වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




බණ්ඩාර කටියාවට පිළිසරණක් වන්න

බණ්ඩාර කටියාවට පිළිසරණක් වන්න

උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට සිනමාපටයෙන් ගමන් මඟ ආරම්භ කොට සිනමා නිර්මාණ හා ටෙලි නිර්මාණ ගණනාවකට විවිධ සහායෙන් දායක වූ බණ්ඩාර කටියාව හදිසි අනතුරකට ලක්ව අද ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇත. අද ඔහු පදිංචිව සිටින්නේ නොම්මර 20, යාය 8, කටියාව, එප්පාවල යන ලිපිනයේය. හදිසි අනතුර හේතුවෙන් දෙපා වාරු නොමැතිව සිටින ඔහු සිය දෙමව්පියන් සමඟ ජීවත් වීම උදෙසා මහත් අසීරුතාවයකට අද වන විට පත්ව සිටී. ඔහුගේ ප්‍රතිකාර සඳහා මසකට රුපියල් 20,000 කට අධික මුදලක් වැය වේ. කිසිදු රැකියාවක් සඳහා යොමු වීමට රෝගී තත්ත්වය බාධාවක් වී ඇත. ඔහුගේ රෝගී තත්ත්වය හේතුවෙන් වයසක දෙමව්පියන් ද අසරණ තත්ත්වයට පත්ව ඇත. බණ්ඩාර කටියාවට පිළිසරණක් වීමට කලා ක්ෂේත්‍රයේ හා කැමති අයෙක් වී නම් ඔහුගේ දුරකථන අංක 0719003239 සහ 0776319858 දුරකතන අංක ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගත හැකිය.

විකෘති බොරුල්ලේදී

සෝමලතා සුබසිංහයන්ගේ විකෘති නාට්‍යය එළඹෙන 20 වැනි දින පෙරවරු 8.15 ට සහ 10.45 ට බොරැල්ල වයි. එම්. බී. ඒ. රඟහලේදී වේදිකා ගත කෙරේ. අපොස සා. පෙළ නාට්‍ය හා රංග කලා විෂය සඳහා නිර්දේශිත නාට්‍යයක් ලෙස විකෘති නාට්‍යය අනුමත කර ඇත.

රාස්ස සහ පරාස්ස අද ලයනල් වෙන්ඩ්ට්හිදී

පාසල් විෂය මාලාවේ 8 වන වසර සිංහල විෂය සඳහා නිර්දේශ කර ඇති රෝහණ දන්දෙණියගේ රාස්ස සහ පරාස්ස වේදිකා නාට්‍යය අද ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත කෙරේ. ඒ පෙරවරු 8.30 ට සහ 10.45 ටය. ශ්‍රියන්ත මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ රාස්ස සහ පරාස්ස නාට්‍යයෙහි කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයනාත් බණ්ඩාර, ප්‍රදීප් ඇරෑගම, මහේන්ද්‍ර වීරරත්න රංගනයේ යෙදෙති.