වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




රූපයට පණ දී පණ අහිමි කරගත් හැටි

රූපයට පණ දී පණ අහිමි කරගත් හැටි

ක්‍රියාදාම අතින් ඉහළ ස්ථානයක් ගන්නා xXx(2002) චිත්‍රපටය ජනප්‍රිය නළු වින් ඩීසල්ගේ සිනමා ජීවිතයේත් සුවිශේෂි ස්ථානයක් ලෙස සැලකෙනවා. නමුත් එහි ත්‍රාසජනක ක්‍රියාදාම ජවනිකා නම් ඉදිරිපත් කර තිබෙන්නේ ඔහු නොවන බවයි වාර්තා වෙන්නේ. ඩීසල් වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් වුණේ ක්‍රියාදාම නළු හැරී එල්. ඕකෝනර්. එහි සැන්ඩර් කේජ් හෙවත් ඩිසල් මෝටර් රථයක පැමිණ පාලමක් මතින් මෝටර් රථයද සමඟින් ගඟකට පනින දර්ශනය ඔබට අමතක නොවන්නට ඇත.

හොලිවුඩ් සිනමා තිරයේ නළු නිළියන් දක්වන පුදුම සහගත වීර වික්‍රමයන් අප කොතෙකුත් නම් දැක ඇත්ද? උස ගොඩනැඟිලි මත සිට බිමට පැනීම, අධික වේගයෙන් ධාවනය කෙරෙන මෝටර් රථවලින් එළියට පැනීම, අහසට නැගෙන ගුවන්යානා වෙතට පැනීම වැනි වූ බොහොමයක් වීරක්‍රියා රිදී තිරයේ පෙන්වීම වෙනුවෙන් පරිගණක සජීවකරණ තාක්ෂණයේ පිහිට පැතුවද බොහොමයක් අවස්ථාවල එම දර්ශන සත්‍ය ලෙසින්ම රූගත කරන්නත් ඇතැම් අධ්‍යක්ෂවරුන් පෙළඹෙනවා.

එහිදී එම සිනමා නිර්මාණයේ ප්‍රධාන නළු නිළියන් වෙනුවට ක්‍රියාදාම ප්‍රගුණ කළ වෙනත් ආදේශක රංගන ශිල්පීන් යොදා ගැනීම සාමාන්‍ය දෙයක්. කෙසේ නමුත් ඔවුන් සෑම විටම තම ජීවිතයේ අවධානය පසෙකින් තබා මෙම දර්ශන වෙනුවෙන් පෙනී සිටින බවත් අමතක නොකළ යුතුයි. මෙවැනි අවදානම් සහගත රූගත කිරීම්වලදී ආරක්ෂිත පියවර අනුගමනය කළ ද අනතුරු සිදුවන අවස්ථාද නැතුවාම නොවෙයි. අද මේ ලිපිය ඔබ ආසාවෙන් නැරඹු සිනමා නිර්මාණ බිහි කරන අතරතුර හොලිවුඩයේ සිදු වූ එවැනි ඛේදවාචක කිහිපයක් වෙනුවෙන් වෙන් වෙනවා.

බැට් මෑන් චිත්‍රපට මාලාවේ The Dark Knight චිත්‍රපටය ඔබ ඉතා ආසාවෙන් නැරඹු සිනමා නිර්මාණයක් වෙන්න ඇති. එම සිනමා නිර්මාණය සමඟින් ද මේ වැනි දරුණු අනතුරක් සනිටුහන් වූ වග නම් නොදන්නවා විය හැකියි. එහි එන බැට් මෑන්ගේ මෝටර් රථය හෙවත් බැට් මොබයිල් පුපුරවා හරින දර්ශනය රූගත කිරිමේදී තමයි එම අනතුර සිදු වී තිබෙන්නේ. කැමරා ශිල්පී කොන්වේ වික්ලිෆ් විසින් එම අවස්ථාව රූගත කිරීම සිදු කළේ තවත් මෝටර් රථයක ගමන් කරමින්. බැට්මොබයිල් පුපුරවා හරින අවස්ථාවේදී කොන්වේ ගමන් ගත් මෝටර් රථයේ රියදුරුට එය පාලනය කර ගත නොහැකිව අසළ තිබූ ගසක හැපී කැමරා ශිල්පී කොන්වේ සහ රියදුරු මරණයට පත් වුණා. ඒ නිසා The Dark Knight චිත්‍රපටය සමඟින් ඔවුන් දෙදෙනාට ප්‍රණාමය පුද කරන්නත් චිත්‍රපට නිර්මාණ කණ්ඩායම අමතක කළේ නැහැ.

The Return of the Musketeers චිත්‍රපටය තිරගත කෙරුණේ 1989 වසරේදීයි. එහි එන අසු පිට ගමන් කරන එක් රූගත කිරීමකදී අශ්වයා විසින් රෝයි කීනර් නම් රංගන ශිල්පියා බිමට ඇද දමනු ලැබුවා. එම අනතුර නිසා කීනර්ගේ උකුල් ප්‍රදේශයේ අස්ථි බරපතල ලෙසින් කැඩී ගියා. රෝහල් ගත කර දිනකට පසු ඔහු හෘදයාබාධයකින් මරණයට පත් වීම The Return of the Musketeers චිත්‍රපටය සමඟින් හොලිවුඩයට එක් වූ බරපතල ඛේදවාචකයක් බවට පත් වුණා පමණක් නොව එම සිදුවීම මෙම චිත්‍රපටයේ කටයුතු කළ බොහෝ දෙනෙකු කම්පනයට ද පත් කළා. එහි අධ්‍යක්ෂ රිචඩ් ලෙස්ටර් සිනමාවෙන් සමු ගත්තේ The Return of the Musketeers චිත්‍රපටය තම අවසන් වෘත්තාන්ත සිනමා නිර්මාණය ලෙස සටහන් තබමින්.

හොලිවුඩ් කැමරා ශිල්පී රොලන්ඩ් ශ්ලෝෂර් ගේ මරණයත් සමඟින් 2007 වසරේ තිරගත කෙරුණු The Final Season චිත්‍රපටය දරුණු ඛේදවාචකයක් සිදු වූ සිනමා නිර්මාණයක් බවට පත් වුණා. හෙලිකොප්ටරයක ගමන් ගනිමින් සිදු කළ රූගත කිරීමක් අතරතුර එය විදුලි රැහැන්වල පැටලීම නිසා බඩඉරිඟු වගාවකට ඇද වැටුණු අතර එම අනතුරින් රොලන්ඩ් ශ්ලෝෂර් මරණයට පත් වුණා. එම අවස්ථාවේදී ගුවන් නියමුවා සමඟින් කැමරා ශිල්පී ශ්ලෝෂර් සහ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාද එහි ගමන් ගනිමින් සිටියා. ගුවන් නියමුවා සහ නිෂ්පාදකවරයාට තුවාල සිදු වී තිබුණා. මෙම ගුවන් අනතුර වළක්වා ගත හැකි වූ එකක් බවට චෝදනා කරමින් ශ්ලෝෂර්ගේ බිරිය නඩු මඟට පිවිසි අතර ශ්ලෝෂර් වෙත ගෙවිය යුතු වූ මුදල් පවා ලබා ගැනීමට ඇයට නීතියේ පිහිට පතන්න සිදු වූ බවත් හොලිවුඩයෙන් වර්තා වෙනවා. එම නඩුවේ ජයග්‍රහණය ශ්ලෝෂර් බිරිය සතු වූ අතර එහි තීන්දුව වූයේ, මෙම ගුවන් අනතුර වළක්වාගත හැකි වූ එකක් බවත් ගුවන් නියමුවාගේ වරදින් ශ්ලෝෂර්ගේ මරණය සිදු වූ බවයි. විත්තිකාර පාර්ශවයට මේ වෙනුවෙන් ශ්ලෝෂර් බිරිය වෙත අමෙරිකානු ඩොලර් මිලියන හතකටත් වැඩි මුදලක් ගෙවීමට නියම කෙරුණා.

ක්‍රියාදාම අතින් ඉහළ ස්ථානයක් ගන්නා xXx(2002) චිත්‍රපටය ජනප්‍රිය නළු වින් ඩීසල්ගේ සිනමා ජීවිතයේත් සුවිශේෂි ස්ථානයක් ලෙස සැලකෙනවා. නමුත් එහි ත්‍රාසජනක ක්‍රියාදාම ජවනිකා නම් ඉදිරිපත් කර තිබෙන්නේ ඔහු නොවන බවයි වාර්තා වෙන්නේ. ඩීසල් වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් වුණේ ක්‍රියාදාම නළු හැරී එල්. ඕකෝනර්. එහි සැන්ඩර් කේජ් හෙවත් ඩිසල් මෝටර් රථයක පැමිණ පාලමක් මතින් මෝටර් රථයද සමඟින් ගඟකට පනින දර්ශනය ඔබට අමතක නොවන්නට ඇත. එම දර්ශනය රූගත කිරීමේදී එයට දායක වූ හැරී එල්. ඕකෝනර් මොටර් රථය සමඟින් පාලමෙන් පැනීමේදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම නිසා පාලමේ වැදී මරණයට පත් වුයේ, අවට සිටි සියල්ලන් කම්පනයට පත් කරමින්. මෙම දසුන කැමරා ශිල්පියාගේ කැමරාවේ සටහන් වුවද චිත්‍රපටයේදී නම් අපට එම අවස්ථාව දකින්නට ලැබෙන්නේ නැහැ.

හැරී පොටර් කියන්නේ ළමයින් වගේම වැඩිහිටිගේ පවා ආකර්ශනයට ලක් වූ සිනමා නිර්මාණ පෙළක්. අමෙරිකානු ඩොලර් මිලියන ගණනක ඉහළ ආදායම් ලබන්නටත් හැරී පොටර් චිත්‍රපට මාලාව සමත් වී තිබෙනවා. ඩැනියෙල් රැඩ්ක්ලිෆ් එහි හැරී පොටර් ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කළත් ඔහු වෙනුවෙන් ක්‍රියාදාම ජවනිකා වෙනුවෙන් පෙනී සිටියේ, ඩේවිඩ් හෝම්ස්. Harry Potter and the Deathly Hollows: Part 1 රූගත කරන විටදී සිදු වූ අනතුරකට ඩැනියෙල් වෙනුවෙන් මුහුණ දෙන්න සිදු වුණේ ඩේවිඩ්ට යි. එහිදී හැරී බිත්තියට තබා තල්ලු කරන දසුනක් රූගත කිරීමේදී වේගය වැඩි වීමෙන් ගෙල ආශ්‍රිත අස්ථි බිඳී ගොස් සුෂුම්නාවට හානි සිදු වී ඩේවිඩ් හෝම්ස්ගේ සිරුර අප්‍රාණික තත්ත්වයට පත් වී තිබෙනවා. හැරී පොටර් නිසා ඩැනියෙල් වෙනුවෙන් අවධානම ගත් ඩේවිඩ්හට අංශභාග රෝගියෙක් බවට පත් වෙන්න සිදු වුණා.

ඔස්ට්‍රේලියානු ජාතික ස්ටීව් අර්වින් රූපවාහිනි ඉදිරිපත් කරන්නෙක් ලෙසින් ගොඩක් ජනප්‍රිය යි. ඒ ජනප්‍රියත්වයට විශේෂ හේතුව වුණේ ඔහු සත්ත්ව ලෝලියෙක් සේම සත්ත්ව විද්‍යාවෙහි විශේෂඥයකු ද වන නිසයි. ඔහුගේ මව සහ පියා සත්ත්වෝද්‍යානයක හිමිකරුවන් වූ අතර සිටීව්ද සත්ත්වෝද්‍යාන හිමිකරුවෙක් වෙනවා. ඔහු විසින් ඉදිරිපත් කළ The Crocodile Hunter වැඩසටහන් මාලාව ලොව පුරා ඉහළ ජනප්‍රියත්වක් ලබන්නට සමත් වුණා. නමුත් ස්ටීව් ජිවිතයෙන් සමු ගත්තේ 2006 වසරේදී The Crocodile Hunter: Ocean’s Deadliest වාර්තා වැඩසටහන රූගත කිරීම් අතරතුරදීයි. ඒ මඩු මාළුවකු විසින් ස්ටීව්ගේ හදවතට කළ පහරදීමක් නිසා. සතුන් වෙත කෙතරම් ආදරය කළත් අවසානයේ ඔහුට සත්ත්වයකු විසින් කළ පහරදීමකින් ජිවිතයෙන් සමු ගන්න සිදු වුණා.