වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිවදාසන් දෙවැනි යුද්ධයට සැරසෙයි

සිවදාසන් දෙවැනි යුද්ධයට සැරසෙයි

ආදායම් වාර්තා තැබූ ඔක්කොම රජවරු, හොඳින් නැත්නම් නරකින්, ඔබ මට විශ්වාසයි, ඔබ මගේම වේවා අධ්‍යක්ෂණය කළ වී. සිවදාසන්ගේ අලුත්ම චිත්‍රපටය දෙවැනි යුද්ධය මුහුරත් උලෙළ පසුගිය දින වැල්ලවත්ත සෆායර් හෝටලයේදී පැවැත්විණි. වත්මන් යුගයේ ජනප්‍රිය වූ දකින දකින මල්, දරුවනේ, දෝණි, සිංහයා මෙන්ම තිරගත වීමට නියමිත පාටක් නැති ආදරයක් චිත්‍රපටය ද සුනෙර ගිර සසල විය, විකසිත මිලිනය, තමර අරණ, නිසල දිය සසල විය, කිඳුරු නදිය, අග මෙහෙසියෝ, සත් දෙව් දෝණි, අපර්ණා, ආරතී, ප්‍රථම හිරු, මව් දෙව් දූ, සුජාතා, හංස ගීතය වැනි ටෙලි නාට්‍ය ද අධ්‍යක්ෂණය කළ වී. සිවදාසන් විජය රසායනාගාරයේ රසායනාගාර පාලකයා ලෙස ද චිත්‍රපට රැසකට දායක වී ඇත. ඔහුගේ නවතම සිනමාපටය වන දෙවැනි යුද්ධය රංගනයෙන් දායක වන්නේ පුබුදු චතුරංග, උදාරි වර්ණකුලසූරිය, ජයලත් මමෝරත්න, දිල්හානි අශෝකමාලා, සරත් කොතලාවල, කීත් රංග, රුක්ෂානා දිසානායක, බුද්ධික ජයරත්න, සාගරිකා ධර්මපාල, අනුර වරාගොඩ, එස්. අයි. සමරක්කොඩි හා ප්‍රථම සිනමා රංගනයට එක් වන තුෂිනි ප්‍රනාන්දු රංගනයෙන් දායක වෙති. සම අධ්‍යක්ෂණය කීර්ති රුවන් ලාල්සන්, කැමරාකරණය සුජිත් නිශාන්ත, තිර රචනය බර්නාඩ් ජයතුංග, කලා අධ්‍යක්ෂණය රොහාන් සමරදිවාකර, නිෂ්පාදන විධායක සරත් වීරසේකර, වේශ නිරූපණය අනුර ජයසේකර, රංග වස්ත්‍රාභරණ දිනේෂ් ජයශාන්ත, සංගීතය උදයන් වික්ටර්, නිෂ්පාදන කළමනාකරණය සුනිල් ජයදේව, ගීත ගායනය සුබුද්ධි ලක්මාලි, පූර්ණ සචින්ත, කල්පනා කාවින්දි, ගීත රචනය සුනිල් ධර්මසිරි, මාධ්‍ය සම්බන්ධිකරණයෙන් සුනිල් ධර්මසිරි සහ කීර්ති රුවන් ලාල්සන් නවතම සිනමාපටයට දායක වෙති. මෙම චිත්‍රපටය සිවදාසන්ගේ පුතු රජීව් සිවදාසන්ගේ නිෂ්පාදානයකි.


උදයකාන්තගෙන් අපූරු වාර්තාවක්

ගිනි අවි සහ ගිනි කෙළි 2, පුඤ්ඤසෝම 2, බහු භූතයෝ 3

ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය චිත්‍රපට ත්‍රිත්වයක ඊළඟ කොටස් ඇරැඹීමට සූදානම් වෙයි. ඒ ඔහු නිර්මාණය කළ අති සාර්ථක බහු භූතයෝ චිත්‍රපටයේ තුන්වැනි කොටස, ගිනිඅවි සහ ගිනිකෙළි චිත්‍රපටයේ දෙවන කොටස සහ කොස්තාපල් පුඤ්ඤසෝම සිනමාපටයේ දෙවැනි කොටසයි. අලුත්ම කතා පුවත් සමඟින් චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණයවීමට නියමිතයි. එමෙන්ම මේ වන විට මෙම නිර්මාණයන් ත්‍රිත්වයේම තිරනාටක ලියා අවසන්ව ඇත.


ගායක ගායිකා සංගමයෙන් හඬ නිහඬ

ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමයේ නවතම ව්‍යාපෘතියක් ලෙස ආචාර්ය ජයලත් මමෝරත්නගේ හඬ නිහඬ වේදිකා නාට්‍යය මෙම මස 17 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී ප. ව. 3.30 සහ ප. ව. 6.30 ට වේදිකා ගතවේ. මෙහි 3.30 දර්ශනය ගායක ගායිකාවන් සහ විශේෂ අමුත්තන් සඳහා පැවැත්වෙන අතර 6.30 දර්ශනය මහජන ප්‍රදර්ශනය සඳහා වෙන් කොට ඇත. මෙම දර්ශන වාරය වේදිකා ගත වනුයේ ගායක ගායිකා සංගමයේ මූල්‍ය අරමුදල ප්‍රතිසම්පාදනය කිරීම සඳහාය.


මැල්කම් මන්තාරා මියයයි

අපට සිටි පැරැණිතම නිෂ්පාදන කළමනාකරුවකු වන මැල්කම් මන්තාරා අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 69 කි. සැනකෙළිය සිනමාපටය හරහා ක්ෂේත්‍රයට සම්බන්ධවන මැල්කම් ඉන් පසු සිනමාපටයන් රැසකට තම දායකත්වය සපයන ලදී. නිෂ්පාදන කළමනාකරුවකු ලෙස තමන්ට ලැබෙන නිර්මාණයේ බර කරට ගෙන නිසියාකාරව එම වගකීම ඉටුකරන්නෙකු හැටියට මැල්කම්ව ප්‍රකටවී තිබිණි. එහෙයින් සම්මානනීය අධ්‍යක්ෂවරු රැසකගේ නිර්මාණවලට නිරන්තරයෙන් ඔහුට ආරාධනා ලැබිණ. විරාට් කෝලි, අනුෂ්කා ෂර්මා පෙම් කතාව එක්තරා කොනක සිටි අයකුවන මැල්කම්ගේ එම කතාව සරසවියේ ඉකුත් කලාපයකද පළවන ලදී.


බී. එස්. ගුණ සමරුව 19 දා

ප්‍රවීණ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියකුවන බී. එස්. පෙරේරා අප අතරින් වියෝවී මෙම මස 23 වැනිදාට වසර තිස්හයක් සපිරෙයි. ඔහු වෙනුවෙන් මෙවර සෙනෙහසේ නවාතැන වැඩසටහන වෙන්වේ. එය මෙම මස 19 වැනිදා එනම් එන අඟහරුවාදා රාත්‍රී 10.30 ට ජාතික නාලිකාවෙන් විකාශය වේ. බී. එස්.ගේ ආදරණිය පුතු සුනිල් වෙස්ලි පෙරේරා මේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වේ. සෙනෙහසේ නවාතැන විනිතා කරුණාරත්නගේ නිෂ්පාදනයකි.