වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




වෙනස නතර වූයේ පේ‍්‍රක්ෂකයන්ගේ අභාග්‍යයකටයි

වෙනස නතර වූයේ පේ‍්‍රක්ෂකයන්ගේ අභාග්‍යයකටයි

සම්පත් බණ්ඩාර

මං හිතන්නේ මං මටම අනන්‍ය වූ ශෛලියක් ගොඩ නගා ගත්තා. මිනිස්සුන්ට දැනෙන්න හදවතටම කතා කළා. එක අතකින් ඒක වාසනාව මත ලැබීමක් වෙන්නත් පුළුවන්. මට වඩා අති දක්ෂයෝ ගම්වල ඕන තරම් ඉන්නවා.

නිවේදකයකු ලෙසටමයි මම අයි. ටී. එන් හා සම්බන්ධ වන්නේ. මේ වෙලාවේ මට මතක් වෙනවා පළමු වැඩසටහන ඉදිරිපත් කළ අන්දම. ආධුනිකයකු වුණත් හොඳ සූදානමකින් මං ඒ අවස්ථාවට මුහුණ දුන්නා.

වෙනෙසෙ සම්පත් කිව්වාම තමයි ඔහුව ඔබ වඩාත් හඳුනන්නේ. හැබැයි දැන් වෙනස වැඩසටහන විකාශය වන්නේ නම් නැහැ. නමුත් සම්පත් බණ්ඩාර සුපුරුදු ලෙස තම වෘත්තීය කටයුතු කරගෙන යනවා. තම වගකීම් මැනවින් ඉටු කරන නිසා සම්පත්ට ඉකුත් දා සම්මානයක් පවා හිමි වුණා. මෙවර අපගේ නිවේදන නිවේදිකාවන් සොය යන චාරිකාවේදී නවතින්නේ සම්පත් ළඟයි.

සම්පත්, ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ආකාරය ගැන පළමුව මතක් කරමු?

මං ඉගෙන ගත්තේ කෑගල්ලේ ශාන්ත මරියා විදුහලේ. පාසල් වියේ සිටම පූරකයකු වශයෙන් මම ප්‍රසිද්ධයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත් වුණා. එහි අධ්‍යාපනය හදාරා අවසන් වූ පසු මට ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. එවකට පීඨාධිපතිව සිටිය මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයා තමයි අයි. ටී. එන්. එකට එන්න මඟ හසර විවර කරලා දුන්නේ.

ඔබ පළමුව ඉදිරිපත් කළ වැඩසටහන මොකක්ද?

එම වැඩසටහන තමයි සුව අසපුව.

නිවේදකයකු ලෙසටමයි මම අයි. ටී. එන් හා සම්බන්ධ වන්නේ. මේ වෙලාවේ මට මතක් වෙනවා පළමු වැඩසටහන ඉදිරිපත් කළ අන්දම. ආධුනිකයකු වුණත් හොඳ සූදානමකින් මං ඒ අවස්ථාවට මුහුණ දුන්නා. ඊට කලින් දවස තුනක් මට එවකට හිටිය පාලන අධිකාරියෙන් දවස් තුනක් මැදිරියට ගොස් වෙන්නේ මොනවද බලන්න කිව්වා. ඊට පසුව මට හදිසියේම කිව්වා පහුවෙනිදා ලයිව් එක තනියම කරන්න කියලා. ඔන් එයාර් වෙන කොට හදේ ගැස්ම වැඩි වුණා. කොහොම හරි මං එදින අභියෝගය ජය ගත්තා.

දිගින් දිගටම ඔබට වැඩසටහන් නිවේදනය කිරීමට ලැබුණ හේතු වාසනාව කුමක්ද?

මං හිතන්නේ මං මටම අනන්‍ය වූ ශෛලියක් ගොඩ නගා ගත්තා. මිනිස්සුන්ට දැනෙන්න හදවතටම කතා කළා. එක අතකින් ඒක වාසනාව මත ලැබීමක් වෙන්නත් පුළුවන්. මට වඩා අති දක්ෂයෝ ගම්වල ඕන තරම් ඉන්නවා. නමුත් ඉදිරියට එන්නේ නැහැ. මොකක්දෝ වාසනාවකට මං ඉදිරියට ආවා.

ඔබ වඩාත් ජනප්‍රිය වුණේ වෙනස හරහා යැයි මා පැවසුවහොත් එය නිවැරැදිද?

හරියටම හරි. වෙනස ආරම්භක නිවේදකයෙක් නෙවෙයි මම. වැඩසටහන් දෙකකින් හෝ තුනකින් පස්සෙයි මට එයට සම්බන්ධ වෙන්න ලැබුණේ. 2010 දියි වෙනස ආරම්භ වුණේ. නවත්වනකම් වෙනස වැඩසටහන් තුන්සියයක් පමණ විකාශය වුණා. මට වෙනස හරහා බොහෝ පිරිසක් මුණ ගැහුණා. රට වටා යන්න පුළුවන් වුණා. ඇත්තෙන්ම කිව්වොත් වෙනසක් කළ නිසා වෙනස අතිශය ජනප්‍රිය වුණා. ඒ හින්දා මමත් මිනිසුන් අතරට ගියා.

ඇයි වෙනස හදිසියේම නවතා දැමුවේ?

ඒකට මට දෙන්න පුළුවන් පිළිතුර මෙන්න මේකයි. වෙනස නරඹපු ප්‍රේක්ෂකයන්ගේ අවාසනාවටයි වෙනස නතර වුණේ.

ඔබට ලැබුණු සම්මානය දෙසට අප හැරෙමු?

මට ලැබුණු සම්මානය තමයි මෙම වසරේ මාස්කෝ මාධ්‍ය සූරි රන් සම්මානය. එය ලබා දුන්නේ ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය මඟින්. නිවේදකයකු වශයෙන් අපට ඉදිරිපත් කරන්න තිබෙන වැඩ සටහන් විවිධාකාරයි. එම විවිධාකාරය හඳුනාගෙන ඒ ඒ වැඩසටහන් එයට වඩාත් උචිත පරිදි ඉදිරිපත් කිරීම හේතුවෙනුයි මට එම සම්මානය ලැබුණේ.

ඔබ සිතන පරිදි නිවේදකයකු සතු ගති ලක්ෂණ මොනවාද?

නිවේදකයෙකු පේ‍්‍රක්ෂකයාගේ හදවතටම දැනෙන්න කතා කළ යුතුයි. පුංචි තිරය නරඹන්නාගේ ඇස් දෙක දිහා බලාගෙනයි අප අමතන්නේ. ඔවුන්ගේ ආකර්ෂණය ලබමින් නිවේදකයා තම කාර්යය ඉටු කරන්නට ඕනෑ. එතකොටයි එම නිවේදකයාගේ හෝ නිවේදකයා සාර්ථක වන්නේ.

කොතරම් විවිධ අංශ යටතේ වැඩසටහන් මෙහෙය වුවත් ඔබ ප්‍රවෘත්ති කියලා නැහැ.

ඉස්සර නිරෝෂන් ප්‍රේමරත්න ප්‍රවෘත්ති කියන කාලේ අනන්තවත් මට කතා කරලා ඇති වරෙන් මචං අපි ප්‍රවෘත්ති කියමු කියලා. මං ඉතින් අද එන්නම් හෙට එන්නම් කිය කිය හිටියා මිසක් ගියේ නම් නැහැ. ප්‍රවෘත්ති කියන්න ආසාවක් නොතිබීම එයට හේතුව වන්නට පුළුවන්.

ඔබ මේ වන විට වැඩසටහන් නිෂ්පාදකවරයකු බවටත් පත් වෙලා තියෙනවා?

ඔව්. අඳුරෙන් එළියට වැඩසටහන මගේ නිෂ්පාදනයක්. ඒ වගේම මම මගේම වීඩියෝ නිෂ්පාදන ආයතනයකුත් පවත්වාගෙන යනවා. ඒකේ නම විෂ්ක්‍රියෙෂන්.

ඔබේ පවුලේ විස්තරත් සඳහන් කළොත්?

මගේ බිරිය සේනා. මට දුවෙක් ඉන්නවා. ඇය විශ්කල්‍යා බණ්ඩාර. අපි තුන් දෙනා බොහොම සතුටින් සමාදානෙන් ජීවත් වෙනවා.