වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




17 වැනිදා ‘තොණ්ඩුව කාටද?’

17 වැනිදා ‘තොණ්ඩුව කාටද?’

වෛද්‍ය කමල් ධර්මවංශ නිෂ්පාදනය කරන සාහිත්‍යවේදී නිකපිටිය බණ්ඩාරයන් අධ්‍යක්ෂණය කරන ආදරයේ ආත්මීය දෘශ්‍ය කාව්‍යය 'තොණ්ඩුව කාටද?' වේදිකා නාට්‍යය ජූනි 17 වැනි දින මාවනැල්ල, උස්සාපිටිය අරුණ ශ්‍රී රංග ශාලාවේදී වේදිකා ගත වේ.

ආදරයේ කඳුලක් වටා ගොතුණු සත්‍ය කතාවක නාට්‍යමය අනුවාදය වන 'තොණ්ඩුව කාටද' හි සංගීත අධ්‍යක්ෂණය කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය විශාරද කැලුම් මුදන්නායක විසින් සිදු කෙරෙන අතර පසුතල නිර්මාණය, ඇඳුම් නිර්මාණය කෙරෙනුයේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වර්ණ සෝමරත්නයන් විසිනි.

මෙම නාට්‍යයෙහි ප්‍රධාන භූමිකාවට දායක වන්නේ මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන විසූවියන් කඳු පාමුල ටෙලි වෘතාන්තයේ ප්‍රධාන චරිතයට පණ දෙන කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධර සුරංග බණ්ඩාරයන්ය. ඊට අමතරව ප්‍රවීණ රංගන ශිල්පී සුපුන් සුමින්ද, නිශාන්ත කුලරත්න, කුලරත්න අස්මඩල, ඉරේෂා විජේරත්න ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් ද මේ වේදිකා නාට්‍යයට දායක වෙති.

බණ්ඩාර නිකපිටිය ප්‍රකාශ කළේ ඔහුගේ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ආදරයේ සෙනෙහස නොහඳුනන, උතුම් මාතෘත්වයට ගරු නොකරන, පීතෘත්වයට නිගා ගෙන දෙන මානව වර්ගයාගේ සහෝදර ළබැඳියාව දෙදරා යන ආගම් දර්ශන නොපිළිපදිනා කලියුග කාලයක බවයි.

'ආදරය බිඳ වැටුණු, රස වින්දනවය නොහඳුනන මිනිසුන් සමාජ විරෝධී ආකල්පයන් වගා කිරීම පිණිස නිමැවුණු කෙත් වතු වගේ' බණ්ඩාර නිකපිටිය සිය හඬ අවදි කළේය. ඒ නිසා මම වෙනස්ම තේමාවක් ඔස්ස් මගේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න යොමු වුණා. අද සිදුවන අපරාධ, සමාජ විරෝධී මානව ක්‍රියා නිවාරණය කරන්න කාගෙවත් සිත යොමු වන්නේ නැහැ. නීතිය මඟින් දඬුවම් දීමෙන් වින්දිතයාත් අන් අයත් තෘප්තියට පත් වෙනවා. ඒ මඟින් වඩාත් යහපත් සමාජයක් දේශයක් නිර්මාණය වෙයි කියලා හිතා ඉන්නවා. ඇත්තටම එය ඉහිරෙන කිරට කඳුළු සැලීමක් පමණයි. මේ දණ්ඩනය තොණ්ඩුව කාටද? නිවාරණය නොකෙරෙන සමාජයක තොණ්ඩුවෙන් මිදුණෝ කවුරුද?'

නිකපිටිය බණ්ඩාරයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. 'අතිජාත පුත්‍රයෙක්' වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වූවෙකි. සබරගමු පළාත් පාසල් වීදි නාට්‍යය නිර්මාණයට මූලික වූයෙකි. විද්වතෙකි.

මේ ව්‍යායාමයට වෛද්‍යවරයෙක් නිෂ්පාදනයෙන් සම්බන්ධ වන්නේ කොහොමද?

ඔහු වෘත්තයෙන් වෛද්‍යවරයෙක් වුණාට සංගිත විශාරදවරයෙක්. තබ්ලා වාදනය සම්බන්ධ විශාරද උපාධියක් හදරා ඇත. ඔහු සංගීත සැපයිීමේදී තබ්ලා වාදනයෙන් ඊට දායක වේ.


කලාසූරී ජයසිරි සේමගේ ගේ ‘රූ සිරි අසිරිය’

සාම්ප්‍රදායික චිත්‍ර කලාව අපූර්ව ශෛලීන් මෙන්ම ජීව ගුණයෙන් ද පුෂ්ටිමත් කර නව මං කලා යොමුවීමෙහි ලා ජයසිරි සේමගේ වෙතින් ප්‍රබල ආභාසයක් ලැබී ඇති බව නොරහසකි. සේමගේ ගේ ප්‍රදර්ශනය අනුව සම්ප්‍රදායට ගරු කිරීම නම් නව්‍යකරණය ප්‍රතික්ෂේප කිරීම නොවේ. සම්ප්‍රදායට අපට ආකෘතිය, මෝස්තර මෙන්ම සෞන්දර්ය විෂයයෙහි ලා මාර්ගෝපදේශය සපයයි. ගවේෂණශීලී සහ විප්ලවකාරි සමකාලීන ගුරු කුල සහ කලාකරුවන් වෙතින් නොමඳව ආභාසය ලද සේමගේ ගේ සිය ශ්‍රී ලාංකික අනන්‍යතාව වෙත රැැඳෙමින් මෙම සුවිශේෂී ආකෘතීන් මඟින් සිය අනුභූතීන් නවරූපීව ප්‍රකට කරයි. ඔහුගේ රූ සිරි අසිරිය නමින් පැවැත්වෙන සිතුවම් ප්‍රදර්ශනය ජූනි මස 15 වැනිදා සිට 17 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත් වේ. මෙම ප්‍රදර්ශනය ඔහුගේ ප්‍රබුද්ධ නිර්මාණශීලී තිත්, ඉරි සහ හැඩ තලයන් හී වීර චාරිකවේ ජය සංකේත සංකලනයකි. ඔහු අප හමුවේ තබන ලලනාවෝ සුරංගනාවන් වැන්නෝය. සත්තු, ආදරණීය තුරුලිය හුස්ම ගනිති. රිද්ම රේඛා කාව්‍යමය සංරචන සමතුලිතය එනම් දුක් දොම්නස් නැති සුරම්‍ය ලෝකයක්මය. කැත යන වචනය ඔහුගේ ශබ්ද කෝෂයේ නැත. ඒ වෙනුවට සුන්දර වූ ආශ්වාදනීය කලා ලොවට එයින් වැඩක් තිබේ. මේ ප්‍රදර්ශනය ඔහුගේ භාවපූර්ණය ප්‍රකට කරන සිතුවම් දැක්මක් වේ.