වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ගීත සියයක් රැගත් අම්මා සඳකි 22 වැනිදා එළිදකිනවා

මගේ ගීත සියයක් රැගත් අම්මා සඳකි 22 වැනිදා එළිදකිනවා

ටී.එම්. ජයරත්නගේ බිරිය මාලිනී ජයරත්න

ඇය සිය සිතේ රැඳී අදහස පද වැලකට ගෙතුවා ය. ඒ ගෙතුමේ සුන්දරවය වඩාත් ඔප් නැංවූයේ ඇගේ සැමියා ටී. එම්. ජයරත්න එය මිහිරි ලෙස ගැයීමත් සමඟ ය. ඒ ගැයුමේ හා පද ගෙතුමේ සුන්දරත්වය කොතරම් ද යත් අපගේ පරම්පරාවත්, අපට පසු පරම්පරාවත් ඒ ගීතවලට ප්‍රිය කරන බව මම දනිමි.

‘මාලිනී ජයරත්න - ටී.එම්. ජයරත්න’

ඒ සුසැඳී සුසංයෝගය මුණ ගැසීමට සිතා කලකට පසුව පසුගිය දිනෙක අපි ඔවුන්ගේ නිවහනට පිවිසුණෙමු. ඒ ඔවුන්ගේ සැපදුක් සොයන අටියෙනි. එහෙත් අපට අසන්නට ලැබුණේ තවත් පුවතකි. ඒ ඉදිරියේදී මාලිනී ජයරත්න නැවුම් කාර්යකට මුල පුරන බවකි.

“ළඟදි පැවැත්වීමට නියමිත නවතම කාර්ය කුමක්ද?”

“මා මෙතෙක් ලියූ පදවැල් එකතු කරමින් පොතක් විදියට එළිදැක්වීමත්, ගීත කිහිපයකුත් ඇතුළත් සංගත තැටියක් එළිදැක්වීමකුයි ඉදිරියේදි සිදුවන්නේ. ඒ මේ මාසේ 22 වැනිදා සවස 3.30ට පදනම් ආයතනයේදියි ඒ කාර්ය සිදුවන්නේ ‘අම්මා සඳකි...’ නමින් නම් කර තිබෙන ඒ පොතේ මා ලියූ ගීත සියයක් ඇතුළත්. මා මෙතෙක් ගීත ලිව්වේ පොතක් කරන්නට සිතාගෙන නොවෙයි. මගේ සිත නිදහස් කර ගන්නයි. සිතට සිතෙන සිතුවිලි මා යම්කිසි රටාවකට ලිව්වා. ඒවා පසුව ගීත බවට පත්වුණා. මගේ සැමියා නමක් තිබෙන ගායකයකු නිසා ඔහුගේ මුවිනුත් ඒ ගීත කිහිපයක් ම ගැයුණා.”

ඈ ඒ පැවසුවේ අපේ රටේ ගීත සාහිත්‍යයේ ඉහළින්ම නම රැන්දූ සිය පෙම්බර සැමියා පිළිබඳ ය.

“කාලයකට පසුව මෙවැන කාර්යයක් කිරීමට පෙලඹුණේ ඇයි?”

“ගිය වසරේ නොවැම්බර් 30 වැනිදා මා ශල්‍ය කර්මයකට භාජනය වුණා. ඉන් පස්සේ මා මාසයක් පමණ විවේකීව කාලය ගත කළා. ඒ කාලය ඇතුළේ මා මෙතෙක් ලියූ ගීත පොතක සටහන් කරලයි තිබුණේ. ඒ පොතේ කොළ ගැලවීමත් නිසා අලුත් පොතක සියලු ම ගීත ලිවිය යුතුයි කියන මතයේයි මා සිටියේ. මේ සඳහා සුදුසු ම අවස්ථාව මට මේ ලැබුණු විවේකය නිසා මා ඇඳේ ඉඳගෙන ගීත ලිවීම ආරම්භ කළා. ඒ අතරවාරයේ මහත්තයාත් මට ගීත ලියන්නට උදවු වුණා. මේ අතර නිතරම මෙන් මට කතා කරන ගීපද ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන සුනිල් සරත් පෙරේරාට මේ කරන කාර්ය පිළිබඳ ඇගයීමට ලක්කළා. එහිදි ඔහු පැවසුවේ ඒ සියලු ගීපද පොතක් කිරීමට සුදුසු බවයි. මගේ හිත මිත්‍රයකු වන සමුද්‍ර වෙත්තසිංහ මල්ලිත් පැවසුවේ මේ ගීපද ටික පොතක් කිරීම ගැනයි. ඔවුන්ගේ මූලිකත්වයෙනුයි මේ ගීපද පොතක් බවට පත්වන්නේ.”

සිය අවට සිටින මිතුරන්ගේ අදහසකට අනුව මේ පොත එළිදැක්වීමේ කාර්යට මාලිනී ජයරත්න එකඟවන්නේ එය යහපත් කාර්යයක් බැවිනි. එමෙන්ම එදිනට බොහොම සෞන්දර්යාත්මකව ඒ කාර්ය සිදුවනු නියතය.

“මේ ගීත ලියැවුණේ කොහොමද?”

“මා නිතරම උත්සාහ ගන්නේ මා ලියන දේ මඟින් යහපතක් කරන්නයි. ඒ ඔස්සේ රටේ සිටින සියල්ලන්ගේ ම සිත්වල යහපත් අදහසක් ඇති කරන්නයි. ඒ නිසා ඔවුන්ට විෂ සහිත දේ ලබා නොදෙන්නටත් මා බෙහෙවින් මහන්සි ගන්නවා. විෂ සහිත දෙයක් මගේ අතින් නිර්මාණය වුණත් ඒවා ඉරා පුච්චා දමනවා මිසක ඒවා සමාජයට ඉදිරිපත් කිරීම මගේ ප්‍රතිපත්තිය නොවෙයි. ඒ ප්‍රතිපත්තිවල ඉඳීමිනුයි මා ගීත ලියන්නේ. ගීත ලියන විට විශේෂයෙන් ම ගීත ලියනවා යැයි කියමින් මා ගීත ලියන්නේ නැහැ. යම් සිදුවීමක් හදවතට දැනිය යුතුයි. එදිනෙදා නිවෙසේ කටයුතු කරමින් සිටින අතරතුර මගේ සිතේ පහළ වන හදවතට දැනෙන ඒ සිතුවිල්ල මා කොළයක කුරුටු ගානවා. යළිත් පෙර කාර්යයේ ම නියැළෙනවා.”

මාලිනීට ලිවීම ගැන වඩාත් කැමැත්තක් ඇති වන්නේ එකල ගුවන්විදුලියේ ඇසුණු ළමා ගීත ශ්‍රවණය කිරීමෙනි. ඒ ගීත ඇසීමට පුරුදු වී සිටි මාලිනී දැරිය සිය සිතේ චිත්තරූප මවා ගත්තේ සොඳුරු අයුරිනි. මහගමසේකරගේ ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ඇගේ සිතේ බෙහෙවින් ලැඟුම් ගත් ගීතයකි. ඈ ඒ අභාසය ලබමින් ගීත ලිවීමට උත්සාහ ගන්නේ ඒ ගීතයට තිබෙන ආසාව නිසාම ය.

“සිය පාසලට පැමිණෙන සංගීත ගුරුතුමා ඇගේ ජීවිතයේ නොමැකෙන අයුරින් ලැගුම් ගන්නවා”

“රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයටයි මා ගියේ. එහිදියි ටී.එම්.ව මට මුණ ගැසෙන්නේ. ඒ මුණ ගැසීම ජීවිත ගමනේ අවසන් මොහොත දක්වා තරම් දුරක් ගමන් කරයි කියලා අප දෙන්නාගෙන් කිසිවකුත් සිතුවේ නැහැ.”

එලෙස මුණ ගැසුණු දෙදෙනෙකුගේ සිතුවිලි එක්තැන් විණ. ඔවුහු එකම කැදැල්ලක ලැගුම් ගත් පසුව සිය ජීවන චාරිකාවේ ගමන ඇරැඹුහ.

“දුව හා පුතාගේ පැමිණීමත් සමඟ තව තවත් ජීවිතය අර්ථවත් වුණා”

“මුලින්ම දුව රවින්ද්‍රා රෝෂිනී ඉපදුණු පසුවයි අප අපේම නිවහනක් තනාගෙන මේ පැලවත්තේ කන්දේවත්ත පාරට පිවිසෙන්නේ. ඊට පසුව අපේ කැදැල්ලට ඉසුරු පුතාත් පිවිසෙනවා. සෙමෙන් සෙමෙන් අපේ ජීවිතය ගොඩනැඟෙනවා.”

ටී.එම්. ජයරත්න මාලිනී ජයරත්නගේ කතාබහ අතරට පිවිසෙමින් පවසන්නේ අතීතයේ දිනෙක සිදුවූ සිදුවීම් රැසක් සිහිපත් කරමිනි. මේ වනවිට දුව රවින්ද්‍රා ඉන්නේත් ඔවුනුත් සමඟමයි. ඇගේ පුතු පුලතිසි නිසා දෙන්නා දෙමහල්ලන්ට කිසිදු පාළුවක් නොදැනෙයි.

“සුපුරුදු විදියට නිවෙසේ කටයුතු සිදුවන්නේ ඔබගේ ම අතින්ද?”

“මම තරමක් අසනීපයෙන් සිටින නිසා වෙනදා වගේ ම උදෙන් ම අවදි වන්නේ නැහැ. දුව උදෙන්ම නැඟිටලා සූදානම් වී ඒ කටයුතු ආරම්භ කළාට පස්සෙයි අපි දෙදෙනා නැඟිටින්නේ. ඊට පසුව ඉතිං සුපුරදු විදියට නිවෙසේ අස්පස් කරන කටයුතු සිදුවන්නේ මගේ අතින්ම තමයි. අසනීපයෙන් සිටියත් නිකං ඉඳලා මට පුරුදු නැහැ. ඒ නිසා තවමත් නිවෙසේ කටයුතු කරන්නේ මමයි.”

සැමියා ටී.එම්. ජයරත්න ඔහුගේ කාර්ය සඳහා පිට වී යන්නේ මේ අතර ය. විශේෂ කාර්යයක් නොමැති වුවහොත් ඔහු නිවෙසට වී මාලිනී සමඟ කාලය ගත කරන්නේ දෙදෙනාට උදවු වෙමිනි.

“ඔබ තවමත් සංගීත පුහුණු වීම්වල නිරත වෙනවාද?”

“යම් ප්‍රසංගයක් ආසන්න වුණොත් හෝ මොකක් හෝ එවැනි නිර්මාණ කටයුත්තක් ආසන්න වුණොත් ඒ කටයුත්තට අදාළව ගීත පුහුණුවීම් කටයුතු කෙරෙනවා. නැතිනම් බොහොම විවේකීවයි කාලය ගත කරන්නේ.”

ගීත කොකිලයා ටී.එම්. ජයරත්න පවසන්නේ වර්තමානයේ ගෙවෙන සිය සංගීත දිවිය පිළිබඳ ය.

“මහත්තයා තවමත් තමන්ගේ කටහඬ පිළිබඳ සැලකිලිමත් වෙනවා. වැඩිය ශබ්ද නඟලා කතා කරන්නේ නැහැ. කන කෑම බිම වුණත් සෞම්‍ය කෑමබීමයි ගන්නේ. සැර ජාතියේ කෑම නම් කන්නේ නැහැ. ගමේ කෑමබීමයි නිතරම කෑමට ප්‍රිය කරන්නේ. රස කාරක දැමූ කෑම කිසිවක් ආහාරයට ගන්නේ නැහැ. විශේෂයෙන්ම එළවළු පමණයි ආහාරයට ගන්නේ.”

ඒ සිය සැමියාගේ ක්‍රියාකාරීත්වයයි. බොහොම සතුටෙන් සැදෑ කාලය ගෙවන ටී.එම් - මාලිනී යුවළගේ සොඳුරු දසුන අපගේ සිතට සිහිපත් කරන්නේ මේ ගීතයයි.

සොඳුරු අතීතයේ නිමල පැතුම වී

මගේ හද තුළ ඔබ ඉන්න ඇති

ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි

ආදරයෙන් හමුවෙන්න ඇති...