වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




සාලියට අශෝකමාලාට හතුරුකම් කළ මයිකල් සන්නස් ලියනගේ

සාලියට අශෝකමාලාට හතුරුකම් කළ මයිකල්
සන්නස් ලියනගේ

එක්දාස් නවසිය තිහේ එක් ප්‍රියංකර සන්ධ්‍යාවක කොළඹ පිටකොටුවේ එක්තරා ශාලාවකට ඇදෙන තරුණයෙකි. එහි නාට්‍යයක් රඟ දක්වන බවට ලකුණක්වත් නොවීය. එහෙත් මේ තරුණයා කිසියම් රහසක් දැනගෙන සිටි නිසා අඩවල් කොට තිබුණ දොරකින් ඇතුළු විය. එහිදී ඔහු වේදිකාව දෙස බලාගත් ආකාරයෙන්ම සිටියේය. එහි අපූරු නාට්‍යයක් පුහුණු වෙමින් තිබුණි. නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සී. දොන් අමරදාසය. නාට්‍යයේ නම 'සුනේත්‍රා' බව අසල සිටි අයකුගෙන් දැනගන්නට ලැබිණ. නාට්‍යයේ නළු නිළියන් අසලට යන අමරදාස තරුණ නාට්‍ය අධ්‍යක්ෂවරයා උපදෙස් දෙයි. ඔබ මොබ ඇවිදිමින් අවට සිටි කිහිප දෙනා දෙස විමසුම් ඇසින් බැලීය. නාට්‍යය බැලීමට හොරෙන් පැමිණ සිටි තරුණයා දුටු නාට්‍ය අධ්‍යක්ෂවරයා සමඟ සිටි නවකථා කතුවර ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන් තරුණයාට ඇඟිල්ලක් දික්කරමින් මෙසේ කීවේය.

'මේ තමුසෙට මම කියන්නේ? කාගේ අවසරයකින්ද තමුසෙ මේකෙ ඇතුළට ආවේ. හොඳ හිතින් දොට්ට බහිනවා' ඔහුගේ කටහඬ ශාලාව පුරා රැව් පිළිරැව් දුන්නේය.

ඒ හඬට අවනත වූ තරුණයා සුසුමක් හෙළා, මොහොතක්වත් නොරැඳී පිට වී ගියේය.

මේ තරුණයාගේ නම මයිකල් සන්නස් ලියනගේය.

1947 අප්‍රේල් 09 වෙනිදා ලංකාවේ තිරගත වූ දෙවන චිත්‍රපටය වූ 'අශෝකමාලා' හි දෙවන උප ප්‍රධාන චරිතය වූ විපුල සෙනෙවියා ලෙස රඟපෑවේ ඔහුය. ඉන්පසු 'එදා රෑ' චිත්‍රපටයේ ඔහු රඟපෑ අතර 1965 වසරේ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස 'ළාදලු' චිත්‍රපටයෙන් දස්කම් පෑවේය.

මයිකල් සන්නස් ලියනගේ මා මුලින්ම දැක ගත්තේ මීට වසර 58 කට පමණ ඉහත දහතුන් හැවිරිදි වියේ පසුවෙද්දීය. මුද්‍රණාලයක හිමිකරු වූ මගේ පියා මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය කඩදාසි වර්ග මිල දී ගැනීමට පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ නිසී ට්‍රේඩිං කොම්පැනියට ගිය ඇතැම් දවසක මා ද කැටුව ගියේය. නිසී ට්‍රේඩිං කොම්පැනියේ කළමනාකාරවරයා වූ සන්නස් මගේ පියාගේ සමීප මිත්‍රයෙකි. ඔහු තාත්තාට වඩා වසර කිහිපයක් වැඩිමහලුය. එදා මා දුටු සන්නස්ගල අන්කල් එළියට පැමිණ තම කාර්යාලයට යාබද මල්වත්ත පාරේ පිහිටි අවන්හලකට කැඳවාගෙන ගියා මතකය.

'ළමයා අපට ස්ට්‍රෝන් තේ තුනක් දානවා' යි සන්නස් අන්කල් සේවකයාට කීවේය.

තේ සාදන අතරේ තාත්තා සමඟ කතාබහ කළේය.

'එඩ්මන් මම කියලා තියෙනවා නේද? මට කාලෙකට ඉස්සර වෙච්ච පළහිලව්ව්ක් ගැන. අර නාට්‍යයක රිහසල් බලන්න ගිහින් ඩබලිව්. ඒ. සිල්වා උන්නැහේ මාව එළවගත්ත හැටි. ඒ පුෂ්පදාන රංග ශාලාව තිබුණේ අන්න අතන' ඔහු ඈතට අත දිගු කරමින් කීවේය.

අත් දිග කමිසයක් හැඳ ටයි පටියකින් ගෙළ සරසා සිටි අඩි 5 අඟල් 11 ක් උස මේ පුද්ගලයා මට නැවත හමු වූයේ මා 'සරසවිය' පත්‍රයට විශේෂාංග ලියන 1970 වසරේදීය. පැරැණි චිත්‍රපට හා නළු නිළියන් ගැන ලිවීමට නොතිත් ආසාවෙන් සිටි මා සන්නස් අන්කල් හමුවීමට දෙවැනි හරස් වීදියේ 'නිසී ට්‍රේඩිං' එකට ගියේ ද තාත්තා සමඟය. තාත්තා වෙන කටයුත්තකට ගිය පසු ඔහු මා කැටුව කොටුවේ මැලිබන් හෝටලයට ගියේ සැනසිල්ලේ කතාබහ කිරීමටය.

'අයිසේ ඒ කාලයේ චිත්‍රපට කරන කාලේ අද වගේ පහසුකම් තිබුණේ නැහැ. අත දෙන්න කවරුත් හිටියේ නෑ. සිනමා පත්තර තිබුණේ නැහැ. ධනපාල මහත්තයා විතරයි ලංකාදීපෙන් අපි ගැන මොනව හරි ලිව්වේ. මහානාම දිසානායක, ධර්මසිරි ජයකොඩි විතරයි ඒ කාලේ මා ගැන මොනව හරි ලිව්වේ. එතකොට මම රඟපෑ 'අශෝකමාලා' චිත්‍රපටයට ලොකු ප්‍රචාරයක් දුන්නේ මගේ රඟපෑම ඉහළට ඔසවලා. මම 'එදා රෑ' චිත්‍රපටයේ රඟපෑවේ 1953 අවුරුද්දේ. මේ කාලේ මම ලංකාදීපෙට ලිපියක් 1959 අවුරුද්දේ ලිව්වා - 'අපට හොඳ චිත්‍රපට තනන්න බැරි ඇයි' කියලා. මේ ලිපියෙන් මම අවධාරණය කළේ ඓතිහාසික චිත්‍රපටවලට නරඹන්නන්ගේ අවධානය කැමැත්ත වැඩි බවයි. ඓතිහාසික චිත්‍රපට මේ රටට නාල්ලයි කියා මෙතෙක් බොහෝ නිෂ්පාදකයින් ඇති කරගෙන තිබුණ වැරැදි මතයට අභියෝග කරන්නාක් මෙන් 'දෛවයෝගය' නිපද වූ සොයිසා සහෝදරයන්ටත්, 'සන්දේශය' නිපදවන ලෙස්ටර් ජේම්ස් පීරිස්ටත් සකල ජනතාවගේ ඇල්මත් බැල්මත් සහයෝගයත් ලැබිය යුතු යයි එදා මම කිව්වා.'

සන්නස් සිංහල සිනමාවට අවංකව ආදරය කළ දේශීියත්වය, අපේකම අගය කළ කලාකරුවකු බව එදා මට අවබෝධ විය.

1908 නොවැම්බර් 04 වෙනිදා බොරැල්ලේ කැම්බල් පෙදෙසේ උපත ලැබූ මයිකල් සන්නස් ලියනගේ අධ්‍යාපනය ලබා ඇත්තේ බොරැල්ලේ සියලු සාන්තවරයන්ගේ පාසලෙනි. නාට්‍ය කලාවට පාසල් යන කාලයේ සිටම ඇලුම් කළ ඔහුට හාපුරා කියා රඟපෑමට අවස්ථාව ලැබුණේ වත්තල ලූමන් රාජපක්ෂගේ 'රාජද්‍රෝහියා' නාට්‍යයේය. එහි ඔහුට කියන්ට තිබුණේ 'නවතිනු' යන අකුරු හතර පමණි. කෙසේ වුව ද ඔහුගේ රඟපෑම්වල දක්ෂතාව දුටු ලූමන් ඔහුට ප්‍රතිමල්ලවයාගේ චරිතය රඟපෑමට අවස්ථාව දුන්නේය. එදා ඔහු සමඟ රඟපෑ නළු නිළියන් අතර රුක්මණී දේවි හා ස්ටැන්ලි මල්ලවආරච්චි ද වූහ. සන්නස් නාට්‍ය පිටපත් රචකයකු ලෙස ද දස්කම් දැක් වීය. ඔහු විසින් රචිත 'සැඟවුණු අරුමය', 'ස්ත්‍රිය ස්වර්ගයද? නිරයද?' නාට්‍යය එදා අතිශයින්ම ජනපි‍්‍රය වී ඇත.

'ඩේසි ඩැනියෙල්ස්ට 'රුක්මණී' නම් කරන කොට 'දේවි' කොටස එකතු කිරීමට යෝජනා කළේ මම. 'රාජද්‍රෝහියා' නාට්‍යයේ රඟපාන කොට ඇගේ නම රුක්මණී වසුන්දරා. ඇය මේ නාට්‍යයට මුලින්ම එකතු වුණේ ගායිකාවක් හැටියට. මම 'රුක්මණී දේවි' කියලා නම වෙනස් කළාම එඩී මාස්ටර් (එඩී ද සිල්වා) හා ලූමන් රාජපක්ෂ මේ නම අනුමත කළා.' සන්නස් රංගවේදියා අතීත තොරතුරක් මට කීවේය.

රුක්මණීට ‘දේවි’ නම තිබ්බේ ඔහුය

ලංකාවේ දෙවැනියට තිරගත වූ 'අශෝකමාලා' චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක ශාන්ති කුමාර් සෙනෙවිරත්න වූ අතර ශාන්ති ලියූ ඉංග්‍රීසි කතා පිටපත සිංහල බසට නඟා ප්‍රාණවත් දෙබස් රචනා කිරීමේ කාර්ය පැවරුණේ සන්නස්ටය. එපමණක් නොව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය වූ විපුල සෙනෙවියාගේ චරිතය රඟපාමින් චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වූයේ ද සන්නස්ය. මේ චිත්‍රපටයේ විචාරක ප්‍රශංසාව හිම වු විශිෂ්ට නළුවා වූයේ ඔහුය. දෙවනුව ඒ ගෞරවය ලැබුණේ ඈපා ආදිපාදවරයාගේ චරිතය රඟපෑ ඔස්ටින් අබේසේකරටය.

ඔහු වඩාත් සතුටු වූයේ 'අශෝකමාලා' චිත්‍රපටය ගැන කීමටය.

'1946 අවුරුද්ද මට කිසිදා අමතක වෙන්නේ නැහැ. ශාන්ති කුමාර් සෙනෙවිරත්න ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ 'සාලිය අසෝකමාලා' චිත්‍රපට කතා පිටපත ඒ කාලයේ ලංකාවේ මුල්ම චිත්‍රපට කතාව. ඒ කාලයේ ලංකවේ සිංහල චිත්‍රපටය හදන්න කියලා තියපු චිත්‍රපට කතා තරඟයෙන් මුල් තැනට ආවා. ශාන්තිට රු: 500 කුත් ලැබුණා. ශාන්ති සිහින මවමින් හිටියේ ලංකාවේ පළමුවැනි සිංහල චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න. චිත්‍රපට තරඟය ඇති කළ නායගම් මේකට කැමති වුණේ නැත්තේ ශාන්තිට ඒ සඳහා අත්දැකීම් නැති නිසා. නායගම් හා ශාන්ති අතර ඇති වූ මතභේදය නිසා ශාන්ති තම කතා පිටපත අරං සිලෝන් තියටර්ස් එකේ ලොක්කා සර් චිත්තම්පලම් ගාඩිනර් ගාවට ගියා. මුල්ම චිත්‍රපටය බිහි කරන්න ලොකු සටනක් තිබුණේ. නායගම් 'කඩවුණු පොරොන්දුවත්' අරං මදුරෙයි චිත්‍රාගාරයට ගියා. අපි 'අශෝකමාලා' කරන්න කොයිම්බතුර් චිත්‍රාගාරයට ගියා.'

ලංකාවේ දෙවැනියට තිරගත වූ 'අශෝකමාලා' චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක ශාන්ති කුමාර් සෙනෙවිරත්න වූ අතර ශාන්ති ලියූ ඉංග්‍රීසි කතා පිටපත සිංහල බසට නඟා ප්‍රාණවත් දෙබස් රචනා කිරීමේ කාර්ය පැවරුණේ සන්නස්ටය. එපමණක් නොව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය වූ විපුල සෙනෙවියාගේ චරිතය රඟපාමින් චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වූයේ ද සන්නස්ය. මේ චිත්‍රපටයේ විචාරක ප්‍රශංසාව හිමි වු විශිෂ්ට නළුවා වූයේ ඔහුය. දෙවනුව ඒ ගෞරවය ලැබුණේ ඈපා ආදිපාදවරයාගේ චරිතය රඟපෑ ඔස්ටින් අබේසේකරටය.

'මම විපුල සෙනෙවි ලෙස රඟපාමින් අනික් නළු නිළියන්වත් පුහුණු කළා. මොකද? ශාන්ති වැඩිය සිත යොමු කළේ අධ්‍යක්ෂණය පැත්තට. ඔහුට අවශ්‍ය වුණේ චිත්‍රපටයේ වැඩ කටයුතු ඉවර කරන්න. චිත්‍රපටයේ තාපසයකුගේ චරිතයක් තිබුණා. චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂක හැටියට ඉන්දියාවට ගිහින් හිටිය ඇල්බට් පෙරේරාට මම කිව්වා 'ඇල්බට් තමුසෙ රැවුලක් දාගෙන 'භවේ භීත හැර දේ සිත ලෝනා' ගිතයත් ගායනා කරන්න කියලා'. ඔහු ඒ චරිතය අගේට රඟපෑවා. ඒ තමයි පණ්ඩිත් අමරදේව

මයිකල් සන්නස් ලියනගේ 'අශෝකමාලා' චිත්‍රපටයෙන් පසු යළිත් නාට්‍ය නිෂ්පාදනය කර ඇත. 'සීගිරිය' හා 'කොනප්පු බණ්ඩාර' මේ නාට්‍ය දෙකයි. 1953 ශාන්ති කුමාර් සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ 'එදා රෑ' චිත්‍රපටයේ වික්ටර් නම් දුෂ්ට චරිතය රඟපෑ සන්නස් 1957 ශාන්ති අධ්‍යක්ෂණය කළ 'ජීවිත සටන' චිත්‍රපටයේ දෙබස් රචනා කළේය. තාවකාලිකව චිත්‍රපට කලාවෙන් සමුගත් සන්නස්ගල 1965 තිරගත වූ 'ළා දලු' චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා ද දෙබස් රචකයා ද විය. 'ඉපදුණේ ඇයි' චිත්‍රපටයේ දෙබස් රචකයා ද ඔහුය. රුක්මණී දේවි, ස්ටැන්ලි පෙරේරා හා ඇල්ප්‍රඩ් එදිරිමාන්න ප්‍රධාන චරිත රඟපෑ 'ළාදළු' චිත්‍රපටයේ අමතක නොවන අවස්ථාවක් මට විස්තර කර ඇත.

'මට ජීවිතයේ හමු වූ ශ්‍රේෂ්ඨතම කාන්තාව රුක්මණී දේවියයි. මා අධ්‍යක්ෂණය කළ 'ළා දලු' චිත්‍රපටයේ එක් උද්වේගකර අවස්ථාවක් තිබුණා. චිත්‍රපටයේ හැටියට රුක්මණීගේ පළමුවන පෙම්වතා ස්ටැන්ලි පෙරේරා. ස්ටැන්ලි නිසා රුක්මණීට ලැබුණු දුව පාරක් අද්දර දමා යාමට තරම් රුක්මණී සැහැසි වෙනවා. එසේ සිදු වන්නේ ස්ටැන්ලි ඇය අනාථ කොට විජිත මල්ලිකා විවාහ කර ගන්නවා. රුක්මණී මේ දරුණු අවස්ථාව චිත්‍රපටයේ හැටියට රුක්මණී පසුව ඇල්ප්‍රඩ් එදිරිමාන්න සමඟ විවාහ වෙනවා. පසු කලෙක ඇය සැමියාට අතීත කතාව පවසන දර්ශනය රූගත කරන අවස්ථාවේ ඇය ඇත්තටම ඇඬුවා.

ඩේසි ඔයා ඒ සීන් එක ස්වාභාවිකව කළා'

'මයිකල් අයියාගේ දෙබස් කියන විටයි ඔයා අධ්‍යක්ෂණය කරන කොටයි මම රඟපාන චරිතය ස්වාභාවිකව රඟපානවා කියලා මට හිතෙන්නේ' රුක්මණී කඳුළු පිස දමමින් කීවා. ඇගේ නිහතමානී බව ඔප් නැංවුණු අවස්ථාවක් ඒ.' ඔහු කීවේය.

මිතුරන් අතර සුහද මිතුරෙකු වූ මයිකල් සන්නස් ලියනගේට වැඩියෙන් සිටියේ මුස්ලිම් ජාතික හා ද්‍රවිඩ ජාතික මිතුරන්ය. මිතුරන් එපා නොවන ලෙස ඇසුරු කිරීමේ රහස කුමක්දැයි අප ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.

'මාරි කොරලි නම් ඉංග්‍රීසි කතුවරිය කියන පරිදි මිනිසුන් ගැන මගේ දැනීම යම් තරම් වැඩි වේද, බල්ලන්ට මගේ ඇති ආදරය ඒ තරම්ම වැඩි වෙන්නේය' කියා අප හා සිනාසුණු අයුරු මට ඔහු මියගිය දිනයේ සිහිපත් විය.

වයස අවුරුදු 98 ක් අයු වළඳා 2006 ජනවාරි 16 වැනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

එයට පෙර 2004 වසරේ සරසවිය සම්මාන උලෙළේ රණ තිසර සම්මානයෙන් පිදුම් ලබන්නට මයිකල් සන්නස් ලියනගේ වාසනාවන්ත විය.