වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




තිරය පිටුපස වැඩ කාටත් පේන්නේ නැත

තිරය පිටුපස වැඩ කාටත් පේන්නේ නැත

SAJITH DINUSHAN

ඔබ විසින්ම ඔබව හඳුන්වා දෙන්න බලන්න?

මගේ නම සජිත් දිනුෂාන් ගෝවින්න.

වෘත්තීය?

ක්‍රීඩා අංශයේ වැඩ සටහන් විධායක නිෂ්පාදකවරයකු ලෙස සිරස නාළිකවේ සේවය කරනවා.

ඔබ ඒ අතර ක්‍රීඩා වැඩ සටහන් දෙකක නිවේදන කටයුතු කරනවා නේද?

ඔව්. ඉරිදා දහයයි තිහට විකාශය වෙන ඉන්සයිඩ් ස්පෝර්ට්ස් සහ අඟහරුවාදා සවස 5.30 ට විකාශය වන ක්‍රිකට ෆීවර්.

ක්‍රීඩා විස්තර ගෙන එන්නෙකු වුණේ ඇයි?

වෙනයම් හෝ අංශවලට වඩා මගේ කැමැත්ත සහ දැනුම තියෙන්නේ ඒ සඳහා. අනික මං නිරන්තරයෙන් උනන්දු වුණා ක්‍රීඩා තරග වෙනුවෙන්. පත්තරවල ගිය ආර්ටිකල් පවා තියෙනවා ක්‍රීඩා තරඟවල. මං ඒවායින් දැනුම පෝෂණය කර ගන්නවා.

ඔබගේ පළමු නවාතැන සිරසද?

ඔව්.

ඔබ කොහොමද සිරස නාළිකාවට ආවේ?

මාධ්‍යකරණය ගැන මං බොහෝ තැන්වලින් හැදෑරුවා. එහෙම ඉන්න කොට ට්‍රේනිං එකටයි මං සිරසට ආවේ. නිවේදන කටයුතු දැනට කළත් මං මුලදී වැටුණේ නිෂ්පාදන අංශයට. ඒ පැත්තෙන් දෙයක් කරන්න පුළුවන් කියලා හිතුණා. ඔහොම පුහුණුවෙවී ඉන්න අතරේ මට හැකියාව ලැබුණා සිරස ලක්ෂපති වැඩ සටහනට එකතු වෙන්න. මං එහි ප්‍රශ්න හදන අංශයේ හිටියේ. බොහෝ දේ එතනදි ඉගෙන ගත්තා.

ඔබ ආස කරන ක්‍රීඩා විස්තර විචාරකයින් කවුද ඉන්නේ?

ප්‍රේමසර ඈපාසිංහ සහ රොෂන් වටවල.

හා හාපුරා කියලා ලයිව් නිවේදන කටයුතු කරපු දවස මතකද?

ඔව්. හොඳටම මතකයි. එදා මං හුඟාක් බයෙන් හිටියේ. හදවත හොදටම ගැහුණා මතකයි. හැබැයි හිතන තරම් අමාරු වුණේ නැහැ. වැඩේ අල්ල ගත්තා.

මෙරට ක්‍රීඩා තරග පැවැත්වෙද්දී ඔබට වැඩ වැඩියි නේද?

ඔය කියන තත්ත්වය එන්නේ ලෝක කුසලාන තරගාවලියක් එහෙම පැවැත්වෙද්දී. එතකොට එක දිගට වැඩ. තිරය පිටුපස තිබෙන වැඩ ප්‍රමාණය කාටවත් පේන්නේ නැහැ. ප්‍රේක්ෂකයෝ දන්නේ පේන දේ පමණයිනෙ.

ක්‍රිඩා විස්තර විචාරකයෙකු ලෙස ඔබ වැඩිපුරම කාර්යබහුල මොහොත මතකද?

ජාතික මහා ක්‍රීඩා උලෙළේ ගිනිසිලුව රට වටා ගෙනිච්ච මතකද. අන්න ඒ දවස් කිහිපයම හරිම කාර්යබහුල වුණා. අපිත් රට වටා ගියා. විවිධාකාරයේ මිනිස්සු හමු වුණා. ජීවිතයට එක වරක් හෝ එවන් වූ අත්දැකීමකුත් ලබන්න ඕනෑ.

ඔබ සම්මානනීය නිවේදකයෙක්, ඊළඟට මං අහන්නේ එ ගැනයි?

ඉකුත් වසරේ රයිගම් උලෙළේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩ සටහනට හිමි සම්මානය දිනා ගත්තේ මම. ඒක ජාතික මට්ටමේ මා ලද පළමු සම්මානයයි. ඒ ඔස්සේ මාව තරමක් දුරට ඔසවා තැබුණා. දිරිමත් වුණා.

ඔබ ඉගෙන ගත් විදුහල මේ වෙලාවේ මතක් කළොත්?

කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහල.

ඉදිරි බලාපොරොත්තු?

නමක් රැන්දූ ක්‍රිඩා විස්තර විචාරකයකු වීම තමයි එකම හීනය.