවන්නේ සිනමා කර්මාන්තය විනාශ වීමයි. අධ්‍යක්ෂ කියන කෙනා හැර කිසිවෙකුට පැවැත්මක් නෑ. අද සමහරු ෆේස් බුක් එකෙන් 'මම චිත්‍රපටයක් කරනවා වෙන වැඩක් නැත්නම් එන්න පුළුවන්ද?' කියලා අහන පහත් මට්ටමට වැටිලා. සිනමා ශික්ෂණයක්, කෝල් ෂීට්, පෙර සූදානමක් නෑ. කැමරාව අරගෙන මොනවා හරි කරලා සියල්ලෝම රවටලා, චිත්‍රපටි බෝට්ටුවේ නැඟලා අවුරුද්දක් දෙකක් ලෝකෙ වටේ යනවා.

එවැනි පිරිස්වලට ඔබේ ප්‍රතිචාරය?

මම ඔවුන් සමඟ වැඩ කරන්නෙත් නෑ. ඒ වගේම ෆෙස්ටිවල් ඇම දාලා නළුවො බාගන්න වැඩවලටත් මම එකඟ නෑ. අප කළ යුත්තේ චිත්‍රපට. ඒවා හොඳනම් උලෙළ නියෝජනය කරයි. දොස්තොවුස්කිලා, තෝල්ස්තෝයිලා තමන්ගේ නිර්මාණ කරනකොට ඔය වගේ පහත් අභිලාශ තිබුණාද? විනාඩි දහයක කෙටි චිත්‍රපටයක් හදාගෙන ඕක ලෝකේ වටේම තියෙන උලෙළවලට තල්ලු කරන්න ගත්තාම නිර්මාණකරුවන්ගේ වටිනාකම්වලට, අභිමානයට මොකද වෙන්නේ.

කලාකරුවාගේ වටිනාකම සහ අභිමානය පිළිබඳ මේ දවස්වල බරපතළ ලෙස කතා වෙනවා?

කලාකරුවාට වටිනාකම එන්නේ තමන් කරන නිර්මාණය අනුව. හැබැයි අපේ රට එක් අතකින් කලාව සහ කලාකරුවා පිළිබඳ ඉන්නේ පසුගාමී තැනක. මම ටෙලි නාට්‍යවලට නොයන්නේ ඒ පිළිබඳ විවේචනයක් තිබෙන නිසා. හැබැයි මගේ ඒ නිහඬ අරගලයට වටිනාකමක් නෑ. මොකද වටිනාකම ලැබෙන්නේ හැමදාම පේන කෙනාට. එයා තමයි නළුවා. ඒ නිසා මම වෘතයක් රැක්කාට අගයක් නෑ. ඕන තරම් නරුම වැඩ කරලා, ආත්මය පාවලා දීලා, හෘදය සාක්ෂියට විරුද්ධව වැඩ කරලත් මේ රටේ යහපත් පුරවැසියකු බවට මිනිස්සු බාර ගන්නවා. අපි මුළු ජීවිත කාලයම අරගල කළේ කියන දේ හා කරන දේ අතර වෙනසක් නොවෙන්න හෘදය සාක්ෂිය ආරක්ෂා කරගන්න. එහෙම කළා කියලා සමාජයෙන් අමුතු එකක් අපට ලැබිලා නෑ. මිනිස්සු අහන්නේ මොකද මේ දවස්වල ටීවී එකේ දකින්න නැත්තේ කියලායි. ඔවුන් හිතන්නේ මට වැඩ නෑ. කවුරුත් වැඩ දෙන්නේ නෑ කියලා. මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයකු වන්න පුළුවන් ලේසියෙන්ම. බහුතරයක් නළු නිළියන් වයින් කළ බෝනික්කො වගේ. සල්ලි දුන්නාම ඕන දෙයක් කරනවා.

එක්තරා කාලයක විමුක්ති ජයසුන්දරලාගේ චිත්‍රපටවල රඟපාලා ඒ මතවාදය වෙනුවෙන් අපි පෙනී සිටිද්දී සමහරු ගිහිල්ලා විමුක්තිව එල්ලා මැරිය යුතුයි කියන පුද්ගලයාගේ චිත්‍රපටයේ රඟපෑවා. දැන් කවුද නළුවා. මමද ඒ අයද කියලා මට මාර ප්‍රශ්නයක් තිබෙන්නේ. හැබැයි මට ලැජ්ජාවක් කියල දෙයකුත් තිබෙනවා. මට බෑ මගේ විද්‍යාර්ථයින්ට මුහුණ දෙන්න එකක් කියලා වෙනදෙයක් කරලා. නළුවෙකු හැටියට මට දෘෂ්ටියක්, ලෝක දැක්මක්, වටිනාකම් පිළිබඳ අදහසක් තිබෙනවා. ඒ ප්‍රතිපත්ති පාවලා දීලා රංගකලාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මම සූදානම් නෑ.

රංගනයට ආචාර්ය උපාධියක් ලබා දැනට මෙරට සිටින රංගන ශිල්පියා ඔබයි?

කලාවක් හා ශාස්ත්‍රයක් ලෙස තමයි මම එය හැදෑරුවේ. ඉතිහාසයක් ඇති දියුණු ශාස්ත්‍රයක් ලෙස රංගනය න්‍යායාත්මකව හැදෑරීමට පාසලක් අවශ්‍ය වුවත් රඟපෑමට නිත්‍ය වශයෙන්ම හැදෑරීම අත්‍යවශ්‍යයි කියන්න බෑ. කර්මාන්තයක් පවත්වන්න නම් නළුවන් බිහිවනතුරු බලා ඉන්න බෑ. බිහි කළ යුතුයි. අපේ සිනමාවට පාසලක් වුණේ වේදිකාව. අද සම්මාන ගත් තරුණයින් බහුතරයක් වගේම මමත් ආවේ එහෙමයි. අපට පුළුවන් නම් සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු විෂයයන් සම්බන්ධව අධ්‍යයනය කළ හැකි පාසලක් මෙන්ම කර්මාන්තයේ පැවැත්මට අදාළ සියලු දේ දියුණු කරන්න ඒ පිළිබඳ මම ඉන්නේ මහත් ප්‍රහර්ෂයකින්.

ඔබ මුලින් කීවා වාණිජ සිනමාකරුවන් ඔබ එයට ගැළපෙනවා යැයි සිතන්නේ නෑ කියලා. එහි යටිපෙළ ඔබ එවැනි චිත්‍රපටයක රඟපාන්න කැමතියි යන්නද?

ඔව්, මම කැමතියි. හැබැයි, අපේ කර්මාන්තය දුප්පත්. ඒ නිසා මම වෙනස් වෙන්න කැමති වුණත් අධ්‍යක්ෂවරයකුට බෑ ඇවිත් කියන්න "සෞම්‍ය මගේ චිත්‍රපටයේ නටන්න ඕනා. ඒ සඳහා පුහුණුවන්න මාස හයක් මගේ වියදමින් ඔයාව නැටුම් පන්තියකට දානවා. ඔයා සික්ස් පැක් හදා ගන්න මම ඒ ජිම් එකේ ගාස්තු ගෙවනවා" කියලා. ඒ අය බලාගෙන ඉන්නවා සෞම්‍ය සිය කැමැත්තෙන් කවදා හෝ සික්ස් පැක් හදාගෙන ඩාන්ස් කර කර එනකල්. ඒත් සමහර නළු නිළියන් සාමාන්‍ය ජීවිතයේත් නඩත්තු වන්නේ විවිධ කොණ්ඩ මෝස්තර, මේකප්, ඇඳුම් ආදිය සමඟ. අධ්‍යක්ෂවරයාට තිබෙන්නේ එහෙමම කැමරාවක් ඉස්සරහට ඔවුන් ගෙන යෑම විතරයි. ඒත් මම ගෙදර ඉන්න විදිහ වාණිජ චිත්‍රපටයකට ගැළපෙන්නේ නෑ. ඒ නිසා කමර්ෂල් ෆිල්මස්වලට අපට කතා කරන්නේ නෑ.