වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුපර් මෑන් මිය ගියාට පස්සේ

සුපර් මෑන් මිය ගියාට පස්සේ

මෙලෙසින් දිග හැරෙන අමෙරිකානු සුපිරි වීර කතා අතරට එක්වන නවතම චිත්‍රපටය  DC විශ්වයේ සුපිරි වීරයන්ගේ චරිත පහක් වටා ගෙතී ඇති Justice League චිත්‍රපටය යි . බැට් මෑන්, වොන්ඩර් වුමන්, ෆ්ලෑෂ්, ඇක්වාමන් සහ සයිබෝර්ග් ඇතුළත් මෙම චිත්‍රපටය DC විශ්වය ඇසුරෙන් නිර්මාණය වන පස් වැනි චිත්‍රපටය වෙනවා.

DC විශ්වයේ සුපිරි වීරයන් නැවතත් සිය වැඩ අරඹන්න සූදානම්. පසුගිය වසරේ Batman v Superman: Dawn of Justice  චිත්‍රපටයේදී බැට් මෑන් සහ සුපර් මෑන් අතර සටනින් සුපර් මෑන් මරණයට පත් වීම නිසා DC සුපිරි වීරයන්හට නැවතත් ලොකු වගකීමක් පැවරිලා. බැට් මෑන් අදහස් කරන්නේ, Justice League නමින් වීර කණ්ඩායමක් නිර්මාණය කිරීමටයි. බැට් මෑන් සහ වොන්ඩර් වුමන් මුල් වීමෙන් නිර්මාණ වන මේ වීර කණ්ඩායමට ෆ්ලෑෂ්, ඇක්වාමන් සහ සයිබෝර්ග් ඇතුළත් වෙනවා.

මිනිස් වර්ගයා වෙනුවෙන් වූ සුපර් මෑන්ගේ මරණය හේතුවෙන් ඔහුට ගෞරවයක් ද වශයෙන් නිර්මාණය කෙරෙන Justice League හමුවේ පවතින විශාලතම අභියෝගය වන්නේ, ස්ටෙෆන්වුල්ෆ් සහ ඔහුගේ පැරාඩිමන් හමුදාවෙන් පෘථිවිය බේරා ගැනීමයි.

මේ වසරේ නොවැම්බර් මාසය ආරම්භයත් සමඟින් මාර්වල් සිනමා රසිකයන් Thor : Ragnarok  චිත්‍රපටය සාදරයෙන් පිළි ගන්නා විටදී DC විශ්වයට ළෙංගතු සිනමා රසික රසිකාවන්ටත් සුබදායක පුවතක් ඇවිත්. මෙලෙසින් දිග හැරෙන අමෙරිකානු සුපිරි වීර කතා අතරට එක්වන නවතම චිත්‍රපටය DC විශ්වයේ සුපිරි වීරයන්ගේ චරිත පහක් වටා ගෙතී ඇති Justice League චිත්‍රපටය යි . බැට් මෑන්, වොන්ඩර් වුමන්, ෆ්ලෑෂ්, ඇක්වාමන් සහ සයිබෝර්ග් ඇතුළත් මෙම චිත්‍රපටය DC විශ්වය ඇසුරෙන් නිර්මාණය වන පස් වැනි චිත්‍රපටය වෙනවා. මෙහි ප්‍රධාන සතුරා වන්නේ කවුරුන්ද යන්න චිත්‍රපටය පිළිබඳ මුල් නිවේදනයත් සමඟින් මතු වූ ගැටළුවක්වී තිබුණා. මේ අනුව එම ස්ථානය ස්ටෙෆන් වුල්ෆ් හට හිමි වී තිබෙනවා. DC චිත්‍රකතාවල ඇතුළත් චරිත සමඟින් මෙලෙස චිත්‍රපට පෙළක් ආරම්භ කෙරුණේ, 2013 වසරේදී Man of Steel  චිත්‍රපටයෙන්. පසුව 2016 වසරේදී Batman v Superman: Dawn of Justice චිත්‍රපටය සහ Suicide Squad චිත්‍රපටයත් මේ වසරේ ජූනි මාසයේදී Wonder Woman චිත්‍රපටයත් තිරගත කෙරුණා.

Justice League චිත්‍රපටයෙන් පසුවත් ලබන 2018 වසරේදී Aquaman සහ 2019 වසරේදී Shazam චිත්‍රපට තිරගත කරන්න වෝනර් බ්‍රදර්ස් සමාගම කටයුතු කරමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි, 2019 වසරේදී නැවතත් Wonder Woman 2 තිරයට පැමිණෙන්නත් සූදානම්. DC විශ්වයේ අනෙකුත් චිත්‍රපට ලෙස Cyborg සහ Green Lantern Corps 2020 වසරේදී තිරගත කරන්න නියමිතයි.

Justice League  චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, Man of Steel,Watchmen,Batman v Superman: Dawn of Justice  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සැක් ස්නයිඩර් විසින්. මෙහිදී DC විශ්වයේ වීර චරිතවලට පණ දෙන්නේ, බෙන් ඇෆ්ලෙක්, ගාල් ගැඩොට්, හෙන්රි කැවිල්, ඇමී ඇඩම්ස්, එස්රා මිලර්, ජේසන් මොමෝවා, රේ ෆිෂර් ඇතුළු පිරිසක් විසින්. හෙට (නොවැම්බර් 17) සිට ලොව පුරා තිරගත කෙරෙන Justice League චිත්‍රපටය මිනිත්තු 120ක් පුරා රිදී තිරයේ දිග හැරේ.