වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ට්‍රේල් බයික් එකේ ගිහින් අනූනවයෙන් බේරුණු

ට්‍රේල් බයික් එකේ ගිහින් අනූනවයෙන් බේරුණු

Ayesha Madhushani

පාරා ටෙලි සිතුවමේ සකුණි ලෙසින් ඇය ඔබ හමුවට එයි

සකුණි මොකක්ද ඔබේ ඇත්ත නම?

අයේෂා මධුශානි.

කොපමණ කල්ද රඟපාන්න ඇවිත්?

දෙදහස් දොළහ වසරේදියි මම රඟපාන්න ආවේ.

මොකක්ද පළමු ටෙලි සිතුවම?

සුරවිමන.

ඉන් අනතුරුව ඔබ රඟපෑ ටෙලි සිතුවම් පෙළ මතක් කළොත්?

දෙවුලියේ, සුදු අඟුරු, මිහිදුම් තරණය.

රංගනය සඳහා මොන වගේ කැමැත්තක්ද තිබුණේ?

ඇත්තටම රඟපාන්න එහෙම විශේෂ කැමැත්තක් තිබුණේ නැහැ. පොඩි කාලයේ සිටම ස්පෝර්ට්ස් තමයි කළේ. කෙටි දුර ධාවන ශූරියක විදිහට සමස්ත ලංකා පදක්කම් පවා දිනලා තියෙනවා. නර්තනය හදාරන්න හිතුණා. ඒකට කොළඹ ආවා. ඔහොම ඔහොම ඉබේම රංගනයට යොමු වුණා.

ක්‍රීඩිකාවක් වීම නිසා රංගනයට පහසුවක් වුණාද?

ඇතැම් අවස්ථාවලදී ලොකු පහසුවක් දැනෙනවා. මං අනිත් අයට වඩා ඇක්ටිව්. ඒ වගේම ගස් නඟින්න, පීනන්න, මෝටර් බයිසිකල් පදින්න වගේ ඕනෑම දෙයක් මට කරන්න පුළුවන්. ඒ හැකියාව නිසා මට ඒ අන්දමේ චරිත ලැබුණා.

ඔබ වඩාත් ජනප්‍රිය වුණේ පාරා හි සකුණි නිසා කියලා කිව්වොත්?

ඒක හරි. මං කලින් කරලා තියෙන්නේ ටිකක් දුෂ්ට චරිත. ඒත් සකුණි එහෙම නැහැ. ඒ නිසා මට වෙනදාට වඩා කමෙන්ට්ස් ලැබෙනවා. රසික රසිකාවන්ගේ ආදරයත් වැඩියි. ඒ සකුණිගේ ගතිගුණ නිසා වෙන්න ඇති.

මේ වන විට රංගනය වෘත්තීය වෙලාද?

නැහැ. රංගනය වෘත්තීය කරගන්න අමාරුයි. මොකද මුදල් එහෙම ලැබෙනවා අඩුයිනෙ. ඒත් මං රංගනය විනෝදාංශයක් කරගෙන නැහැ. ලැබෙන චරිතයට කැපවීමෙන් සාධාරණයක් ඉටු කරනවා. මං මගේම ව්‍යාපාරයක් කරනවා. මං ආර්ථිකය ශක්තිමක් කර ගන්නේ ඒකෙන්.

රඟපාන්න ගිහින් වෙච්ච අමතකම නොවන අත්දැකීම මොකක්ද කියලා මං ඇහැව්වොත්?

මිහිදුම් තරණය නාට්‍යයේ මට ටේලර් බයික් එකක් පදින්න තිබුණා. මං ඒක ධාවනය කරගෙන ඇවිත් කලර් ලයිට් එකක් ගාව නවත්වන්න ඕන. ඒත් මට නවත්වන්න බැරි වුණා. අනෙක් පැත්තෙන් ලොරියක් ආවා. මං හිතුවෙ එදා මං ඉවරයි කියලා. ඒ ලොරියේ ඩ්‍රයිවර් ඒක බ්‍රේක් කරගෙන නවත්වගෙන. ඒ නිසා බේරුණා.

ඔබට නිවේදනයට ආරාධනා ලැබිලා නැද්ද?

තියෙනවා. එහෙත් මං බැහැ කිව්වා.

ඇයි ඒ?

මං ආස නැහැ නිවේදන කටයුතුවලට ගිහින් මේ හදා ගත්තු නම කැත කරගන්න. රඟපෑම මට හොඳයි. නිවේදන කටයුතු කරන්නත් ඕන තරම් අය ඉන්නවනෙ.

අයේෂා මධුශානි කියන්නේ මොන වගේ චරිතයක්ද?

හිත හොඳ ඉක්මනින් තරහා යන කෙනෙක්. ඒ වගේම හුදකලා දිවියක් මං ගත කරන්නේ.

ඒ හුදකලාවට හේතුව?

මං ටිකක් හිතුවක්කාරයි නිතරම මගේ මතයෙම ජීවත්වන කෙනෙක්. ඒ හිතුවක්කාරකම මත මට මගේ අම්මා තාත්තා එක්කත් ඉන්න බැරි වුණා. ඒ නිසා මං තනියම ජීවත් වෙනවා.

ඔය හුදකලාව නිසා ඔබට හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න බැරි වේවි?

මටත් එහෙම හිතෙනවා. කසාද බැඳපු දවසක කොහොම ජීවත් වෙයිද කියලා. ඒත් කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා.

එහෙම වුණාට ඔබ මේ වන විට පෙම්වතියක්?

ඔව්.

අයේෂාගේ ගම මතක් කළොත්?

කුරුණෑගල, දොඩම්ගස්ල්න්ද.

ඉගෙන ගත්තු පාසල?

මං ඉස්කෝල දෙකකින් ඉගෙන ගත්තා. දොඩම්ගස්ලන්ද සෙන්ට්‍රල් සහ මාදම්පේ සේනානායක තමයි ඒ පාසල්.

පවුලේ කවුද ඉන්නේ?

මුළු පවුලටම මං විතරයි. මමයි අම්මයි තාත්තයි.