වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මඟ දිගට රසකතා

දාඩිය නිවෙන්නත් කලින්

වී. සිවදාසන් කියලා කියන්නේ අපට සිටින පැරැණිතම අධ්‍යක්ෂවරයෙක්. එවකට පැවැති විජය චිත්‍රාගාරයේ රසායනාගාරාධිපති ලෙස කලක් කටයුතු කළ බව අද පරපුර දන්නේ නැහැ. සිවදාසන් කළ බොහොමයක් චිත්‍රපට බහුතරයක් ප්‍රේක්ෂකයින් වැලඳ ගත්තේ ඒවා තුළ ඇති සරලකම නිසාමයි. මේ සිවදාසන් තමන්ගේ නවතම සිනමාපටයේ වැඩ කටයුතු මේ දිනවල කරගෙන යනවා. ඒකට ගීතයක් ලියවා ගන්න කියලා හිතලා ඔහු මුල් යුගයේ චිත්‍රපටවල ගීත ලියූ නිබන්ධකයකුට කතා කළාලු. ඔහුට වැඩෙත් බාරදීා. කියූ පරක්කුවෙන් ලියපු ගීතය ඊමෙල් මඟින් ලැබිලා. සිවදාසන් ගීතය බලලා ගීත රචකයාට එවලෙම කතා කළාලු.

මට ඔයාගේ එකවුන්ට් නම්බර් එක එවන්න.

සිවදාසන් එවලෙම ඔහුට ගීතය ලියුවාට සල්ලි දාන්නයි ලැහැස්තිය.

ගීත රචකයා කිව්වලු මොකක් ද මේ හදිස්සිය කියලා.

කරපු වැඩක් වෙනුවෙන් දාඩිය නිවෙන්න කලින් ඒ වැඩේ කරපු කෙනාට කුලිය ගෙවන්න ඕනෑ. ඒකයි මගේ ප්‍රතිපත්තිය.

සිවදාසන් කියූ දේට නම් කටේ මසුරං දාලත් මදි. අද කාලයේ හැටියට කොතරම් නම් කලාකරුවන් ඉන්නවද කරපු වැඩවලට මුදල් නොලැබුණු. එහෙම පිරිසක් අතරේ සිවදාසන් වගේ ප්‍රතිපත්ති ගරුක අය සිටීමත් වාසනාවක්.


උපන් දිනයක් ගිය උඩ

සාමාන්‍යයෙන් උපන් දිනයක් සමරන්නේ මහ පොළවේ කොහේ හෝ තැනක. එක්කො උපන් දිනය ඇති තැනැත්තාගේ ගෙදර නැතිනම් උත්සව ශාලාවක. එහෙත් අඩි තිස්පන්දාහක් උඩ සිට උපන් දිනය සමරන්නට පුළුවන්කම ලැබුණොත් ඒකත් එක්තරා අන්දමේ වාසනාවක්. එහෙම සිය උපන් දිනය සැමරුවේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය. ඉකුත් දා තිබුණු ඔහුගේ උපන් දිනය සැමරුවේ ගුවන් යානයක සිටයි. රවීන්ද්‍ර මේ දිනවල රඟපානවා විදෙශ් චිත්‍රපටයක. එහි දර්ශන තල තියෙන්නේ එංගලන්තයේ. එහෙට ගිහින් එන ගමන් තමයි රවී මේ අන්දමින් උපන් දිනය සැමරුවේ.


මං පොඩි දා වගේ

රොඩ්නි වර්ණකුල එක්ක පොඩි කතාවක ඉන්න ගමන් රහසක් හෙළි වුණා. ඒ රහස මෙන්න මේකයි. රොඩ්නිට නිතර නිතර උත්සවවලට ආරාධනා ලැබෙනවා. එහෙම වැඩි හරියක් ලැබෙන්නේ මොන්ටිසෝරිවල උත්සවවලට. හිසේ කෙස් ගාණට රොඩ්නි මොන්ටිසෝරිවල උත්සවවලට ගිහින් තියෙනවලු.

ඇයිද මන්දා මට මෙච්චර මොන්ටිසෝරිවලින් කතා කරන්නේ?

ඒ ප්‍රශ්නෙට ළඟ හිටපු කෙනෙක් මෙහෙම උත්තරයක් දුන්නා.

රොඩ්නි අයියා තවම මොන්ටිසෝරි ළමයා වගෙයිනෙ, ඒකයි.


වහං වෙලා ඉවරයි

සාලිය සත්‍යජිත් කියන්නේ කලක් වහං වෙලා හිටපු චරිතයක්. එහෙත් ඔහු ඒ නිහඬතාවය බින්දා ස්ටාර් රියැලිටි තරගයකට සහභාගි වෙලා. දන්නවද සාලියගේ අලුත්ම ආරංචිය. ඔහු ගායකයකු වශයෙනුත් කරළියට එන්නට සූදානමින් සිටිනවා. ඒ ගීතයේ වැඩ කටයුතු බොහොම ඉවරලු. ළඟදීම එය එළිදක්වන්නයි සාලිය හිතාගෙන ඉන්නේ.


දකුණත දන්නේ නෑ

ඉකුත් දිනවලදී රටේ ඇතිවුණු ගංවතුර තත්ත්වය මත බොහෝ දෙනෙකු අන්ත අසරණභාවයට පත් වුණා. ඒ අය වෙනුවෙන් බොහෝ දෙනෙකු උදව් කරන්නත් පෙලඹුණේ සැබෑ වූ මනුෂ්‍යත්ව හැඟීමෙන්. මේ අතර සිටියා එක්තර කලාකරුවෙක්. ඔහු තමන් ගැනවත් නොසිතා අප්‍රසිද්ධියේ ගියා මේ අසරණයින්ට උදවු කරන්න. මේ ජනප්‍රිය කලාකරුවා වෙන කෙනෙක් නෙවෙයි කංචන කොඩිතුවක්කු. ඔහු තමනට හැකි පරිදි බඩු භාණ්ඩ එකතු කරගෙන රටේ ආපදාවන්ට ලක් වූ අසරණයින් සොයා ගියා. එහෙම ගිහින් ඔවුනට උදවු කළා. බොහෝ දෙනෙකු නෙවෙයි කිසි කෙනකු කංචන එහෙම කළාය කියලා දන්නෙවත් නැහැ. දකුණු අතින් දන් දුන් දෙය වමත දැන ගන්නත් හොඳ නැහැ කියනවනෙ. එතකොට තමයි පින වැඩියෙන් ලැබෙන්නේ.