වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




The Incredibles 2 සුපිරි බලය තහනම් වේ

The Incredibles 2 සුපිරි බලය තහනම් වේ

2018 වසර සිනමාවේ පෙර නිර්මාණය වූ සිනමා නිර්මාණ රැසක දෙවැනි තෙවැනි කොටස් රිදී තිරයට පැමිණි වසරක්. ඒ අතරට The Incredibles චිත්‍රපටයද එක් වී සිටිනවා. 2004 තිරගත වූ සුපිරි වීර ඇමෙරිකානු සජීවීකරණ සිනමාපටයේ දෙවැන්න වසර 14ට පසු එළිදකින්නේ The Incredibles 2 ලෙසින්.

The Incredibles යනු ආදායම් වාර්තා තබමින් විචාරක ප්‍රසංශාවට පවා පාත්‍ර වූ සජීවකරණ සිනමා නිර්මාණයක්. 2005 වසරේ 77 වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මාන ද්විත්වයකට හිමිකම් කී The Incredibles එහි නිෂ්පාදන වියදම වූ අමෙරිකානු ඩොලර් මිලියන 92ක මෙන් හයගුණයක ආදායමක් ලබා ගන්නට සමත් වුණා. The Incredibles හි කතාව ගෙතෙන්නේ සුපිරි බලයන් සහිත සුපිරිවීර පවුලක් වටා ය. සුපිරිවීර යුවළක් වන බොබ් පාර් සහ හෙලන් පාර් යුවළ හෙවත් ඉන්ක්‍රෙඩිබල් මහත්මා සහ මහත්මියට සුපිරි බලයන් ගෙන් යුතු ක්‍රියාදාම තහනම් කර සාමාන්‍ය ජීවිත ගත කරන ලෙසින් රජය නියෝගකර සිටිනවා.

සිය බිරියට සහ දරුවන්ට බෙහෙවින් ආදරය කරන ඉන්ක්‍රෙඩිබල් මහත්මා සැමදා ත්‍රාසය පිරි ජීවිතයක්ද ප්‍රිය කරයි. මෙලෙස ක්‍රියාදාම තහනම්කර සිටියදී ඉන්ක්‍රෙඩිබල් මහත්මා එක්තරා දූපතක් වෙත කැඳවන්නේ, පාලනය කර නොහැකි රොබෝවක් පාලනය කිරීම වෙනුවෙන්. එහිදී ගැටලුවකට මැදිවන ඔහුට උපකාර කිරීමට ඉන්ක්‍රෙඩිබල් පවුලේ සියලු දෙනා ද එක්වේ. The Incredibles කතාව ඉදිරියට ගලා ආවේ මෙලෙසින්.

හැමදාම මෙන් ඉන්ක්‍රෙඩිබල් මහත්මිය තම සුපිරි බලයෙන් ජනතාවට උපකාර කරමින් සිටින අතර ඉන්ක්‍රෙඩිබල් මහත්මා දරුවන් බලාකියාගෙන නිවෙසේ කාලය ගත කරයි. ඉන්ක්‍රෙඩිබල් පවුලට අතීතයටත් වඩා අභියෝගවලට මුහුණදීමට සිදුවන්නේ අන්ඩර්මයිනර් නම් දුෂ්ටයාගේ පැමිණීමත් සමඟින්. මේ නිසා ඉන්ක්‍රෙඩිබල් යුවල දියණිය වයලට්, ඩාෂ් සහ බේබි ජැක් පුතුන් දෙනොත් පවුලේ හිතවතෙකු වන ෆ්‍රෝසෝන් සමඟින් එක්ව මේ දුෂ්ටයාට එරෙහිව මුහුණ දෙන අයුරු වසර 14ට පසුව The Incredibles 2 ඔස්සේ දිගහැරේ.

පසුගිය ජුනි 05 වැනිදා ලොස්ඇන්ජලීස්හි මංගල දර්ශනයෙන් අනතුරුව ජුනි 15 වැනිදා සිට Incredibles 2 ලොවපුරා තිරගත කෙරේ. මෙය අධ්‍යක්ෂණයකර තිබෙන්නේ, Mission: Impossible – Ghost Protocol, Tomorrowland  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සිනමා සජීවකරණයේ ප්‍රමුඛයකු වන අමෙරිකානු අධ්‍යක්ෂ බ්‍රැඩ් බර්ඩ් විසින්. තිරරචනයකර තිබෙන්නේ ද ඔහු විසින්. පළමු චිත්‍රපටයට හඬ දුන් හෝලි හන්ටර්, ක්‍රෙග් ටී. නෙල්සන්, සාරා වොවෙල්, සැමුවෙල් එල්. ජැක්සන් ඇතුළුව තවත් පිරිසක් Incredibles 2 හිද හඬ දායකත්වය ලබා දී ඇත.

The Incredibles චිත්‍රපටය එදා ධ්ර්ච්ඡ දර්ශකයේ ලකුණු 8/10ක් ලබා ගන්නට සමත් වූ අතර රොටෙන්ටොමැටෝස්හි විචාරක ප්‍රතිචාර 97%ක් හිමි විය. එම චිත්‍රපටය සිනමා සජීවකරණයේ බෙහෙවින් සුවිශාල කටයුත්තක් ඉටු කළ බවත් මෙම සුපිරි වීරයන් සජීවකරණයේ දී චිත්‍රපටයේ නමට සරිලන පරිද්දෙන්ම නිර්මාණය කර තිබෙන බවටත් සඳහන් කරමින් ඉහළ විචාරක ප්‍රතිචාර ලබා ගන්නට සමත් වුණා. එසේම එහි දෙවැන්න Incredibles 2 ද මෙම ප්‍රතිචාරවලට නොදෙවෙනි නොවනු ඇති බවත් බොහෝ දෙනාගේ අදහසයි.