වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




‘සුනිල සර’ නැඟෙන සොඳුරු සුයාමය

‘සුනිල සර’ නැඟෙන සොඳුරු සුයාමය

සංගීතඥ සුනිල් ධර්මසේන

නම කිව් සැනින් ඔහුගේ රුව මතකයට ගැනීම උගහටය. ඒ අන් කිසිවක් නිසා නොව මාධ්‍යය ඔස්සේ නිතර නෙත ගැටෙන රූ අතර ඔහුගේ රුව නියෝජනය නොවීමයි. එය එසේ වුවද, ඔහු විසින් මෙතුවක් කළ ගී හා සංගීත නිර්මාණ ඔහුගේ රුව අබිබවමින් මාධ්‍යයේ ඉහළින් වැජඹෙන්නට මේ මොහොතේ ද සමත් වී ඇති බව නොරහසකි.

එය සනාථ කරලීමට ඔහු පිළිබඳ අටුවාටීකා මෙහි සටහන් කිරීම නිෂ්ඵල බව සරසවිය පාඨක ඔබට ඒත්තු ගැන්වීමට ඔහුගේ නිර්මාණ එකතුවෙන් අල්පයක් මෙහි සටහන් කිරීමම ප්‍රමාණවත් වනු ඇත. ඒ තරමටම ඔහු විසින් ගී ලොවට දායාද කළ නිර්මාණ එකතුව මනරම්ය, විවිධය. එමෙන්ම විචිත්‍රය.

පෙර අපර දෙදිග සංගීත සාරයෙන් අනුනව, වඩාත් මිහිරිව මෙන්ම ළයාන්විතව ඔහු කළ නිර්මාණ අතර රූකාන්ත, චන්ද්‍රලේඛා ගයන 'මිතුරි මගේ සදාකල්' එඩ්වඩ් ජයකොඩි ගයන 'නිහඬ කල්පනා', 'සිහිනයේ මල් පිපී', 'මේ මල් යායේ', 'පෙර ඔබ මා හමු වී' ජගත් වික්‍රමසිංහ ගයන 'සාගර තරංගා' 'මල් මන්දහාසයෙන්ය කීවේ' 'පෙම්වන්තයින් සේ සිනාසී' ආචාර්ය වික්ටර් රත්නායක ගයන 'සඳකැන් දිලෙන්නේ' සනත් නන්දසිරි ගයන 'ලිහිණි නඟේ', මර්වින් මිහිඳුකුල ගැයූ 'ඉස්සර දවසේ' යන ගීත මෙන්ම බටහිර ඌරුවට බයිලා ආරට ඔහු නිර්මාණය කළ සමන් ද සිල්වා ගයන 'පුංචි කුරුලු කූඩුවේ' 'පිණිබර සීත යමේ' ෆ්‍රෙඩී සිල්වා ගැයූ 'ආරොන්ගෙ මල්ලි බාරොන්' යන ගී ජනප්‍රියත්වයේ හිනිපෙතටම නැඟි ගී නිර්මාණයන්ය.

මෙවන් ජනප්‍රිය ගීතාවලියක් සුවහසක් ලාංකේය ගීත ලෝලීන් වෙනුවෙන් තිළිණ කළ ඔහු නමින් සුනිල් ධර්මසේනය. සුනිල් තම සංගීත දිවියට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් එළඹෙන ජූනි 16 පවත්වන්නට යෙදෙන 'සුනිල සර' ප්‍රසංගය පිළිබඳ පවසන්නට සරසවියට පැමිණි මොහොතේ ඔහු සමඟ අප කළ කතාබහ මෙලෙස සටහන් තබමි.

* අයුබෝවන්, සෑහෙන කලකට පසුව?

ඔව්. මම ඉතින් නිතර මාධ්‍යයට එන්නෙ නැහැනේ. ඒත් මම සංගීතය මගේ වෘත්තීය කරගෙන මේ වන විට වසර 45 ක්.

* ඒ වෙනුවෙන් ඔබ කළ නිර්මාණ එකතුවක් ඔබගේ රසික රසිකාවියන් වෙත ගෙන ඒමට සුදානම්?

මම ඒ වෙනුවෙන් 'සුනිල සර' නමින් ප්‍රසංගයක් ලබන 16 වනදා කොළඹ බිෂේප් විද්‍යාලයේදී පවත්වන්නට සුදානමින් සිටිනවා.

* ඔබේ මේ ගමනේ ආරම්භය?

මගේ සංගීත දිවියේ පදනම වෙන්නේ මගේ ගෙදර. මගේ මව ගායනයේ මෙන්ම සර්පිනා වාදනයේ නිපුණතා දැක් වූ කෙනෙක්. එමෙන්ම මගේ මාමා තබ්ලාව, සිතාරය, බටනලාව යන සංගීත භාණ්ඩ වාද්‍ය ශිල්පියෙක්. එමෙන්ම ඔහු පණ්ඩිත් අමරදේවයන්, එම්. කේ. රොක්සාමි, සදානන්ද හෙට්ටිආරච්චි යන සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමඟ ප්‍රසංග සඳහා දායකත්වය ලබා දුන් අයෙක්. ඔවුන්ගෙන් ලද ආභාසය තමයි මගේ සංගීත ගමනට මුල් වුණේ.

* ඉන් අනතුරුව?

මම අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන්. පාසල් කාලයේදී එහි ප්‍රසංග පවත්වනවා. ඒ ප්‍රසංගවලට එදා මිල්ටන් මල්ලවආරච්චිත් දායක වුණා මට මතකයි. මිල්ටන් ජ්‍යෙෂ්ඨයෙක් වුණත් සංගීත කටයුතුවලදී අපත් සමඟ එකතු වෙනවා. ඒ කාලයේදීම මම කළුතර 'අඪධ ඹ්ධඵ ඉඥපඥදචබධපඵ' නමන් කැලිප්සෝ සංගීත කණ්ඩායමකට ද සම්බන්ද වෙනවා. එහිදී පිලිප්ස් ලේබලය යටතේ ගීත 4 ක් පටිගත කිරීමට දායක වන්නට මට අවස්ථාව ලැබුණා.

* පසුකාලීනව ඔබ ප්‍රසිද්ධ නිර්මාණකරණයට පිවිසෙනවා?

ඔව්. මම හාපුරා කියලා ගීතයක් පටිගත කළේ 1972 වසරේ බම්බලපිටියේ ඔගී ශබ්දාගාරයේ දී මා විසින් කළ තනු නිර්මාණයට ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ගේය පද රචනා කළ මයිකල් පීරිස් ගැයූ අදටත් ජනප්‍රිය 'කස පුපුරණ හඬ' ඒ ගීතයයි. එදා ඒ සඳහා වයලීන වාදනයෙන් වික්ටර් රත්නායකද, සැක්සෆෝනය වාදනයෙන් එම්. කේ. රොක්සාමි ද සහභාගි වුණා. මා විසින් මෙහෙය වූ 'Triangles' සංගීත කණ්ඩායම තමයි මෙහි වාදනයට සහභාගි වුණේ.

* පසුව ඔබ ගුවන් විදුලිය සමඟ සම්බන්ධ වෙනවා?

ඔව්. 1978 වසරේදී මා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගිටාර් වාදන ශිල්පියෙක් වශයෙන් එහි සේවයට එක් වෙනවා. ඒ අතරතුර 1982 වසරේදී මගේ ප්‍රථම ගී නිර්මාණ කැසට්පටය එළිදැක් වූවා. අමිල ලේබලය යටතේ එළිදැක් වූ එම කැසට්පටය සඳහා ටී එම්. ජයරත්න, නිහාල් නෙල්සන්, පෝල් ප්‍රනාන්දු යන ගායන ශිල්පීන් මෙන්ම එදා ප්‍රථම වරට කැසට්පටයක් සඳහා ගී ගැයූ සුජාතා අත්තනායක, වර්නන් පෙරේරා, රෝහණ වීරසිංහ, එඩ්වඩ් ජයකොඩි, කීර්ති පැස්කුවෙල්, රෝහණ සිරිවර්ධන යන ශිල්පින් අද ක්ෂේත්‍රයේ ඉහළ තැන් හොබ වනවා.

* එත් එක්කම බොහෝ කැසට්පට ප්‍රමාණයක් ඔබගේ සංගීතයෙන් රසගැන්වී පටිගත වෙනවා?

ඔව්. අමිල ලේබලය යටතේම ෆ්‍රෙඩී සිල්වා, ඒ. ඊ. මමෝහරන්, නිලාමදි පිච්චයප්පා යන ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම 1984 දී 'ඊපඪචදඨතඥඵ ඹඪබඩ ඕචදඤ ඹ්ඥචඤඥපඵ' නමින් ද කැසට් පටයක් කළා. ඒ සඳහා සුනිල් පෙරේරා, නීල් වර්ණකුලසූරිය, නලින් පෙරේරා, සොහාන් වීරසිංහ යන මේ වන විට සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායම්වල නායකයින් ගායනයෙන් සහභාගි වුණා.

* ඔබ ජාත්‍යන්තර නිර්මාණකරණයට පිවිසි ශිල්පියෙක්?

ඔව්. මම මාල දිවයින සමඟ එක් වී එහි කැසටපට 14 කට පමණ සහ චිත්‍රපට 2 කට සංගීත නිර්මාණය කළා. දෙරට අතර සිදු කෙරුණ තවත් එක් ටෙලි නාට්‍යයක් සඳහා තමයි මම ජගත් වික්‍රමසිංහ ගයන 'සාගර තරංගා' ගීතය නිර්මාණය කළේ. එහි රූගත කිරිම් සඳහා යන අතරවාරයේ යාත්‍රාව කුනාටුවකට හසුවීමේ ප්‍රතිඵලයක් ලෙස ටෙලි නාට්‍යයේ වැඩ අවසන් කර ගැනීමට නොහැකි වුණා. ඉන් අවසානයේදී ඉතිරි වුණේ මෙම ගීතය පමණයි.

* 'Triangles' දෙසට ඔබ නැවතත් යොමු වෙනවා?

'Triangles' කියන්නේ මා මෙහෙයවන ලද වසර ගණනාවක් පැරැණි සංගීත කණ්ඩායමක්. එහි ආරම්භක සාමාජික සාමාජිකාවන් වුණේ සරත් ද අල්විස්, උපේන්ද්‍ර ප්‍රනාන්දු, නිරංජලා සරෝජිනී, මයිකල් පෙරේරා, මොහාන් සමරකෝන්, තිලක් සමරකෝන් සමඟ චන්ද්‍රනාත් හෙට්ටිආරච්චි යන ශිල්පීන්. කාලයක් සමඟ ඊට මේ වන විට සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වන නීල් වර්ණකුලසූරිය, කීර්ති පැස්කුවල්, රංජිත් සිල්වා, ගාමිණී පෙරේරා, ලූෂන් අලහකෝන්, රෝයි කාරියකරවන, රොහාන් ෆ්‍රැන්සිස්, මර්වින් පි‍්‍රයන්ත, දිස්නා ශ්‍රියන්ජනී, ශ්‍යාමලී ලිවේරා, රංජිත් ලියනගේ, පැට්‍රික් මයිකල් යන ශිල්පීන් ශිල්පිනියන් ද දායකත්වය සැපයුවා.

* අද 'Triangles' නියෝජනය කරන්නේ?

සුසිල් පෙරේරා, ජෝර්ජ් සේනානායක, දමිත් නන්දන, ඩෙරික් ඩයස්, මහින්ද කරුණාරත්න, ශ්‍යාමික සම්පත්, අසංක සම්පත්, චින්තා සන්දීපනී සමඟ චලන ලහිරු සහභාගි වනවා.

* එදා මෙදාතුර ක්ෂේත්‍රයේ ඔබට අත දුන් අයත් ඇති?

ඔව්. අනිවාර්යයෙන්ම මට සංගීතය පිළිබඳ දැනුම තිබුණට ස්වර ප්‍රස්තාර නිර්මාණය හැකියාවක් තිබුණේ නෑ. ඒ සඳහා මට අවශ්‍ය දැනුම ලබා දුන්නේ සංගීත් නිපුන් සනත් නන්දසිරි. අනතුරුව මම රූපවාහිනියට සම්බන්ධ වුණා. පසුව ඒ සඳහා වැඩිදුර ගුරුහරුකම් ලබා දුන්නේ ඇන්තනි මාස්ටර්. ඇන්තනි සුරේන්ද්‍රගේ පියා. එය මම සිහි කරන්නේ හද පිරි ගෞරවයෙන් යුතුවයි.

* අද ක්ෂේත්‍රය පිළිබඳ ඔබේ අදහස?

ඇත්තටම ඒ පිළිබඳ තියෙන්නේ කලකිරිමක්. නිර්මාණකරණය වෙනුවට මුදල ඉස්මතු වීම මත මෙම තත්ත්වය ඇති වුණා කියලයි මට හිතෙන්නේ.

* ඔබ අධෛර්යට පත් වෙලා?

මෙැවනි තත්ත්වයක අධෛර්යට පත්වීම නොවෙයි විය යුත්තේ. ක්ෂේත්‍රයේ නිවැරැදි මඟ යන පිරිසක් බිහි කරලීමයි. ඒ සඳහා සී. ඒ. ඇකඩමි නමින් සංගීත පාසලක් මා පවත්වාගෙන යනවා. හැකි පමණින් එම සමාජ වගකීමට දායකවීම මගේ අරමුණක්.

සුනිල් ධර්මසේන යනු හෙළ ගී කෙත අස්වද්දනු වස් ජනප්‍රිය නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීණ සංගීත වේදියෙකි. පුරා වසර 45 ක් ඔහු ක්ෂේත්‍රයේ කළ නිර්මාණ කැටි කොට ඔබ වෙත ගෙනෙන 'සුනිල සර' එළඹෙන 16 වනදා සන්ධ්‍යාවේ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගත වනු ඇත. එහි ආශ්වාදනීය මිහිර විඳින්නට ඔහුගේ නිර්මාණ සඳහා ඇලුම් කළ සියලු දෙනා හට එක්වන ලෙස මින් ඇරැයුම් කරමු.