වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ශ්‍රීදේවිගේ මැරුවාද මැරුණා ද ?

වසර පනහක් සිනමා රසික රසිකාවන් පිනවූ බොලිවුඩයේ සුපිරි තරුව ශ්‍රී දේවි පසුගිය පෙබරවාරි 24 වැනිදා සිය ජීවන ගමන නිම කළේ ලොවපුරා රසික රසිකාවන් කම්පනයට පත් කරමින්. 54 හැවිරිදි වියේ පසු වූ ඇය හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය ගිය බවට පුවත් පළ වුවද එමිරේට්ස් රාජ්‍ය පොලිසිය විසින් පසුගිය පෙබරවාරි 26 වැනිදා ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කළේ ඇය දියේ ගිලීමෙන් ඇති වූ හදිසි අනතුරකින් මරණයට පත් වී ඇති බවයි. මෙම මරණය ප්‍රකට සිනමා නළු නිළියන්ට හිරිහැර පමුණුවන පාතාල කල්ලියක ක්‍රියාවක් විය හැකි බවටත් කටකතා පැතිරුණා.

ශ්‍රී දේවියගේ මරණය පිළිබඳ විවිධ පුවත් ලොව පළ වන විටදී අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු බොනී කපූර් විශේෂ ප්‍රකාශයක් කරමින් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියේ, ශ්‍රී දේවි සිහිපත් කිරීමට අවැසි නම් ඇයගේ යහපත් ගතිගුණ සිහිපත් කරන ලෙසයි. එසේම ලෝකයට ඇය සුපිරි නිළියක් වුවද තම නිවෙසේ පවුල් ජීවිතය තුළ ඇය ආදරණීය බිරියක හා මවක වූ බවද බොනී එහි සඳහන් කර තිබුණා.

මෑතකදි යළිත් ශ්‍රීගේ මරණය ඝාතනයක් බවට කතාබහ ඇති වූයේ ඉන්දීය රුපියල් කෝටි 240ක ඇයගේ ජීවිතාරක්ෂණයක තොරතුරු හෙළි වීම සමඟින්. ඕමානයේ ඇය සතුව මෙම ජීවිතාරක්ෂණය තිබී ඇති බවත් එය හිමි වන්නේ ඩුබායිහිදී ඇය මරණයට ලක් වුව හොත් පමණක් බවටත් තොරුතුරු වාර්තා වෙනවා. චිත්‍රපට නිර්මාණකරුවකු වන සුනිල් සිං විසින් ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක්ම බව පවසමින් මෙම තොරතුරු සිය නීතිඥයා මගින් දැනුම් දී ඇත. ඔහු පවසන්නේ මෙම මුදල ලබා ගැනීමට ශ්‍රී දේවි ඝාතනය කරන්නට ඇති බවයි.


මධුරි-මධුරා

90 දශකයේ ඉහළ ජනප්‍රියත්වයක් ලද නිළියක වන මධුරි ඩික්සිත් රංගනයෙන් පමණක් නොව නර්තනයෙන් ද ලොව වසඟ කරන්නට සමත් වූ බව කවුරුත් දන්නා කරුණක්. විවාහයෙන් පසු සිනමාවෙන් තරමක් දුරස් වුණත් වරින්වර ඇයගේ රංගනයන් දැක ගන්න අවස්ථාව ලැබුණා. මධුරි මේ දවස්වල තවත් අලුත් සිනමා නිර්මාණයකින් දැක ගන්න ලැබෙනවා. එය මරාති චිත්‍රපටයක් වන Bucket List.
Bucket List
මධුරිට සුවිශේෂ වන්නේ මේ දක්වා වූ සිය රංගන ජීවිතයේ දායක වන පළමු මරාති චිත්‍රපටය ලෙසින්. එහි ඇය මධුරා සානේ නමින් 40 හැවිරිදි ගෘහණියකගේ චරිතයකට පණ දෙනවා. පවුලේ වගකීම් වෙනුවෙන් කැප වී සිටින මධුරා හදවත් සැකමකට මුහුණ දුන් පසු ඇයගේ ජීවිතය වෙනස් වන අයුරු Bucket List ඔස්සේ දිග හැරෙනවා. Bucket List අධ්‍යක්ෂණය කර තිබෙන්නේ තේජස් ප්‍රභා විජේ නම් අධ්‍යක්ෂවරයා විසින්. මැයි 25 වැනිදා සිට තිරගත කිරීම ඇරඹි Bucket List දින 10 ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 6.95ක ආදායමක් වාර්තා කර තිබෙනවා.


විශ්වයේ සතුටින්ම සිටින පිරිමියා

හොලිවුඩයේ ප්‍රවීණ නළුවකු වන රිචඩ් ගියර් තෙවැනි වරට විවාහ ගිවිස ගත්තේ පසුගිය මැයි මාසයේදීයි. 68 හැවිරිදි ඔහුගේ අත ගත් මනාලිය 35 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික ව්‍යාපාරික කාන්තාවක වන ඇලෙක්සැන්ඩ්‍රා සිල්වා. බෞද්ධ ආගමික නැඹුරුතාවක් ඇති ගියර් දලයි ලාමා තුමාගේ ක්‍රියාකාරී අනුග්‍රාහකයෙක් වන අතර මීට පෙර දෙවරක් විවාහ වූවෙක්. 1991 වසරේදී අමෙරිකානු මෝස්තර නිරූපිකාවක සහ නිළියක වන සින්ඩි ක්‍රෝෆෝඩ් සමඟ විවාහය සිව් වසරකට සීමා වූ අතර අමෙරිකානු නිළියක වන කෙයරි ලොවෙල් සමඟින් විවාහය වසර 14ට පසු 2016 දී අවසන් කෙරිණි. ඇලෙක්සැන්ඩ්‍රා ද මීට පෙර වරක් විවාහ වී සිට ඇති අතර එම විවාහයෙන් ඇයට පස් හැවිරිදි පුතෙකු සිටිනවා. ගියර් සහ කෙයරිගේ පුත්‍රයාගේ වයස අවුරුදු 18ක්. මෙම පුතුන් දෙදෙනාමත් විවාහ උත්සවයට සහභාගී වී සිටීම හැඟීම්බර අවස්ථාවක් වූ බව ඇලෙක්සැන්ඩ්‍රා මාධ්‍ය වෙත පවසා තිබුණා.

නිව්යෝර්ක් නගරයේදී පැවති විවාහ උත්සවයට දෙදෙනාගේ ළඟම ඥාතීන් සහ හිතවතුන් පමණක් සහභාගී වී සිටි බව මාධ්‍ය වාර්තා කළා. විවාහයෙන් පසු පළමුවරට රිචඩ් ගියර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමා විශ්වයේ සතුටින්ම සිටින පිරිමියා සේ හැඟෙන බවයි. 2014 වසරේ සිට ඇලෙක්සැන්ඩ්‍රා - ගියර් ආදර කතාව ඇරඹෙන්නේ ගියර්, ඇලෙක්සැන්ඩ්‍රාහට අයත් හෝටලයක විවේකය ගතකිරීමට පැමිණි අවස්ථාවකදී දෙදෙනා හමු වීමෙන් පසුවයි.


එළිසබෙත් රැජන කොපි කළ ගායකයා

ඩේරියස් රුකර් 52 හැවිරිදි ග්‍රැමී සම්මානලාභි අමෙරිකානු ගායකයෙක් සහ ගීත රචකයෙක්. මේ වන විට ඕචජඬ බධ ඊඩඥද (2002), ඊපභඥ ඕඥතඪඥමඥපඵ (2013),එඩඥද එචඵ බඩඥ ඹ්චඵබ ඊඪථඥ (2017) ඇතුළුව ගීත ඇල්බම හතක් නිකුත් කර ඇති ඔහු අමෙරිකාවේ ජනප්‍රිය රොක් සංගීත කණ්ඩායමක ප්‍රධාන ගායකයා ලෙසින් ද කටයුතු කරනවා. පසුගිය 07 වැනිදා අමෙරිකාවේ පැවැති ඛ්ර්ඊ සංගීත සම්මාන උලෙළට ඔහු පැමිණ සිටි අයුරු කාගේත් විශේෂ අවධානයට ලක් වුණා. ළා කොළ පැහැ කබායක් හැඳ දම්පාට මලින් සහ පිහාටුවලින් සැරසූ ළා කොළ පැහැ හිස්වැස්මක් පැලැඳ ගෙන රුකර් එදින සම්මාන උලෙළෙට පැමිණ සිටියා. එම කබාය සහ හිස් වැස්ම 19 වැනිදා වින්ඩ්සර් මන්දිරයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවති හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ රාජකීය විවාහ මංගල්‍යයට 92 හැවිරිදි දෙවැනි එළිසබෙත් රැජන ඇඳී කබාය සහ හිස්වැස්මට බෙහෙවින් සමාන වන ලෙසින් නිර්මාණය කර ගැනීමට රුකර් තීරණය කර ඇති බවයි පෙනෙන්නේ.


සඳ මත පා තැබූ ප්‍රථම මිනිසා රිදී තිරයට

ලොව ප්‍රථම වරට සඳ මත පා තැබූ මිනිසා ලෙසින් ගෞරවයට පාත්‍ර වන්නේ අමෙරිකානු ජාතික ගගනගාමියකු වන නීල් ආම්ස්ට්‍රෝන්. ඇපලෝ 11 යානයෙහි අණදෙන නිළධාරියා ලෙසින් 1969 ජුලි 20 වැනිදා ප්‍රථම වරට සඳ මත පා තැබීමේ අවස්ථාව නීල් ආම්ස්ට්‍රෝන්හට හිමි වුණා. ලොව ප්‍රකට විවිධ චරිත සිනමා තිරයේ ජීවමාන වෙන විටදී නීල් ආම්ස්ට්‍රෝන් චරිතයද යළිත් ජීවමාන කිරීමට පියවර ගෙන සිටින්නේ ඔස්කාර් සම්මාන ලාභී ළාබාලතම අධ්‍යක්ෂවරයා වන ඩේමියන් චාසෙල් ය. ඒ මේ වසරේ ඔක්තෝබර් මාසයේදී තිරගත කිරීමට නියමිත First Man චිත්‍රපටය සමඟින්.

First Man චිත්‍රපටය නීල් ආම්ස්ට්‍රොන් සඳ මත පා තැබූ ඓතිහාසික මෙහෙයුම ගෙන එනවා. මෙහි නීල් ආම්ස්ට්‍රෝන්ගේ චරිතයට පණ පොවන්නේ කැනේඩියානු නළු රයන් ගොස්ලින්. ආම්ස්ට්‍රොන්ගේ පළමු බිරිය ජැනට් ශියරොන්ගේ චරිතයට පණ පොවන්නේ ක්ලෙයර් ෆෝයි විසින්. අධ්‍යක්ෂ ඩේමියන් චාසෙල් සහ රයන් ගොස්ලින් පළමුවරට හමු වන්නේ 2016 වසරේ La La Land චිත්‍රපටය සමඟින්. රයන්  La La Land රංගනය වෙනුවෙන් ඔස්කාර් හොඳම නළුවාට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම අතරට එක් වූ අතර ඩේමියන්  La La Land අධ්‍යක්ෂණය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය.