වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ආයුදායකයාණනි!

(විශිෂ්්ට සන්නිවේදක හේම නලින් කරුණාරත්නයන් වෙනුවෙනි)
දරා ගත නොහැකි දුක
දරා හිත එකලාව
වෙව්ලනා කටහඬින්
අසමි මම මේ පැනය
ආයුදායකයාණනි!
රටක් වසඟ කළ
සොඳුරු සන්නිවේදන සිත්තරාගේ
ජීවිතයෙන් හරි අඩක්
උදුරාගෙන තොප ලබනා
සතුට කිමැයි කිව මැනැවි

දෙස - බස - රැස තෙරුවනේ
අභිමන් ලද කිතු ගොසේ
දන මන පුබුදා නිරතුරු
ඇසි දිසි පෙළහර පෑ
සන්නිවේදන සුළවතාණන්ගේ
හද පාරා රුහිරු ගංගා
ගලා යැව්වේ කිමද කිව මැන!
සහස් සුවහස් දනන් ඇද බැඳ
වැලඳ ගත් අරුමැසි කටහඬ
නිහඬ කරනට තොපට අණ දුන්
පාපතරයා ලොවේ කොහි වෙද?

ආනන්ද රාත්‍රියක
හරියටම 9.05 ට
කතාසරින් සාගරේ ගිලී
ජීවිතේ පදරුත් කියා දුන්
මහරු මිනිසාගේ උත්තම ආත්මය
මළවුන් අතරට රැගෙන යාමට
අප කළ පාපය
කිමදැයි කිව මැන!

නියං සායෙන් පෙළෙන වනපෙත
කේඬෑරි වී ගිය සඳ පහන
මුකුලිත මල් ගොමුව
ගොළු වූ සකුණ මියැසිය
බලව
ගිනි පුළිඟු නෙත් යොමා
තොප කළ මහ විපත!

- ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ


තුති වේවා!

එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, මොහිදින් බෙග් ගායනා කළ සිනමා තිරය වර්ණවත් කළ ගීත සංරක්ෂණය කර සී. ඩී. තැටි සහ පොත් මඟින් රසික රසිකාවන් හට තිළිණ කර දුන් කැසට්පට ලෝකයේ ජනප්‍රිය නාමයක් දිනාගත් ජයනන්දන මහතා සහ රූපසේන සිල්වාට සහාය දුන් දුමින්ද මහතාට අපගේ තුති පිරිනැමේ.

පාලක සමන් පෙරේරා
හැඳල


නවක රංගන ශිල්පිනී දිනිති වල්ගමගේට

ගුවන් සේවිකාවක් ලෙස රැකියාව කරමින් දැනට ජනප්‍රිය කලා ශිල්පිනියක් වන දිනිති දැන් විකාශය වන 'කෝටිපතියෝ' ටෙලි නාට්‍යයේ අභිෂේකාගේ ඒ චරිතය රඟපාමින් එතනින් නොනැවතී මේ දිනවල ස්වර්ණවාහිනියෙන් දිග හැරෙන 'සිල්ලර සමනල්ලු' ඇතුළු තවත් ටෙලි නිර්මාණවල රඟපාමින් කලා ලොව දිග් විජය කරන්නට ඒ වගේම දිගු ගමනක් යන්නට පෙරුම් පුරන ඔබගේ හැම අපේක්ෂාවක්ම එලෙසම ඉටු වේවායි කියා පතන අතරම බොළඳ පෙම්වතියන්ගේ චරිත රඟ නොපා යුගයට නිසි ලෙස ගැළපෙන ටෙලි නාට්‍ය හා චිත්‍රපටවල අපට ආඩම්බරයෙන් කතා කළ හැකි හොඳ නිර්මාණවල රංගනයේ යෙදෙන්න ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවේවායි කියා පතමි.

මිල්ටන් ප්‍රනාන්දු
මූදුකටුව


සියතට තුති

සතියේ දිනවල සියත නාළිකාවේ 'රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා සදඑළිය, අපේ ආදරේ, නේත්‍රා යන අලුත් ටෙලි නාට්‍ය තුන සමඟ විකාශය කළ බට්ටි ටෙලි නාට්‍යය ද විකාශනය කරනු ලැබේ. වෙනත් පෞද්ගලික නාළිකාවල බොහෝ දුරට තමන්ට වැඩිපුර මුදලක් එන හඬකවා ඇති දේශීය ටෙලි නාට්‍ය විකාශනය කරයි. මෙමඟින් දේශීය ටෙලි නාට්‍ය කලාව විනාශ මුඛයට පත්වේ. එම නිසා දේශීය ටෙලි නාට්‍ය ප්‍රගමණයට සියත නාළිකාව කරන මෙහෙය සුවිශේෂයි.

දිනේෂ් ගුණසේකර
මාතර


රසික හදවත් පිනවන පේෂල

තබ්ලා වාදනයෙන් රසික හදවත් පිනවන නිහතමානී බවින් පිරුණු පේෂල මනෝජ් තරුණ පරපුරට උගත හැකි කරුණු බොහෝමයක් පවසා තිබුණි. සෑම දෙනාගේම සිත් ඇද බැඳ තබා ගන්නා ඔහු දකිද්දී මතු පිටින් පෙනෙන පුද්ගලයාට වඩා සිතුම් පැතුම්වලින් පරිපූර්ණ අපූරු පුද්ගලයකු බව දැන ගැනීමට ලැබීම සතුටකි. ඔබගේ ඉදිරි ජීවිතයට හදවතින්ම මම සුභ පතන අතර ඔහුව රම්‍ය සෙවණට කැඳවාගෙන ආපු චන්දි කොඩිකාර මහත්මියටත් මා හදවතින්ම ස්තූතිය පුද කරමි.

ඉන්ද්‍රානි ආරියවංශ
ගල්කිස්ස


ගායක මර්සලීන් පතිරණට

ඉතා මියරු ගීත රැසක් ගැයූ මර්සලින් පතිරණ ගායක ඔබගේ ගීත ඉතාමත් ලස්සනයි. ප්‍රසංග වේදිකාවේ ඉතාම පිළිගැනීමක් හිමි ඔබට අපි සදා ළෙන්ගතුයි. ඔබට පැතුම් ඉටු වී දිගු ගමනකට මගේ සුබපැතුම්.

සුනිල් බී. වේහැල්ල
ගෝනපොල


ලතා දිසානායක ගී මතකය

ඔබ 60, 70 දශකවල ගැයූ 'රුවන් අඹර', 'ආදර නදියක මිහිර මැවේ', 'සතුට සැනසුම්', 'එපා බලන්නට', 'සද කැන් පිරි' 'සඳ කිරණින්' වැනි ගීත තවමත් අප මතකයේ රැඳී තිබේ. වසර ගණනාවක් කැනඩාවේ පදිංචිව සිට යළි මව් බිමට පැමිණ පූර්ණකාලීනව සංගීතය වෙනුවෙන් කටයුතු කරන බැව් දැනගන්නට ලැබුණා. එයට මම සුභපතන අතර ඔබට දීර්ඝායුෂ පතමි.

ජයන්ත අමරතුංග
පොළොන්නරුව


ගුණ ගරුක සමාජයක්

එදා බුදු බැති ගීත, ජාතක කථා ගීත රචනය කළේ ගිහි රචකයින්. ගීත ගායනය කළේ බෞද්ධ නොවන අය වැඩි වශයෙන්ම. එදා කෙතරම් ගුණ ගරුක සමාජයක් මේ රටේ තියෙන්න ඇද්දැයි සිතට දැනෙන විට විශාල සතුටක් ඇති වෙනවා.

ආරියදාස පිංදෙණිය
පාදුක්ක


සික්ස්ටි ප්ලස් හරි වටිනවා

දෙරණ රූපවාහිනී නාළිකාව ඉදිරිපත් කරනා (සික්ස්ටි ප්ලස්) වැඩ සටහන නම් ඉතා වටිනාකමකින් යුක්තයි. මේ අතර ආධුනිකයන් වැඩි දෙනෙක් ගායනා කරන ජේ. ඒ. මිල්ටන් පෙරේරා මතකය නම් අති විශිෂ්ටයි. ආදරණීය හැඟීම් පිරුන වේදනාව හදවතට දැනෙන ඒ දුක්බර ප්‍රේමණීය හඬ අපට කලකට පෙර අහිමි වුවත් ඒ හඬ අදත් හෙටත් මතුත් මේ කලා ලොව සදාතනික හඬක් වී හමාරයි. ඔබ නැතත් ඔබේ ඒ ආදරබර හඬ අදත් අප සනසනවා මෙන්ම හඬවනවාද ඇත.

සුසිලා පතිරාජ
පුබුදුගම


සිනමා කිවිඳියගේ කලා දිවියට සුබපැතුම්

සිංහල සිනමා ප්‍රදීපස්ථම්බයේ සිනමා කිවිඳිය ලෙස අභිෂේක ලත් සුමිත්‍රා පීරිස් අද්විතීය ගණයේ සිනමා අධ්‍යක්ෂවරියකි. සිය සිනමා ගමන් මඟ ගැහැනු ළමයි තුළින් ඇරැඹූ ඇය සම්මාන රාශියකින් පසු චිත්‍රපට රැසක් නිර්මාණය කළා. එතුමිය විසින් නිර්මාණය කළ වෛශ්ණාවී සිනමා කෘතිය සුවිශේෂී ගණයේ උසස් රස වින්දනාත්මක සිනමාපටයකි. සිනමා කෙතට උත්කෘෂ්ට සම්පතක් වූ සුමිත්‍රා පීරිස් මැතිනියනි, ඔබගේ කලා දිවියට හදවතින්ම රසික අපි සුබපතන අතර ඔබතුමියට චිර ජීවනය සහිත දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත


ඇන්ජලින්ගේ ගීත නොගයන්න

සිනමා ගීතයේ සුපිරි තරුව ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලකගේ ගීත රූපවාහිනී නාළිකාවලින් හා එළිමහන් ප්‍රසංගවලින් කිසිදු හිරිකිතයක් නැතුව වෙනත් අය ගයනවා. ඇය මේ දිනවල රෝගාතුර වෙලයි සිටින්නේ. මේවා ඇහෙන දකින ඇයට විශාල කම්පනයක් මෙතුළින් ඇති වේ. ඇගේ ගීත ප්‍රිය කරන රසික අප මේ ගී මංකොල්ලය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. එම නිසා ඇන්ජලින් ගුණතිලකගේ ගීත යළි නොගයන ලෙස අනුන්ගේ ගීත ගයා එම ගීතවලින් යැපෙන අයට කියන්න කැමැතියි.

ජයන්ත අමරතුංග
පොළොන්නරුව


අම්මාවරුනේ ගීතය කෙලසන්න එපා

ප්‍රවීණ ගායිකා නන්දා මාලිනියන් 'යස ඉසුරු' චිත්‍රපටයට ගායනා කළ ඉතා විශිෂ්ට හා සංවේදී ගීතයක් වන 'අම්මාවරුනේ' ගීතය විවිධ සංගීත කණ්ඩායම්වල පිරිමි ශිල්පීන් විසින් ඉතා සාහසික ලෙස එළිමහන් සංගීත ප්‍රසංගවල නපුංසක හඬවල්වලින් විකෘති ලෙස ගායනා කරනු ලබයි. තවද එලෙස ගායනා කරන එම ගීතය පටිගත කළ සංගත තැටි මඟින් කැසට් කඩවල හා බස් රථවල ද නිතර ඇසෙන්නට සැලැසීමෙන් ගීතයේ තිබෙන ගෞරාන්විත බව ද ගිලිහී යයි. අපෙන් සමුගත් ධර්මසිරි ගමගේ රචනා කළ මෙම ගීතය සංගීතවත් කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසිනි. අම්මාවරු නැති අපගේ ඉල්ලීම නම් මෙම ගීතය විනාශ නොකරන ලෙසය.

ජගත් චන්ද්‍රසිරි, පූජා ජගත්සිරි
පස්යාල


ධාරණ වීදිය පාළුයි

වීදි නාට්‍ය කලාව නව මං පෙතකට යොමුකර වීදිය වේදිකාවක් කළ ධාරණ වීදි නාට්‍ය කණ්ඩායමේ නිර්මාතෘ ඇන්ටන් මිහිඳුකුල කලා ශිල්පියාණනි, ඔබගේ වියෝව නාට්‍ය කලා කෙතට දැරිය නොහැකි පාඩුවකි.


අපි ඔබට මොක් සුව ප්‍රාර්ථනා කරමු!

හේමාල් දේශප්‍රිය
බටුවිට


මාගෙ පුතුට මල්...

එදා 'පුංචි බබා' චිත්‍රපටයේ සිසිර සේනාරත්න විසින් ගයන ලද 'මාගෙ පුතුට මල්' ගීතය මෙතෙක් පුතෙකුට ගයන ලද විශිෂ්ටතම දරු නැළවිලි ගීතය බවයි මගේ හැඟීම.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය


‘රූකඩ කලාව’ යළි ගොඩනැඟිය යුතුයි

ශ්‍රී ලංකාව රූකඩ කලාව අතින් සෑහෙන ජනප්‍රියත්වයයක් ලබා තිබූ අවස්ථාවලදී මුළු රට පුරා රූකඩ සංදර්ශන ද පැවැත් වූහ. පසුව නැවතුණි. රූකඩ කලාවටද සෑහෙන අභාග්‍ය සම්පන්න කාලයක් උදාවීගෙන ආහ. එවන් පසුබිමක අපගේ වාසනාවට මෙන් රූකඩ කලාවේ ජයග්‍රහනයකට මෙන් 'වෛෂ්ණාවී' චිත්‍රපටය බිහි වීම මහත් වූ වාසනාවකි. සුමිත්‍රා පීරිස් මැතිනියට අපගේ ස්තූතිය පිරිනමමි.

කෑගල්ලේ තටාකය පාරේ
මැණිකේ විල්වල සහ
තිලකරත්න විල්වල