වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රන්ජන්ගෙන් රජිනිට ප්‍රබල ඉල්ලීමක් රන්ජිත්ගේ චිත්‍රපටවලට යන්න එපා

රන්ජන්ගෙන් රජිනිට ප්‍රබල ඉල්ලීමක් රන්ජිත්ගේ චිත්‍රපටවලට යන්න එපා

දමිළ සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත්ගේ නවතම සිනමාපටයේ ඔහුගේ රංගනය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෙරට සුපිරි සිනමා තරුව රන්ජන් රාමනායක විසින් ඉදිරිපත් කොට තිබිණි.

ඔහු රජිනි පිළිබඳ පවසා සිටියේ මෙන්න මෙවැන්නක්.

රජිනි කාන්ත් කියන්නේ මගේ සුපර් හීරෝ කෙනෙක්. ඒ වගේම මං ඔහුගේ මිත්‍රයෙක්. ඉතින් මං කියන්නේ මෙන්න මේකයි. කාල චිත්‍රපටයේ තේමාව ගැන මට කිසිදු ගැටලුවක් නැහැ. ඒකෙ කතාබහ වෙන්නේ නගර අලංකාර කිරීමකට මුවා වෙච්ච ඉඩම් මංකොල්ලයක් ගැන. මෙහිදී රජිනි රඟපාන චරිතය ගැන මට පැහැදීමක් නැහැ. ඒ වගේම ඔහුගේ ඇඳුම් පැලඳුම් මේකප් වුණත් එහෙමයි. රජිනි කියන්නේ මීට වඩා ප්‍රේක්ෂකයින්ට ආශ්වාදයක් ගෙන එන්නට පුළුවන් චරිතයක්. අනික රජිනි හෙවත් කාල චිත්‍රපටයේ සුපර් හීරෝව මෙහිදී හඳුන්වා දෙන්නේ හරිම දුර්වල සීන් එකකින්. ඒ වගේම ඊට භාවිත කරන්නේ බැක්ටු කැමරා ෂොට් එකක්. ඒක අධ්‍යක්ෂවරයාගේ දුර්වලකමක්. කාල අධ්‍යක්ෂණය කළේ පී. ඒ රංජිත්. රජිනිගේ කබාලි චිත්‍රපටය කළෙත් ඔහු. කබාලිහිදී රජිනිව මරලා දානවා. කොහොම වුණත් මේ අධ්‍යක්ෂවරයා යටතේ රැජිනි රඟනොපානවා නම් තමයි වඩාත් හොඳ. මං මේ කතාව වීඩියෝ ගත කරලා අන්තර් ජාලයට එකතු කළා. රජිනගේ තලපති සිනමාපටයට තමයි මං වඩාත්ම ආස. ඒක අධ්‍යක්ෂණය කළේ විශිෂ්ට අධ්‍යක්ෂ මනි රත්නම්. රජිනි දැන් රඟපෑ යුත්තේ විශිෂ්ට අධ්‍යක්ෂවරුන් හා එක්වයි.


ජාතික ඡායාරූප ප්‍රදර්ශනය 15 දා

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරන ඡායාරූප ප්‍රදර්ශනය මෙම මස 15, 16 සහ 17 යන දිනවලදී කොළඹ 07 ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. මෙය ප්‍රදර්ශනයේ හතළිස් දෙවැනි දිගහැරුමයි. ප්‍රදර්ශනයේ සමාරම්භය 15 වැනිදා ජ්‍යෙෂ්ඨ කලාකරු ලූෂන් බුලත්සිංහලයන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. සමාරම්භක දිනයේ පෙරවරු 10.00 ට ඇරඹෙන ඡායාරූප ප්‍රදර්ශණය පසුදින සිට 16, 17 යන දිනවලදී උදෑසන 9 සිට සවස 6 දක්වා නොමිලයේ විවෘතව පවතියි.


ශ්‍රීමත්ගේ කටහඬ 200 ජූනි 16 - 17 ඇරැඹේ

කටහඬ 200 වැනි කණ්ඩායමේ පන්ති මේ මස 16 වැනි සෙනසුරාදා සහ 17 වැනි ඉරිදා උදේ 10 ට නුගේගොඩ, මිරිහාන බුවනෙකබා මාවතේ අංක 55 දරන තැන පිහිටි කටහඬ මාධ්‍ය කෙන්ද්‍රයේදී ආරම්භ කෙරෙන බව කටහඬ නිර්මාතෘ, ප්‍රවීණ ගුවන් විදුලි - රූපවාහිනී නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතා පවසයි. නිවේදක වෘත්තියට ඇතුළත් වන අයට සේම පූජකවරුන්, දේශපාලනඥයන්, පරිපාලන නිලධාරින්, ගුරුවරුන්, මාධ්‍යවේදීන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු කටහඬින් වැඩගන්නා සැමට මෙම පාඨමාලාව විවෘතය. කටහඬ පාලනය, භාෂා හැසිරවීම, නිවැරැදි උච්චාරණය, අපූර්ව ඉදිරිපත් කිරිම, මහජන රැස්වීම් ඇමතීම, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති ප්‍රකාශ, වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කිරීම, හඬ කැවීම, ප්‍රසංග වේදිකාව, ගායනය, රංගනය, නර්තනය, චිත්‍ර කලාව, ලේඛන කලාව, ගුවන් විදුලි නාට්‍ය, පෞරුෂ වර්ධනය, ජීවිතයේ ඉලක්ක ජය ගන්නා අයුරු, ශාරීරික ව්‍යායාම්, රස වින්දනය ඇතුළු අංශ ගණනාවක් පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමේ අවස්ථාව මෙතුළින් හිමි වෙයි.


 සිරසට විස්සයි

එම් බී සී, එම් ටී වී මාධ්‍ය ජාලයේ වසර 20 ක ආගමනය සැමරීම පසුගිය දින සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරුණි. වසර 20 ක් ලාංකික ප්‍රේක්ෂකයා වෙත නවතම ටෙලිවිෂන් කලාවක් හඳුන්වා දුන් සිරස වසර 20 කට පසු අලුත් ගමන් මඟක් ඔස්සේ ගමන් කිරීමට අදිටන් කර ගෙන සිටියි. එහි නවතම වැඩ සටහන් මාලාව එළි දැක්වීම 20 වසර සපිරීම නිමිත්තෙන් සිදු කළහ. එනම් ඔවුන් මෙතෙක් ගෙනා වැඩසටහන් මාලාව ගුවන් කාලය වෙනස්ම මඟකට ගෙන ඒමට කටයුතු යොදා ඇත. එහි අධ්‍යක්ෂ මණ්ඩලය හා නාළිකා ප්‍රධානි සුසාර දිනාල් ඇතුළු කාර්ය මණ්ඩලයයි. පොඩිත්තාගේ සිට වැඩිහිටියා දක්වා ඔවුන් සමඟ රැඳී සිටීමෙන් විශාල තෑගි බෝග පිරිනැමීමට මෙන්ම අලුත්ම ටෙලිවිෂන් කලාවක් තුළ නව මානයක් ඔස්සේ ගමන් කිරීම ඔවුන්ගේ සැලසුමයි. මේ උත්සවය අතරතුර එදින 16 දෙනකු සඳහා ගුවන් සවාරි යෑමට ටිකට්පත් 16 ක් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා ලදී. අලුත්ම වැඩ සටහන් තුළ අසන ලද ප්‍රශ්නවලට එස්. එම්. එස් මඟින් පිළිතුරු එවීමෙන් මර්සිඩීස් බෙන්ස් රථයක්, කාර්, මෝටර් සයිකල්, වටිනා බඩු මල්ලක් දිනා ගැනීමට ද අවස්ථාව උදා කර ඇති බවයි සුසාර දිනාල් සඳහන් කළේය.