වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සරුංගල් ළඟදීම තිරයට

සරුංගල් ළඟදීම තිරයට

නාලක විතානගේ තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය සරුංගල් ප්‍රදර්ශනයට සූදානම් කොට තිබේ. තරුණ ආදරයේ අලුත් පැතිකඩක් පිළිබඳ කතාබහ කරනු ලබන මෙය තරංග අතුරුලිය සහ ඒ. පාරිස්ටර්ගේ නිෂ්පාදනයකි. අලංකාර දර්ශන තල රැසක රූගත කළ සරුංගල් චිත්‍රපටයේ උමාරියා සිංහවංශ සහ බාචි සුසාන් ගායනයෙන් දායක වේ. චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණි, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ, සූරිය දයාරුවන්, ජනක රණසිංහ, චින්තක පීරිස් සහ සුනෙත් මැල්සිරිපුර රංගනයෙන් දායක වේ. සරුංගල් හි සහාය අධ්‍යක්ෂණය කැලුම් උඩුවාවල සහ පැතුම් ඒකනායකගෙනි. ධනුක බාලාරච්චි කලා අධ්‍යක්ෂවරයාය. අංග රචනය අරුණ ශාන්ගෙනි. රංග දසනායක සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන මෙහි මංජුල කුමාරතුංග කැමරා අධ්‍යක්ෂණයෙන් එකතු වූ මෙහි ප්‍රචාරක කටයුතු ඛ්චබඵ ආයතනය මඟින් සිදු කරයි.

 

විදෙස් ටෙලිනාට්‍ය බද්ද වැඩිවෙයි

මෙරටට පිටරටින් ආනයනය කළ හඬ කවා දේශීිය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලි නාට්‍ය සහ වානිජ වැඩ සටහන් සඳහා අය කරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තිබේ. මේ අනුව හඬ කවන ලද විදේශ ටෙලි නාට්‍ය සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් 90,000 සිට රුපියල් 1,50000 දක්වා වැඩි කෙරේ. චිත්‍රපට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සංවිධාන සහ නිර්මාණකරුවන් විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් කර තිබූ ඉල්ලීමට අනුව දැනට අය කරනු ලබන ගාස්තුව වැඩි කර ඇත. ඒ අනුව විනාඩි 30 ක හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬ කවන ලද උපරිමය කොටස් හතරක ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට සඳහා දිනෙක පළමු විකාශන කාල පරිච්ඡේදවලට දැනට අය කරනු ලබන අවම ගාස්තුව වන රුපියල් 90000 මුදල රුපියල් 150000 දක්වා වැඩි කොට තිබේ. මෙරට විකාශය කරනු ලබන ඇතැම් විදේශ චිත්‍රපට හා ටෙලි නාට්‍ය සඳහා වානිජ වැඩසටහන් ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය ආචාර ධර්මවලට පටහැනි වන අවස්ථා දක්නට ලැබෙන හෙයින් එය අවම කිරීමට පියවර ගන්නා ලෙස ද කලාකරුවන් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. ටෙලි නාට්‍ය චිත්‍රපට හා වානිජ වැඩසටහන් සඳහා දැනට ගාස්තු අය කිරීම සඳහා වලංගු 2006 අංක 11 දරන මුදල් පනත යටතේ මේ සම්බන්ධ ගැසට් පත්‍ර තුන අවලංගු කොට ඇති අතර නොවැම්බර් 07 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් නව ගැසට් පත්‍රය නිකුත් කර ඇත. කෙසේ වුව ද සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරනු ලබන ටෙලි නාට්‍ය, චිත්‍රපටවල මුල් පිටපත් හඬ කවා නොමැති නම් ඒවා මෙම නව ගාස්තු අය කිරීමෙන් නිදහස් කෙරේ.

සුදත් රෝහණගේ තිස් වසරක කලා දිවිය ඇගැයේ

සම්මානනීය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණවේදියකු වන සුදත් රෝහණගේ කලා ජීවිතයට මෙම වසරේදී දශක තුනක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් ඔහුගේ සේවය අගයමින් මෙම මස 26 වැනිදා සවස 6 ට කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ උපහාර උලෙළක් පැවැත්වෙනු ඇත.

සුදත් රෝහණ නිර්මාණය කළ නාට්‍යවල ගීතවලියකින් ද හැඩ ගැන්වෙන මෙහිදී ඔහුගේ නිර්මාණයන් පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් එළිදැක්වීමට නියමිතය. එමෙන්ම සුදත් රෝහණගේ නිර්මාණයන් ඩී වී ඩී සහ සී ඩී මාධ්‍යයෙන් ද එදින ජනගත වනු ඇත. මෙයට සමගාමීව ඔහු පිළිබඳ රූපවාහිනි වාර්තා වැඩ සටහනක් එළිදැක්වීම සහ ඔහුගේ නාට්‍යවල රචකයන් මෙන්ම නිෂ්පාදකවරුන් ඇගැයීම ද සිදු කරනු ලැබේ. සුදත් රෝහණගේ මෙම උපහාර උලෙළ සත්ජන සහෘද සංසදයේ සංවිධානයකි.

සීමා නෑ ආකාසේ තිරයට ආ හැටි

නිහාල් බණ්ඩාර තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ සීමා නෑ ආකාසේ සිනාමපටය පසුගිය සිකුරාදා සිට තිරගතවීම ආරම්භ විය. මෙහි මංගල දර්ශනය පැවැත් වුයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි ශාලාවේදීය. සීමා නෑ ආකාසේ තිස්ස බාලසූරියගේ නිෂ්පාදනයකි.

සේයාරුව - ශාන් රඹුක්වැල්ල

ළඟදීම දඬුමොනරෙන් එනවෝ

හම්ප්‍රි විජේසූරිය තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ දඬුමොනරෙන් එනවෝ ළමා සිනමාපටය ළඟදීම තිරගතවීමට නියමිතය. වලව්වක ඉපදුන මහේෂ් නැමති නිහතමානී ගති පැවතුම් ඇති දරුවකු වටා ගෙතී ඇති කතා පුවතකි. බුද්ධදාස විතානාච්චි, තුෂානි පෙරේරා, චතුර පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, ජනක සුරංග, නයනි සමරවීර, මෙරිල් රාජපක්ෂ, ලක්ෂ්මන් හේවගේ, දොන් අරුණ ශාන්ත, සත්සර සමන් ජයසූරිය, රජිත තනුජ මහවත්ත, ජිනුක විජේසූරිය, තරිශ් මධුසංක, අවිෂ්ක කවිෂාන් සමග මනුක නෙත්සර මෙහි චරිත මවති.

සාර්ක් චිත්‍රපට උලෙළ 21 වැනිදා ඇරැඹේ

සාර්ක් චිත්‍රපට උලෙළ 2017 ලබන 21 වැනිදා සිට 25 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනි සිනමා ශාලාවේදී පැවැත්වේ. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් 07 වැනි වරට සංවිධානය කෙරෙන මෙම සිනමා උලෙළ 2015 සිට 2017 දක්වා තිරගත කෙරුනු වෘත්තාන්ත චිත්‍රපට, කෙටි චිත්‍රපට, විශිෂ්ට සිනමාකරුවන්ගේ අධිකෘතින් ඇතුළුව චිත්‍රපට තිරගත කිරීමට නියමිතය. සිනමා උලෙළේ සමාප්තිය 25 වැනිදා පස්වරු 6.30 ට සිදුවේ.

උදාර පල්ලියගුරු ටෙලිවිෂනයට තුත්තිරි ගෙන එයි

සංජය නිර්මාල් අධ්‍යක්ෂණයක්

සුපර්සික්ස් අධ්‍යක්ෂණයෙන් සිනමාවට පිවිසි උදාර පල්ලියගුරුගේ ප්‍රථම වතාවට මෙගා ටෙලි සිතුවමක් නිෂ්පාදනය කොට තිබේ. තුත්තිරි යනුවෙන් නම් කොට ඇති එය හස්‍යෝත්පාදක කතා මාලාවකි. සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන තුත්තිරි ටෙලි සිතුවමේ සනත් විමලසිරි, මොරින් චාරුනී, නිරෝෂන් විජේසිංහ, මේධා ජයරත්න, කාවිංග පෙරේරා, රිතු ආකර්ෂා, අනුරාධා එදිරිසිංහ, සරත් කුලාංග, මිශෙල් දිල්හාරා, අංජුලා රාජපක්ෂ, නුවංගි ලියනගේ, ජේක් සේනාරත්න රංගනයේ යෙදෙති.

සුදර්ශියෙන් සේවා රැසක්

සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි) නාට්‍ය අනු මණ්ඩලය මඟින් ප්‍රවීණ හා ආධුනික කලාකරුවන් එක් රැස් කර සෞඛ්‍ය වාර්තා, ණය පහසුකම්, අමතර ආදායම් අවස්ථා, යතුරුපැදි සහන ක්‍රමයට ලබාදීම ආදී ක්‍රියාකාරකම් රැසක් එළඹෙන නොවැම්බර් 18 දින කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අංක 375 දරන සිංහල සංස්කෘතික ආයතනයේ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ පිළිබඳ විස්තර 0770881744 හෝ 0112687979 අංක ඔස්සේ ලබාගත හැකි අතර කලාකාමී සැමටම පැමිණීමට ආරාධනා කර සිටියි.