වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ඉක්මනින් මවක් වෙන්න ආසයි

ඉක්මනින් මවක්වෙන්න ආසයි

Nehara Pieris

ඇය පුංචි තිරයේ මුතු කිරිල්ලිය විය. කලක් ඇය එහි විරාජමාන වූයේ ජනප්‍රිය නිළි කිරුළද හිමි කර ගනිමිනි. එහෙත් මේ තාරකාව හදිසියේම කලාඅඹරෙන් නොපෙනී ගියාය. එලෙස වී මේ වනවිට වසර තුනක් ද ඉක්මවා ගොස් ඇත. කෙසේ වෙතත් නෙහාරා පීරිස් යන නම කාටවත් අමතකව ඇතැයි සිතන්නට හේතු කාරණාවක් නැත. ඒ ඇයට තවමත් ආදරය කරන පිරිස ඒ අන්දමින්ම සිටින බැවිනි. විදෙස්ගතව සිටි නෙහාරා ඉකුත් දිනයකදී ලංකාවට පැමිණියාය. ඒ තම ආදරණීය ස්වාමි පුරුෂයා වූ මේනක රාජපක්ෂ සමඟිනි.

නෙහාරා ගත වූ අවුරුදු කිහිපය කොහොමද ඔබට දැනුණේ?

බොහෝ වෙලාවට වැඩි කාලයක් යොමු කළේ අධ්‍යාපනය වෙනුවෙන්. දෙන්නම වෙන වෙනම අංශ දෙකක් යටතේ අධ්‍යාපනය හැදෑරුවා. මේනක රැකියවකුත් කළා. ලබන වසරේ එන්නට හිටි ගමනක් මේ අපි ආවේ.

මොන අංශයෙන්ද ඔබ අධ්‍යාපනය හැදෑරුවේ?

ඒ. එම්. අයි මොන්ටිසෝරි පාඨමාලාවට සම්බන්ධ වෙලා හිටියේ. ලබන වසරේ ජූනිවල එහි ෆයිනල් එක තියෙනවා. ඒ එක්සෑම් එකෙන් පස්සේ අධ්‍යාපන කටයුතු ඉවරයි.

ඉන් අනතුරුව ඔබ පෙර පාසලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ ලංකාවේද නැත්නම් පදිංචිව සිටි ඇමරිකාවේද?

අයියෝ . . . තවම එහෙම අදහසක් නැහැ.

එහෙනම් ඇයි ඔබ ඒ වගේ පාඨමාලාවක් තෝර ගත්තේ?

මට හිතුණා ජීවිතයේ යම්කිසි කාල පරිච්ඡේදයකදී එවන් වූ දෙයක් කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබෙයි කියලා. නැතුව මේ මොන්ටිසෝරියක් ආරම්භ කරන්නම හිතාගෙන ඒ කෝස් එක කළේ නැහැ.

එහෙද මෙහෙද හොඳ?

එහෙදි ගත කළේ ඉතාම සැහැල්ලු ජීවිතයක්. ඒ වගේම හරිම සරලකමින් හිටියා. අප පදිංචිව සිටි පළාතෙ මිනිස්සු හරිම මිත්‍රශීලීයි. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ. ඒ වුණාට අවශ්‍ය මොහොතකදී ක්ෂණිකව උදව් කරනවා. පටු අදහස් නැහැ. මං මේ කියන්නේ මෙහෙ අය නරකයි කියලා නෙවෙයි. එහෙ ජීවිතේ ඔන්න ඔහොමයි ගෙවුණෙ.

නෙහාරාට දැන් හොඳට උයන්නත් පුරුදු ඇති?

ඒක නම් ඇත්ත. එහෙ ගියාම තනියමනෙ ඔක්කොම වැඩ කර ගත්තේ. මමම කෑම ඉව්වා. ආටා රොටි තමයි වැඩිපුරම හැදුවෙ. මං හදන චිකන් කරියටත් මේනක ආසයි.

මට පේන අන්දමට කලක් වහං වෙලා හිටියත් ඔබේ ජනප්‍රියත්වය නම් අඩු වෙලා නැහැ?

මටත් එහෙම හිතෙනවා. ආව විගසින්ම ගොඩක් කෝල්ස් ආවා. මාධ්‍යයත් කතා කළා. වැඩ සටහන්වලට එක් වුණා. මග තොටේදී ෆෑන්ස්ලා කතා කළා. මේ මේ දේවල් එක්ක තවම මාව හොඳට මතකයි හැමෝටම. පොඩි නිහතමානි ආඩම්බරයක් ඒ ගැන මගේ හිතේ තියෙනවා.

එහෙට වෙලා හිටපු කාලෙ අපතෙ ගියා කියලා හිතෙන්නෙ නැතිද?

නැහැ. අපි මෙහෙ හිටියා නම් ඔය වගේ අධ්‍යාපන කටයුතුවලට කවදාවත් යොමු නොවෙන්න තිබුණා. කෙටි කලක් කලාවෙන් ඈත් වුණා තමයි. ඒත් තව තව දේවල් ජීවිතයට ළං වුණා කියලා දැනෙනවා.

ඉකුත් දිනයකදී පුංචි බබෙකු සමඟ ඔබ සහ මේනක ගත් ඡයාරූපයක් නිසා ගොසිප් රාශියක් හැදුනා නේද?

ඔව්. ඒක වුණේ මෙහෙයි. අපට ඥාති වන බබෙක් වඩාගෙන අප ඡායාරූපයක් ගත්තා. කවුරුත් ඔය වගේ වැඩ කරනවානෙ. මේක මං අන්තර්ජාලයට එක් කළා. ඒක අල්ලගෙන සමහරු කතා හැදුවා අපි එහෙට ගිහින් මව්පියන් වෙලා කියලා. දෙයක් කියනකොට කරන කොට හොයලා බලලා කරන්න එපායැ. එහෙත් ඒක නෙමේ වුණේ. මතුපිටින් බලලයි ඔය වගේ දේවල් කිව්වෙ.

ඇත්තටම ඔබට මවක් වන්නට අදහසක් නැතිද?

කසාද බැඳපු ඕනෑම තරුණියකට මවක් වීමේ අදහසක් තියෙනවා. ඒකනෙ ඇත්ත. ඉතින් මටත් එහෙම්ම තමයි. ඉක්මනින් මවක්වීමේ අදහසක් තියෙනවා. ඒ වගේ විශේෂ ආරංචියක් ඉක්මනින් කියන්නට හැකි වන බව මට විශ්වාසයි.