වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ජපානයේ බොරදිය කඳුර හදපු ප්‍රේම් හේවාමානගේ

ජපානයේ බොරදිය කඳුර හදපු ප්‍රේම් හේවාමානගේ

දීර්ග කාලයක පටන් ව්‍යාපාර ලෝකයේ නියැළෙමින් විදේශගතව සිටි ප්‍රේම් සති කිහිපයක විවේකයක් සඳහා ඉකුත් දා ලංකාවට පැමිණියේ කලා කටයුතු බොහාමයක් සංවිධානය කර ගැනීමේ අරමුණිනි.

* ඔබ මුලින්ම විදේශගත වුණේ මීට දශක දෙක තුනකට උඩදී?

මුලින්ම මම ජපානයට ගියේ 1990 දී. රැකියාවකට ජපානයට ගිය මට පසු කලෙකදී ජපානයේ රෙස්ටුරන්ට් කිහිපයක හිමිකරුවෙක්වීමේ භාග්‍ය ලැබුණා.

* ඔබ ජපානයේ ප්‍රසංග සංවිධායකයකු ලෙස ගමනක් ආරම්භ කරනවා?

93' දී මම මුලින්ම පැදුරු සාජ්ජයක් සංවිධානය කළා. මේ ක්‍රියාවලිය ඇරැඹීමත් සමග මම අපේ දේශීය ගායක ගායිකාවන් කලාකරුවන් ගොඩක් පුද්ගලිකව හඳුන ගන්න ලැබුණා. ඔවුන් මගේ සමීප මිත්‍රයෝ වුණා. මම ඔවුන්ව ජපානයට ගෙන්වා විවිධ වූ කලා ප්‍රසංග සංවිධානය කළා.

* සාමාන්‍යයෙන් වසරකට ඔබ කොපමණ ප්‍රසංග ප්‍රමාණයක් සංවිධානය කරනවාද?

96' ඉඳල මම වසරකට ප්‍රසංග තුනක් සංවිධානය කරනවා. ඒ වෙනුවෙන් ජපානයේ පත්තරවලින්, රූපවාහිනීවලින් මට ප්‍රසිද්ධියක් ලබා දෙනවා.

* ඔබ ප්‍රසංග සංවිධායකයෙක් පමණක් නොවෙයි, ලේඛන කලාවෙත් සැබෑ දක්ෂයෙක්?

මම කුඩා කල පටන් කෙටි කතා පුවත්පත්වලට ලිව්වා. ඒවා පත්තරවල පල වුණාම මම ලොකු ආශ්වාදයක් ලැබුවා. පත්තරවලට කවි, සිංදු ලිව්වා. ඒවා පල වෙන කොට මාව නිරන්තරයෙන් ඒ නිර්මාණ වෙත යොමු වුණා. කොතරම් කාර්යබහුල වුණත් මගේ ඒ ආශාව මා තුළින් ගිලිහිලා ගියේ නෑ.

* අද වෙනකොට ඔබ ගීත රචනයෙන්, ග්‍රන්ථ කර්තෘවරයෙකු ලෙසත් දිගු ගමනක් ගිහින්?

මම මේ වෙන කොට ගීත රචනා සියයකට වැඩි ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. ඒවා අපේ රටේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් ඒ ගී රචනා සංගීතවත් කොට ගායනා කරලා තියෙනවා. මේ වෙන කොට මගේ මුල්ම නවකතා පොත මා කඳුලක් වෙන්න එපා නමින් නිකුත් කරලා තියෙනවා.

* ජපානයේ ඔබ පදිංචි වෙලා ඉන්නේ?

ටෝකියෝ අගනුවර බෝඩරයේ පිහිටි ෂිබා ප්‍රාන්තයේ.

* එළඹෙන ඉදිරි මාස කීපයේ ඔබේ කලා කටයුතු සංවිධානයේ ලොකු පෙරළියක් වන මාසයක් බවයි දැනගන්න තියෙන්නේ?

ඒ සුවිශේෂී දිනය මාස කීපයක් තුළදී උදාවෙනවා. ෂිබා ප්‍රාන්තයේ පිහිටි ෂනචසි බුන්කා සෙන්ටර්හිදී තමයි මේ උත්සවය පැවැත් වෙන්නේ. එදාට මෙහිදී කලා කටයුතු කිහිපයක්ම සිද්ධ වෙනවා. මා විසින් රචනා කල 'මා කඳුලක් වෙන්න එපා' නවකතාව එදාට මෙහිදී දොරට වඩිනවා. ලංකවේ ගායක ගායිකාවන් අසූ පස් දෙනෙක්ගේ නවතම ගීත ඇතුළත් සී. ඩී. ගී තැටි දාහතරක් එදාට නිකුත් කරනු ලබනවා. මා විසින් නිෂ්පාදනය කරනු ලැබූ බොරදිය කදුර ටෙලි නාට්‍යය එදින චිත්‍රපටයක් ලෙසින් තිරගත කිරීම් අරඹනවා. ඊට අමතරව ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතරින් තෝරා ගත් සුපර් ස්ටාර් තරඟකරුවන්ගේ අවසන් මහා තරගයත් එදිනම පැවැත්වෙනවා.

* ඔබගේ මුල්ම ටෙලි නාට්‍ය නිෂ්පාදනය වූ බොරදිය කදුර ටෙලි නාට්‍ය ඇයි චිත්‍රපටයක් බවට පත් කරන්න හිතුවේ?

නිහාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ බොරදිය කඳුර කොටස් පනහක ටෙලි නාට්‍යයක්. මට අවශ්‍ය වුණා ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ ඉල්ලීමක් වෙනුවෙන් ඒක චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්න.

* මේ වෙන කොට ඔබ සිංහල නළු නිළියන් යොදා ගනිමින් විශාල පිරිවැයක් දැරූ ඉංග්‍රීසි චිත්‍රපටයක් පවා නිෂ්පාදනය කර තිබෙනවා නේද?

ඔව්. සරත් ධර්මසිරි තිර රචනය හා අධ්‍යක්ෂණය මත තමයි ජ්ඥබජඩ ර්ඥ චිත්‍රපටය නිර්මාණය කළේ.

* ඔබ විසින් සංවිධානය කරනු ලබන දෙවන සුපර් ස්ටාර් තරඟය නේද මෙවර ජපානයේ පැවැත් වෙන්නේ?

මුලින්ම 2016 දී තමයි මුලින්ම එය පැවැත් වුණේ, ජගත් වික්‍රමසිංහ, ලක්ෂ්මන් හිල්මි ආදී බොහෝ පිරිසක් එදා මේ වෙනුවෙන් ජපානයට ආවා විනිශ්චය සඳහා. වසර දෙකකට වතාවක් පැවැත්වෙන මෙවර තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකික කලාකරුවන් විනිශ්චය සඳහා සහභාගිවීමට නියමිතයි.

* රංගනයත් ඔබට හුරු පුරුදු දෙයක්?

මට අහම්බෙන් මම නිෂ්පාදනය කළ බොරදිය කදුර ටෙලි නාට්‍යයේ චරිතයක් කරන්න ලැබුණා. කට්ටඩියෙකුගේ චරිතයක්. ඒ චරිතයත් හොඳින් කරන්න ලැබුණේ අපේ පවුල් පසුබිම තුළ දුර ඈතින් නෑදෑ වන කෙනෙක් මෙවැනි කටයුතුවල නියැලී සිටි නිසාවෙන්.

* අර්ථාන්විත ගීත රචනයේ උපන් හැකියාවක් ඔබ සතුයි?

මේ වෙන කොට විශාල පිරිවැයක් දරා මා විසින් රචනා කළ ගීත ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් සෑම කෙනෙක්ම ලවා ගායනා කර නිර්මාණය කළ ගී තැටි 14 ක් කරලා තියෙනවා. මේ සඳහා ගායක ගායිකාවන් 85 දෙනෙක් ගීත ගායනා කරලා තියෙනවා. මම කොච්චර ආදරේද?, සිපිරි ගෙයින්, පිංවතියක් ඔබ පෙම්වතියක්, ආදරයට ආදරය කරන්න, මම ආදරේ රත්තරං, බයිලා, කඳුල රවටා, ඔබ සතුටු වේවි, මගේ සිහිනය, අඬන්න කඳුළු නෑ, මගේ පුංචි කිරිල්ලී, සමනලියක් සේ දස අත පියඹා, තාත්තේ කියමි, උගස් කරන්න එපා ඔබේ ආදරය නමින් මම ඒ ගී ඇල්බම් නම් කරලා තියෙනවා.

* ඔබේ ප්‍රධාන ව්‍යාපාරවලට අමතරව ජපානය තුළ ප්‍රසංග සංවිධානය ඔබේ අමතර ආදායම් මාර්ගයක්ද?

අපෝ නෑ. මම කරන්නේ අතින් වියදම් කරගෙන අපේ කලාකරුවන්ට උදව් කරන එක. මම අප්‍රසිද්ධියේ ජීවත් වුණාට ලංකාවේ දන්නෝ දනිති මේ ප්‍රේම් හේවාමානගේ කවුද කියලා. කලාව කරන්න ගිහින් අතේ තියෙන දේ නැති වුණා මිසක් ආදායමක් ලැබුණේ නැහැ. ඒත් මම හිතන්නේ සල්ලි නෙවෙයි ජීවිතේ කියන්නේ, මිනිස්සු සතුටු වෙනවා නම් තියෙන අපි නැති කෙනාට උදවු කරනවා නම්, අන්න ඒ දේ තමයි අපෙන් විය යුත්තේ. උපයන මිල මුදල්, යාන වාහන අපි දාලා යයි. ඒත් අපි කරපු හොඳ දේ ඉතිරි වෙයි. කවුරුත් කතා කරයි. මගෙන් උදවු නොගත් ශ්‍රී ලාංකික කලාකරුවෙකු නොසිටියොත් තමයි පුදුමෙ.

* හැම දේකම නිෂ්පාදනය පැත්තට පමණක් සීමා වෙන්නද ඔබේ අදහස?

මොන දේ කලත් මගේ ලොකු ආශාවක් තියෙනවා මගේම මුල්‍යමය දායකත්වයෙන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පන්සලක් ඉදි කොට බුද්ධ ශාසනයට පූජා කරන්න.