වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මා ගැන ගීතය ලිව්වේ ෆ්ලයිට් එකේදී

අම්මා ගැන ගීතය ලිව්වේ ෆ්ලයිට් එකේදී

ඔස්ට්‍රියාවේ සිට ගී ලියූ ෂර්ලි රෝසා

ඔහු ගායකයෙක්, පද රචකයෙක් මෙන්ම වාදකයෙක් සංගීතඥයකු ලෙසින් ද හපන්කම් දක්වන්නෙක්. නම ෂර්ලි රෝසා. මේ කලාකරුවාගේ වර්තමාන පදිංචිය ලංකාවේ නොව ඕස්ට්‍රියාවේ. වසර ගණනාවක් එහෙ කාලය ගත කළ ද වරින් වර මෙරටට පැමිණෙන්නත්, සංගීත කටයුතුවල නියැළෙන්නත් ඔහු අමතක කළේ නැහැ. මේ කෙටි සංවාදය ඒ ෂර්ලි රෝසා සමඟින්.

කොපමණ කල් ද ඔබ විදෙස්ගත වෙලා?

මේ වන විට වසර තිස් පහක් විතර වෙනවා.

ඇයි ඔබ විදෙස්ගත වුණේ?

අධ්‍යාපන කටයුතු වෙනුවෙනුයි මෙහෙ ආවේ. පසුව ස්ථිර පදිංචිය ඕස්ට්‍රියාවම වුණා.

සංගීත උණ නම් අඩු වුණේ නැහැ?

ඔව්. මට කලාවට හැකියාවක් තියෙනවා කියලා පොඩි කාලේ සිටන්ම දැනගෙන හිටියා. විදෙස් ගත වුණයින් පසුවත් මම ඒ හැකියාව ඔප් නංවනවා කියලත් මං හිතා ගත්තා. ෆ්ලයිට් එකට නැගපු වෙලාවෙ ඉඳන්ම කලා කටයුතු ආරම්භ කළා.

ඒ කොහොමද?

රටෙන් පිට වෙද්දී ඕනෑම කෙනෙකුට අම්මගෙන් ඈත් වෙන හැඟීම දැනෙනවා. මටත් ඒක දැනුණා. ඉතින් මම ෆ්ලයිට් එකේදීම ලිව්වා ගීතයක් අම්මා ගැන. ඒක තමයි පළමු ගීත රචනය. ලාල් රෝසා වන මගේ අයියා ගීතය කිව්වා.

ජය ශ්‍රී සංගීත කණ්ඩායම හැදෙන්නේ ඔබගේ නිවෙස තුළදී නේද?

ජයශ්‍රී හිටපු අරුණ ලියාන් තමයි මට මුලින්ම මුණගැහුණේ. ඔහු අපේ නිවෙසට ආව ගියා. මම ඔහුට බොහෝ ගීත කළා. අරුණගේ හිතවත්කම මතයි අනෙක් දෙදෙනා ඔහුට එකතු වෙලා ජය ශ්‍රී හැදුණේ. මම අරුණට දීපු ගීත ඔවුන් ගැයුවා. ඇතැම් ගීත බොහෝ ජනප්‍රිය වුණා. ඒ වුණත් මට ඔප්පු කරන්න බැහැ එම ගීත මං හදපු ඒවා කියලාං. දැන් වගේ ඇග්‍රිමන්ට් ගහලා නොවෙයිනේ ගීත දුන්නේ. හැබැයි ජයශ්‍රීලගේ වඩුවා ගීතය හැදුවේ මං. කියලා සාක්ෂි තියෙනවා. ඒක තමයි මට මගේම කියලා ඔප්පු කරන්න පුළුවන් එකම ගීතය.

ඔබ පසුව හදපු ගීත ගැන සඳහනක් කළොත්?

ප්‍රගීත් පෙරේරා ගයන මගේ ඩෙනිම, මාලේ බොබ් මාලේ, අයිවො ද මෙල් ගයන නත්තල් ගීතය තමයි පසුකාලීනව වඩාත් ජනප්‍රිය වුණ ගීත. ඒත් එක්කම මේ වන විට මං ගීත පනහක් හැටක් හදලා තියෙනවා.

ලංකාවට එන්න අදහසක් නැතිද?

දිගුකාලීනව ලංකාවේ පදිංචියට එන්න අදහසක් තියෙනවා. එතකොට මං පූර්ණකාලීනව සංගීතඥයකු හැටියට වැඩ කරයි.