වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මා ගැන වුණත් මට බයයි

මා ගැන වුණත් මට බයයි

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය.

අද එතැන් සිට...

නිවසට ඇතුළු වූ ඩික්සන් කිසිත් පැවසුවේ නැත.බිනරි විනෝද් ගේ හිස පිරිමදිමින් සිටිනු දුටු ඔහු කැලඹණ ද කිසිත් කියන්නට ගියේ නැත.ඒ වෙනුවට ඔහු කළේ විනෝද් ඉදිරියේ අසුන් ගැනීමය.විනෝද් ඩික්සන් දෙස එක එල්ලේ බැලුවේය.ඔහු කතා කරන්නට වචන සොයමින් තතතන අයුරු විනෝද්ට පෙනිණ.විනෝද් තම හිස වටා යන බිනරිගේ අත කාරුණිකව නතර කළේය.

‘පුංචි කාලේ අම්මා ඔළුව අත ගෑවාට පස්සේ ඒ විධියට ඔළුව අත ගෑවුණේ අද‘

ඔහු පැවසුවේ බිනරි දෙස කෘතවේදිත්වය පළ කරමිනි.බිනරි කිසිත් නොකියා ඩික්සන් සහ විනෝද් අතර තිබුණ පුටුවක වාඩි වුනාය.

‘කොහොමද ඩික්සන් වැඩ‘

‘ඔහේ කර ගෙන යනවා විනෝද් මහත්තයා‘

‘මොකටද ඔහේ කර ගෙන යන්නේ ඩික්සන්.වැඩක් වැඩක් හැටියට කරනවා විනා‘

ඩික්සන් එයට මෝඩ පහේ සිනාවක් පෑවේය.තමා මේ අවස්ථාවේ යළිත් අසරණයෙක් වී ඇති සැටි ඩික්සන්ට පෙනිණ.

‘දැන් බලනවා තමුසේ කොළඹ එන්නේ.කොහොමද? මොනවට ද?‘

විනෝද් යළිත් ඩික්සන් ප්‍රශ්න කරන්නට පටන් ගත් සැටියකි.

‘පස්සේ නේ දන්නේ තමුසේට නළුවෙක් වෙන්ඩ වුවමනාවක් කරලා තියෙනවා කියලා.දැන් බලනවා මම ඇඹිලිපිටියට එන්නේ ඒවා අත ඇරලා.ඒ කාලේ තමුසේ මට ඕවා කිව්වේ නෑනේ.‘

‘අපි හිතපු හැම එකක්ම ඒ විධියට සිද්ධ වෙන්නේ නෑ විනොද් මහත්තයා.‘

‘ඇත්ත ඕයි.එහෙම වුනා නම් මේක ලෝකයක් නෙවේ.‘

ඩිකසන් පෙනුමෙන් විනෝද්ට වඩා හැඩිදැඩිය.එහෙත් විනෝද් ඉදිරියේ ඔහු හැසිරෙන්නේ පූස් පැටියෙක් ගානටය.බිනරි පසුගිය දි න කිහිපයේ ඩික්සන් විනෝද් ඉදිරියේ කරන හැසිරීම වටහා ගෙන සිටින්නීය.

‘මම යනවා‘

විනෝද් එකවරම නැගී සිටියේ පුටු ඇන්දට අතින් ගසමිනි.

‘විනෝද් කෑම ටිකක් වත් කෑවා නම්‘.

‘නැහැ පස්සේ බැරියැ‘

විනෝද් මිදුලට බැස්සේය.කොහේදෝ මුල්ලක නවතා තුබිණ මෝටර් රථයක් පණ ගැන්වී ඉදිරියට ආවේය.විනෝද් කිසිත් කතාවකින් තොරව එයට නැංගේය.බිනරි ඔහු යනු දෙස බලා සිටියේ උදාසීන හැඟිමකිනි.බිනරි ආපසු හැරී බලද්දී ඩික්සන් ගේ ඇතුළට ගොසිනි.එබැවින් ඇය ඔහු පසුපස ගියේය.කාමරයට වැදුණ ඩික්සන් සිය කමිසය ගලවා අසල බෝල කූඩුවේ එල්ලුවේය.අනතුරුව ඔහු ඇද මත වාඩි වී වටපිට බැලුවේය.ඇද ඇතිර්ලි කිසිදු ඇදයකින් තොරව තිබෙයි.උදෑසන අවදි වූ පසු බිනරි මුලින්ම කරන්නේ ඇද නිසි ලෙස සැකසීමය.බිනරි පැමිණ ඔහු අසලින්ම වාඩි විණ.

‘සුදු නෝනා දැන් මට නොකියා යන්ඩ කියනවද ?

ඩික්සන් ඇසුවේ ඇඳ ඇතිරිල්ල මත සිය සුරත යවමිනි.

‘ඒ මොකෝ ඩික්සන් ඒ පාර‘

‘ඇයි මොකෝ ඩික්සන්ට ඊරිෂියා හිතුණ ද ඒ පාර.ඒ මිනිහා මෙහේ එන්නේ යන්නේ අද ඊයේ නෙවේ.ඒක ඩික්සන් හින්දා වෙනස් වෙන්න වුවමනාවක් නැහැ..අනික අපි අතරේ තියෙන්නේ හොද යාළුකමක්.ඒ ගැන සැක කරන්ඩ කාටවත් වුවමනාවක් නෑ.

බිනරි උන් තැනින් නැගිට යන්නට ගියාය.ඩික්සන් මොහොතක් ඇය දෙස බලා සිටියේය.අනතුරුව ඔහු තමා විසින් ගලවන ලද කමිසය යළි අඳීන්නට අතට ගත්තේය.එහෙත් ඔහුගේ අදහස යළි වෙනස් විණ.ඔහු කමිසය යළි තිබූ තැනම එල්ලා බිනරි සොයා ගියේය. බිනරි සිටියේ සුපුරුදු පරිදි කුස්සියේය. ඇය ඩික්සන් එතැනට එනු ඇතැයි අනුමාන කළාය.

‘දැන් කට්ටියටම යන්ඩ පුළුවන් වෙයි.හැබියි ඩික්සන් මමයි අමාරුවේ වැටුණේ.ඕන් නැති මල ඉලව් පික්චර් හදන්ඩ ගිහින්

බිනරි කියවන්නට පටන් ගත්තාය.

‘සුදු නෝනේව අමාරුවේ දාලා යන ජාතියේ මිනිහෙක් නෙවේ මම.බෙල්ල කැපුවත් අපිත් එක්ක හිටපු මිනිහෙක් අමාරුවේ දාන මිනිහෙකුත් නෙවේ “

ඩික්සන් ගේ ස්වරය ස්ථිර හඬකි.

‘ඔයා දන්නවානේ මම කොච්චර වියදම් කළාද කියලා.ඒ ඔක්කොම කළේ ඔයා කිව්ව හින්දා.‘

මේ අහන්ඩ සුදු නෝනේ.ඔයා විනෝද් මහත්තයා ගැන දන්නේ මොනවාද?.

බිනරි මොහොතක් නිහඩව බලා සිටියාය.

‘මම එයා දන්නේ පුංචි කාලේ ඉඳන්.එයැයි මායි නාට්‍ය කළා.

‘අන්තිමට කේස් එකකට රිමාන්ඩ් කළා ?

ඩික්සන් ඇසුවේය.

‘ඒක බොරු කේස් එකක්

බිනරි තර්ක කළාය.

‘හැබැයි ඒ වෙලාවේ එයා ගාව හිටපු ඔක්කොම මග ඇරියා.එක්කෙනෙක් ඇර?

ඩික්සන් අතීත කතාවක් ගෙන හැර පාන්නට සූදානම් වන්නේය.බිනරි එයින් තැති ගත්තාය.

‘එකම එක්කෙනායි ඒ වෙලාවේ විනෝද් මහත්තයා වෙනුවෙන් බලන්ඩවත් ආවේ‘.

ඩික්සන් මේ කතාව ගැන දැන ගත්තේ කෙසේදැයි බිනරි ඒ වෙලාවේ සිතින් තර්ක කළාය.

‘ඒ වෙලාවේ දර්ශන විතරයි ලු විනෝද් මහත්තයාට හිටියේ.“

‘කවුද කිව්වේ ‘

බිනරි ඇසුවේ වේගයෙනි.එහෙත් ඇයගේ දළ ගැලවී ඇති වග ඩික්සන්ට වැටහිණ.

‘කිව්වේ විනෝද් මහත්තයා.‘

‘මටත් එළියට යන්ඩ දුන්නේ නෑ.අපේ අම්මලා“

බිනරි කෙඳීරි ගෑවාය.ඩික්සන් එබසට කිසිත් නොකීවේය.

‘ඊට පස්සේ තමා විනෝද් මහත්තයා ඒ පැත්තට ආව්.“

ඩික්සන් අසල පුටුවක වාඩිවුණේ දිගු කතාවක් කියන්නටය.කුස්සියේ තිබුණ මේ පුටුව ගෙයි තිබුණු පැරණි ගෘහභාණ්ඩයකි.ඒ දවස් වල කෑම මේසය සැරසූ එය දැන් කුස්සියට සින්න වී තිබෙන්නේ අලුත් ගෘහභාණ්ඩ වලට ඉඩ දෙන්නටය.එයින් ජර බර හඩක් නැගිණ.

‘මට බයයි සුදු නෝනේ.සුදු නෝනා ගැන විතරක් නෙවි.මා ගැන වුණත් මට බයයි.“

ඩික්සන් පැවසුවේය.

‘ඔය සුදු නෝනා ඉස්සර දැන හිටං හිටිය විනෝද් නෙවේ.ඒ කාලෙත් එක්ක වෙනස් වෙලා.“

ඩික්සන් පවසුවේ වටපිට බලමිනි.බිනරි මොහොතක් තිගැස්සී සිටියාය.

සුදු නෝනේ ඇත්තටම මෝඩයි.මොනවත් විනෝද් මහත්තයා ගැන දන්නේ නෑ..ඔය කාර් බාර් කොහෙන්ද කියලා දන්නේ නෑ.?

ඩික්සන් රහසක් කියන්නට මෙන් වටපිට බැලුවේය.