වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




අසරණ වුණු දරු පවුලට පිය පුතු දෙදෙනාගෙන් ඉඩමක්

අසරණ වුණු දරු පවුලට පිය පුතු දෙදෙනාගෙන් ඉඩමක්

“මම මුලින් ම මේ ප්‍රවෘත්තිය විකාශය වුණු දෙරණ රූපවාහිනියට කතා කළා. එහිදි මේ පවුල ගැන වැඩි විස්තර දැන ගත්තා. ඊට පස්සේ ඔවුන්ට මා පැවසුවේ ඒ පවුලට ඉඩම් කොටසක් ලබාදීමට අප කැමැති බවයි.”

පසුගිය 20 වැනිදාත් සුපුරුදු ලෙස දෙරණ රූපවාහිනි නාලිකාවේ රාත්‍රි 6.55ට ප්‍රවෘත්ති විකාශය ආරම්භ විය. සිරස්තල ප්‍රකාශය විණි. එකින්එක ප්‍රවෘත්තිය විකාශය වෙද්දී එක් අවස්ථාවක එහි උන් ප්‍රවෘත්ති නිවේදකයා පැවසූ ප්‍රවෘත්තියෙන් සියල්ලන්ගේ ම මුවඟින් පැවසුණේ ‘අනේ අපොයි’ යන වදනයි.

“අනවසර පදිංචිව සිටි නිවෙසක් බුල්ඩෝසර් කිරීම නිසා සිදුවී තිබුණේ විපතකි. මව්පියන් රැකියාවට ගොස් සිටි අවස්ථාවේ ගෙය සම්පූර්ණයෙන් ම බුල්ඩෝසර් කිරීම නිසා එහි සිටි කුඩා දරු තිදෙනෙකුට යන්නට එන්නට මං නොවිණි. එහි සෝචනීය පුවත් වන්නේ එදින වසින ලද වැස්සෙන් මේ දරු තිදෙනාට තෙමෙන්නට වීමයි.....”

මේ ප්‍රවෘත්තිවලට සවන්දී සිටියේ නුවර කටුගස්තොට නිවෙසේ සිටි දෙදෙනෙකි. එක් අයකු විශ්ව කොඩිකාර ය. අනෙක් කෙනා පද්මසිරි කොඩිකාර ය. මේ පුවතට ඇහුම්කන්දුන් ඔවුන් දෙදෙනාගේ හදවත්වලටද දැනුණේ ශෝකයකි. එහෙත් වැස්සට තෙමි තෙමී උන් දරුවන් තිදෙනා වෙනුවෙන් සිය සිතේ උපන් ශෝකය සිතුවිල්ලක් බවට පත් කිරීමට පමණක් ඔවුන් දෙදෙනා ඉඩ නොදුන්හ. ඒ පුවත ඇසූ සැණින් පිය පුතු දෙදෙනා සිය සිත්වල නැඟි අදහස දෙදෙනා ඉදිරිපස ම කියා පෑමට තරම් උත්සුක වූහ.

“තාත්තේ අපි මේ ළමයින්ට ඉඩම් කෑල්ලක් දෙමු. පව් දැක්කනේ ඒ මිනිස්සුන්ගේ අසරණකම”

ජනප්‍රිය රංගන ශිල්පියකු ලෙස නමක් දිනාගෙන සිටින විශ්ව කොඩිකාර එසේ පවසමින් සිය පියාගේ මුහුණ බැලුවේ ඔහුගේ ප්‍රතිචාරය කුමක්දැයි දැනගනු පිණිස ය. හාන්සි පුටුවට බරදී ඒ සිදුවීමෙන් කම්පාවට පත්වී සිටි පද්මසිරි කොඩිකාරගේ සිතේද ඇති වෙමින් තිබුණේ සිය පුතු යෝජනා කරන ලද යෝජනාවම ය.

“මමත් මේ හිතුවේ ඒකම තමයි පුතේ. අනෙක් එක ඒ අය සිටින ආසන්නයේ ම නේ අපේ ඉඩම් පිහිටලා තිබෙන්නෙත්.”

ඔහු පුතුගේ කතාවට තවත් අනුපාන එකතු කළේ එය සිදුවිය යුතු දෙයක් ලෙස සලකාගෙන ය. ඒ අදහස්වල එකඟත්වයට පැමිණි පසුව පිය පුතු දෙපළ තීරණයකට පිවිසුණහ. ඒ තෙල්දෙණියේ පිහිටි සිය ඉඩමෙන් පර්චස් දහයක පමණ ඉඩම් ප්‍රමාණයක් මේ කුඩා පවුලට ලබාදෙන්නට ය.

“මම මුලින් ම මේ ප්‍රවෘත්තිය විකාශය වුණු දෙරණ රූපවාහිනියට කතා කළා. එහිදි මේ පවුල ගැන වැඩි විස්තර දැන ගත්තා. ඊට පස්සේ ඔවුන්ට මා පැවසුවේ ඒ පවුලට ඉඩම් කොටසක් ලබාදීමට අප කැමැති බවයි.”

පද්මසිරි කොඩිකාර පැවසුවේ ඔවුන් දෙදෙනාගේ සිත් රැඳී අදහස ක්‍රියාවට නැඟීමට මුල පුරමිනි.

මේ පවුලේ පස්දෙනා සිය නිවෙසෙ කඩා දැමූ පසුව ජීවත් වූයේ ඒ ආසන්නයේ ම තිබෙන කුඩා වෑන් රථයක පසුපස ය. පිරිමි ළමුන් තිදෙනෙකුගෙන් යුත් ඒ පවුලේ පියා රැකියාව කළේ ගල්වලක ය. මව කුමන හෝ සුළු රැකියාවක නිරත වූවා ය. එලෙස ඔවුන් එදාවේල සොයා ගනිමින් ජීවිකාව ගෙවූ ජීවිතයට එක්වූයේ තවත් බරකි. ඒ ඉන්නට සිටින්නට තාවකාලිකව හෝ අටවා ගත් නිවෙසෙත් ඔවුන්ට නොමැතිවීම ය. මේ නිසා ඔවුන් වැටුණේ කබලෙන් ලිපට ය. එලෙස කබලෙන් ලිපට වැටුණු ඔවුන්ට පිහිට වීමට විශ්ව කොඩිකාරත්, පද්මසිරි කොඩිකාරත් ඉදිරිපත් වූයේ මේ අතර ය.

“මොකද ඒ පවුල සිටි ප්‍රදේශයේමයි අපේ ඉඩම පිහිටලා තිබුණේ. ඒ අනුව ක්‍රියාත්මක වී පසුගිය දිනෙක අප ඒ ඉඩම් කොටස ඔවුන් වෙත පෙන්වා දුන්නා. ඒ අවස්ථාවේදී ඒ පවුලට නිවෙසක් සාදා දීම සඳහා කෙනෙකුත් ඉදිරිපත් වී සිටියා. ඒ විදියටයි මේ පරිත්‍යාගය සිදුවුණේ. මේ ඉඩම් කොටස විදුලිය, ජලය, යෑමට පහසුකම් සහිත පාරකින්ද යුතුයි. ළමයින්ව පාසලට යවනවා නම් ඒ අසල පාසලකුත් පිහිටා තිබෙන නිසා ඒ ප්‍රශ්නයත් විසඳෙනවා. මුල් කාලයේ මා වුණත් පාසල් ගියේ ඒ පාසලටයි.”

විශ්ව කොඩිකාර පවසන්නේ සිය අතීතයද සිහියට නඟමිනි.

මේ ඉඩම පිහිටා තිබෙන්නේ තෙල්දෙණිය ආසනයේ ගොඩමුන්න ග්‍රාමයේ නිල්ගල වතුයායේ ය. නිල්ගල වතුයාය අයිතිව ඇත්තේ චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාරට ය. කලාකරුවකු ලෙස කලා ක්ෂේත්‍රයේ නිර්මාණ කටයුතුවල යෙදෙන ඔහු මේ නිල්ගල වතුයායට අයත් ඉඩම මිලට ගන්නේ සිය කලා කටයුතුවලදි ලත් මුදල්වලිනි.

“93 වසරේ තිරගත කළ ‘සූරයන් අතර වීරයා’ කියන චිත්‍රපටය සඳහා ලැබුණු ආදායමෙනුයි මා මේ ඉඩම මිලදී ගන්නේ. අක්කර හැත්තෑ දෙකක් පමණ ඉඩම් ප්‍රමාණයකින් යුත් මේ වතුයාය පසුපස තිබෙන්නේ වෙන කිසිවක් නොවෙයි. මගේ කලා ක්ෂේත්‍රයෙන් මා හම්බ කරන ලද මුදල්වල මහන්සියයි.”

මේ ඉඩමේ ම තවත් ඉඩම් කොටස් හතක් පවුල් කිහිපයකගේ පදිංචිය සඳහා වෙන් කරන ලද්දේ විශ්වගේ උපන්දිනයකදී ය. එමෙන්ම එදිනම ඒ ගමේ පන්සලට තවත් අක්කර දෙකක බිම් ප්‍රමාණයක් පිරි නමන ලද්දේ පන්සල ගොඩනැඟීම සඳහායි.

“ඊට පසු වසරකදී භාවනා මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට දළදා මාලිගාවේ නාථ දේවාලය පන්සලට අක්කරයක සුන්දර බිම් ප්‍රදේශයක් පූජා කළා.”

ඔවුන් ඒ සිහිපත් කළේ මීට පෙරත් කළ පරිත්‍යාග කිහිපයකි.

කෙසේ වුවද ඉඩම ලැබුණු ඒ පවුලේ මූලිකයා පද්මසිරි කොඩිකාරට නිතර කතා කිරීම පුරුද්දකි. ඒ කතා කරන සෑම වෙලාවකම පින්දීමත් ඔහුගේ සිරිතක්ව පැවතිණි.

“අපට කතා කරන සෑම වතාවකම ඔහු පින් දෙන්නේ කිසිම දවසක සැබෑ නොකර ගත හැකි වූ සිහිනයක් සැබෑ කරදීම සම්බන්ධයෙන්. ඔවුන්ට අප කළ මේ පරිත්‍යාගය හා සමානවම නිවෙසක් තනාදීමට උදවු කිරීමට එක්වූයේ මාතර ප්‍රදේශයේ වෙසෙන තරුණ ව්‍යාපාරිකයෙක්. තරුණයකුගේ සිතක මෙවැනි හොඳ කාර්යයකට මුල පිරීමට අදහසක් ඇතිවීම පිළිබඳ මගේ සිතේ තිබෙන්නේ සතුටක්. වර්තමානය වනවිට තමන්ගේ සාක්කුව දෙස බලමින් මුදල් තරකර ගැනීමට සිතන සමාජයක මෙවැනි සත්කාර්යයකට සහය දෙන අය පිළිබඳ මාධ්‍යවලින් ප්‍රචාරය කිරීම වැදගත් කටයුත්තක් ලෙසයි මා සලකන්නේ. එවිට තවත් බොහෝදෙනාව මෙවැනි කටයුතු සඳහා පෙලඹවීමක් ඇති කළ හැකිවේවි යැයි යන විශ්වාසය මට තිබෙනවා.”

පද්මසිරි කොඩිකාරත්, විශ්වත් පවසන්නේ මෙලෙස ඔවුන් දෙදෙනා හා පවුලේ සියල්ලන් ම එකතු වී ඔවුන්ට කළ හැකි පමණින් අන්‍යන්ට උදව් කරමින් ජීවත්වීමට සිය ජීවිත කාලය කැප කිරීමට සූදානම් බව ය. ඒ අතර පද්මසිරි කොඩිකාර සිය කලා කටයුතුවලද යෙදීමට අමතක නොකරන කලා ශිල්පියෙකි.

“මගේ හිතවත් මිත්‍රයා වන එච්. ආර්. ජෝතිපාලයන්ගේ ජීවිත කතාව 2007 වසරේදියි චිත්‍රපටයට නඟා අවසන් කළේ. ඒ අතර සිනමාව සම්බන්ධ කටයුතුවලට සහය දීමට යෑම නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීමට මට නොහැකි වුණා. මේ වනවිට යළිත් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර නැවත රූපගත කිරීම් කළ යුතුයි කියන මතයේයි මා සිටින්නේ. මගේ එකම බලාපොරොත්තුව මේ චිත්‍රපටය තිරගත කිරීමයි. ඒ කාලයේ ජෝතිපාලයන්ගේ අදහස වුණෙත් ඔහුගේ ජීවිත කතාව චිත්‍රපටයකට කිරීමයි. ඒ අදහස ඉෂ්ට කිරීමටයි මා උත්සාහ ගන්නේ.”

නිෂ්පාදක පද්මසිරි කොඩිකාර මෙලෙස සිය කලා කටයුතු කරගෙන යද්දී ඔහුගේ පුතු විශ්වද කලාවේ නියැළෙන ගමන් මෙවැනි සත්කාර්යයන්වලට සිය කාලය කැප කරන්නේ බොහොම කැමැත්තෙනි.

“අප නිතරම උත්සාහ කළ යුත්තේ හැකි සෑමවෙලාවක ම අනෙක් අයට උදවු කිරීමටයි. ඒ අපූරු කාර්යය අම්මා හා තාත්තා මටත්, මගේ අක්කාටත් හුරු කළේ කුඩා කාලයේ පටන්මයි. ඒ අභාසය අපට ලැබෙන්නේ ඔවුන් දෙදෙනාගෙන්. ඒ පුරුදු පුහුණු කළ දේවල් ඉදිරියටත් කරගෙන යන්නයි අප දෙදෙනාම අදහස් කරගෙන සිටින්නේ. මේ සියලු කටයුතු මා කරගෙන යන්නේ මගේ නිර්මාණවල නියැළෙන ගමන්මයි. මේ දිනවල මා රඟපාන ‘කාල’ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා. එය නරඹන්න යැයි මා සිනමා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. ඊට අමතරව තවත් චිත්‍රපටයක රඟපෑමට භාර ගත්තා. ඒ ගැන මා පසුව කියන්නම්. ටෙලි නාට්‍ය දෙකක රඟපෑම් කටයුතු ආරම්භ කළා. තවත් ටෙලි නාට්‍ය දෙකක රඟපෑම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ වගේ ම ‘පැහැසරා’ ටෙලි නාට්‍යයෙන් යළිත් රූපවාහිනි නරඹන්නන් හමුවට පිවිසීමටත් මා සූදානම්. සියත රූපවාහිනි සේවයේ විකාශය වන මහේන්ද්‍ර කුලසිංහගේ ‘ආදරවන්තියෝ’ ටෙලි නාට්‍යයෙත් මගේ රංගනය ඔබට දැක ගත හැකියි.”

ඒ වගේ ම පසුගිය දිනවල කොළොම්පුරවරයෙන් විශ්ව ඉඩමක් ද මිලදී ගත්තේ ය. අපට පෙනෙන්නේ සිය කටයුතුවලට පහසු නිසා, එහි නිවෙසක් නිර්මාණය කර පදිංචි වීම සදහා ඔහු සැරැසෙන බවකි.

“මගේ පදිංචිය නුවරමයි. මට නිවාඩුවක් ලැබෙන සෑම මොහොතක ම මගේ අම්මා, තාත්තා, සහෝදරිය, නෑදෑයන් සමඟ ගත කිරීමටයි වුවමනා වී සිටින්නේ. ඒ නිසා ඉඩ ලද සෑම විටෙකම මගේ ගම සොයාගෙනයි මා පිවිසෙන්නේ.”

ගමට සැමදා ආදරය කරන විශ්වගේ මේ සියලු කටයුතු කරගෙන යෑමට සහය වන්නී ඔහුගේ අදාරබර බිරියයි.

“ඒ ගැන අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුයි. මේ සමාජ සේවා කටයුතුවලට හැකි උපරිම සහයෝගය එරන්දිගෙන් ලැබෙනවා. මගේ රූගත කිරීම්වල පටන් සියලුම දේවල් කෙරෙන්නේ ඇගේ අත්දෙකෙන්. ඒ කටයුතුවලට අමතරව දියණිය හා පුතා බලා ගන්නේත් ඇයමයි.”

දියණිය කාවින්ද්‍යා ගංගාධරී කොඩිකාර ය. පුතා උනෙත් දනාල් කොඩිකාර ය. විශ්වත්, එරන්දිත් කුඩා කාලයේ දඟ කළා සේම කාවින්ද්‍යා හා උනෙත් දඟ පැටවුන් දෙදෙනකි. ඔවුන්ගේ සුරතල් විඳීමින් විශ්ව හා පද්මසිරි කොඩිකාර ජීවිතය ගෙවන්නේ බොහෝ සතුටිනි.