වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

පුෂ්පරාණි සමරමු ගුවන්විදුලියේත්, සිනමාවේත්, 'අංජලී', 'නළඟන', 'සුහද සොහොයුරෝ', 'වනමල', 'ලේ කඳුළු' චිත්‍රපටවල ඔබ ගැයූ ගී අදටත් සෙවන් මන්මත් කරයි. ඔබ සදා අමරණීය යි.

රත්නසිරි අමරසේකර
ගඟුල
පානදුර


සිංහලකම අමතක නොකළ භද්‍රජි

"හන්තාන කඳුපෙළ", "උගතුන් මැද" වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ පාඨකයන් අතර ජනප්‍රිය ග්‍රන්ථ රැසක් තිළිණ කළ ප්‍රවීණ මාධ්‍යවේදි ගත් කතුවර භද්‍රජි මහින්ද ජයතිලක සිංහල සංස්කෘතිය කිසිදා අමතක නොකළ විද්වතෙකි. ඉදිරියේදී තවත් වටිනා කෘති සමඟින් අප හමුවන්නට සුභාශිංසන.

චන්ද්‍රකාන්ති පියතුංග
කැළණිය


එන්න එකම වේදිකාවට

භාරතයේ ලතා - ආශා - ඌෂා සේ එක් කුස නූපන්නා වුවද අපේ මේ පුංචි දිවයිනේ ලතා - සුජාතා - ඇන්ජි යනු අපට රිදී සිනූ තුනකි. දශක හයක් පුරා දෙස් විදෙස් රසික රසිකාවන් පිනවූ ඔබ තිදෙනාට එකම වේදිකාවක ත්‍රිපුද්ගල ප්‍රසංගයක් පවත්වා රිදී සීනු හඬ නංවා රසික සිත් පිනවන්න ආරාධනා. ඔබ තිදෙනාට නිදුක් නිරෝගි සුව පතමි.

ප්‍රියංකා කුමාරි
රත්තොට
මාතලේ


කලා ලොවේ සුවිශේෂ උරේෂා

උරේෂා රවිහාරි ඔබ සිංහල සංගීත ක්ෂේත්‍රයට පැමිණ ගැයූ ගී අප හදවත් තුළ ඉතාමත් සුන්දර ලෙසින් තැන්පත් වී ඇත. ඔබේ ගායනා ශෛලිය නිසා අද කලාවේ ඔබටම විශේෂ තැනක් හිමි වී ඇත. ඔබේ දක්ෂතාව නිසා ජනප්‍රියත්වයද ඉහළටම වර්ධනය වී ඇත. ඉදිරියටත් ඔබේ හඬ රැව් පිළි රැව් දේවායි පතමි.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජා-ඇල


අහෝ! සිංහල සිනමාව

මෑතක සිට නිර්මාණය කෙරෙන බෙහොමයක් චිත්‍රපටවල කතාංගයට උචිත නමක් නැත. නමට ගැලපෙන චරිතාංගවලින් යුතු කතාවක්ද නැත. අහෝ සිංහල සිනමාව.

සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ


මුතුකුඩ මැණිකේ

සතියේ දිනවල දෙරණ නාලිකාවෙන් විකාශය කෙරෙන මුතුකුඩ ටෙලි නාට්‍ය ජනතාව අතර මතකයේ රැඳෙන ටෙලි නාට්‍යයක් බවට පත් වී ඇත. අධ්‍යක්ෂ ටිකිරි රත්නායකටත් ප්‍රධාන භූමිකාවට පණ පොවන මුතුකුඩ මැණිකේ තිළිණි පෙරේරාටත් අපේ ප්‍රතිචාර පුද කරමු.

චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය


ප්‍රේම දඩයම යන්නේ කොයිබටද

වෛරය, ක්‍රෝධය, පළිගැනීම, ඊර්ෂ්‍යාව වැනි අමානුෂික ගුණාංගවලින් හෙබි ප්‍රේම දඩයම යන්නේ කොයිබටද? පිහි ඇණුම්, මිනි මැරුම්, අද්භූත සිදුවීම් වලින් පෝෂණය වූ මෙවැනි නිර්මාණ වලින් පෙන්වන හරය කුමක්ද? සත්තු වත්තක් සේ ඉදිරියට ගලා ආ මෙවැනි ටෙලි නිර්මාණ නරඹන්නන් නොඉවසිල්ලෙන් නරඹන්නේ ඇයි දැයි ගැටළුවකි. මේ සමඟින් අපේ දේශීය ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයට අත්වන ඉරණම කුමක්ද?

එස්. ඒ ප්‍රේමලතා
රුක්ගහතොටුපොල
බණ්ඩාරගම


සෝමදාස ඇල්විටිගල නාමය

චිත්‍රපට වේදිකා නාට්‍ය ගුවන්විදුලිය ඇතුළු මාධ්‍ය වෙනුවෙන් සෝමාදාස ඇල්විටිගල සංගීතඥයන් වෙතින් සිදු වූ සේවය අතිවිශාලය. 'කදා වළලු', 'මැටි කරත්තය', 'ජනේලය', 'සත්සමුදුර', 'වෙස් ගත්තෝ', 'වැලිකතර', 'සිහින ලොවක්' ඇතුළුව නිර්මාණ රැසකට ඔහු කළ සංගීත නිර්මාණයන්ගේ වටිනාකම මෙතෙකැයි කිව නොහැක. එතුමන්ගේ සුමියුරු සංගීත නිර්මාණ සදාකල් සංගීත ලොව වැජඹේවා.

ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව


විමල් කුමාරද කොස්තා සමරමු

අභිරූපණ රංග කලාවේ ප්‍රවීණයකු මෙන්ම මෙරට අපට එය හඳුන්වා දුන් පුරෝගාමි කලාකරුවා වන්නේ ද විමල් කුමාරද කොස්තා ය. විකට මෙන්ම විවිධ චරිත නිරූපණයට දක්ෂයකු බව රඟ පෑ චිත්‍රපට ටෙලි නාට්‍ය හා වෙළෙඳ දැන්වීම් සාක්ෂි දරයි. තරුණ අවධියේ 'අහස් ගව්ව', 'බඹරු ඇවිත්', 'එයා දැන් ලොකු ළමයෙක්', 'සරුංගලය' වැනි නිර්මාණවල ද කළ රඟපෑම් අපේ මතකයේ රැඳී ඇත. 2016 වසරේ නොවැම්බර් මස 20 වැනිදා සමුගත් මේ ආදරණීය කලාකරුවා ආදරයෙන් සමරමු.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව


ආදර්ශවත් සුවඳ පද්ම

සුවඳ පද්ම සම්මාන උලෙළ තුළින් ඉදිරි පරම්පරාව සහ තරුණ පරම්පරාවට ආදර්ශයක් දී ගුණධර්ම සාරධර්ම යහපත් සිතුවිලි ආකල්ප පුරුදු පුහුණු කිරීමේ අවබෝධය ලබාදීම සද්ක්‍රියාවකි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ කලාකරුවාණෙනි, මෙවැනි යහපත් දේ කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි පතමු.

ඉඹුල්ගොඩ අබේසිංහ
ශ්‍රියාණි ජයසිංහ
අලව්ව


පෙර මඟ සලකුණු

'කූඹියෝ' මෑත කාලයේ අප නරඹමින් සිටින විශිෂ්ට ටෙලි නිර්මාණයකි. එහි තුමිඳු දොඩන්තැන්න සේම කළණ ගුණසේකර රංගනය නරඹන්නන්ට නවමු හැඟීම් ඇති කරයි. අනාගත නාට්‍ය කලාවට දක්ෂ රංගන ශිල්පියෙක් බිහිවන පෙර මඟ සලකුණු පෙනේ. 'කූඹියෝ' තුළ කලණගේ ඇවිද යාමද කලාත්මක ලෙස දිස් වේ.

සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව


ඉසුරු ඔබේ ගමන සුබයි

ඒකාකාරි චරිතවලට කොටු නොවී විවිධ වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් වෙත ළං වූ රංගන ශිල්පියකු ලෙසින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි විශේෂ වේ. ඔබගේ දක්ෂතා ගැන ආඩම්බරයෙන් කතාකළ හැකිය. ඔබගේ අනාගතය සුබදායක බව පැහැදිලිය. නිවැරදි මග ඔබ හඳුනාගෙන ඇත.

කල්‍යාණ ජයනෙත්ති
මැටරඹ
උණවටුන


නැවතත් සිනමාවට එන්න

ශේෂාද්‍රි ප්‍රියසාද් ඔබ දැන් සිනමා නිර්මාණවලට දායක නොවීම කනගාටුදායක පුවතකි. ඔබ ව්‍යාපාරික කටයුත්තකට සම්බන්ධ වී ඇති බව දැන ගන්නට ලැබුණා. ඉදිරියේදී අලුත් සිනමා නිර්මාණයකින් දකින්න ආසයි.

බී. පී. ගම්මුදලි
මාලිගාතැන්න
කඩුගන්නාව


බුවනිට සුබ පැතුම්

ආදරණීය බුවනි දියලගොඩ ඔබ යොවුන් නිළියක ලෙසින් දක්වන දස්කම් ඉතාම ප්‍රබලයි. ඔබේ සොයුරිය වත්සලාගේ අඩි පාරේ යමින් නිවේදන කටයුතු ද උසස් අන්දමින් ඉටු කිරීම සතුටුදායකය. ඔබට ඉතා හොඳ අනාගතයක් ඇති බව කිව යුතුය.

ක්ලෝඩ් ද ලිවේරා
නාලිනී ද ලිවේරා
මීගමුව


මියුරු ගී සමඟින් එන්න

අති දක්ෂ ගායන ශිල්පිනියක වන නිරංජලා සරෝජනී ගායන ක්ෂේත්‍රයෙන් දුරස්ව සිටීම විශාල පාඩුවකි. ඇය මේ දක්වා ගයා ඇති ගීත ඉතාම මියුරුය.

නිමල් කුලසේකර
අඟුලාන පාර
මොරටුව


ළෙංගතු මිනිසා

දශක පහකට ආසන්න කාලයක් පුරාවට අපේ සිනමාව වෙනුවෙන් කැප වූ පංච මහා නළුවන් අතුරින් කෙනෙකු වූ රවීන්ද්‍ර රන්දෙණිය සොඳුරු ළෙංගතු මිනිසෙකි. ඔහුගේ රංගන දිවියේ විශිෂ්ටතම රංගනය ලෙස මා දකින්නේ 'දඩයම' චිත්‍රපටයේ ජයනාත් ලෙසින් කළ රංගනය යි.

අනුර දේවරාජ
ගලිගමුව


රැල්ලට හසු නොවූ දේශීයත්වය

සුනිල් එදිරිසිංහයන් හෙළ ගීත ක්ෂේත්‍රය තුළ එදා මෙදාතුර බිහි වූ කිසිදු රැල්ලකට හසු නොවී තමන්ටම ආවේණික වූ ශෛලියකින් දේශීය සංගීතයට අපමණ මෙහෙවරක් කළ ගායන ශිල්පියෙකි. අර්ථවත් වූ ගී පෙළහරක යෙදෙමින් සම්මානනීය චිත්‍රපට ගායකයකු ලෙසින් ඉටු කරන්නා වූ මෙහෙවර නිරතුරුව ජනතා ඇගයුමට ලක් වන්නේය. ඔබට හදපිරි සුබ පැතුම්.

සරත් ලියනගේ
රන්මුතුගල
කඩවත


හෙළ ගීත කෝකිලාවිය ලතා වල්පොල වෙත

ගුවන් තලයේ නිරන්තරයෙන් ඔබේ ගී හඬ ඇසේවා
සිතේ දුක දුරව යේවා මුවඟ සිනහව රැඳේවා
කැළණි බෝ සමිඳු සරණින් නිරෝගී බව ලැබේවා
අසූ හතකරන් සපිරෙනා අද ඔබට මල්වැසි වසීවා

සුවහසක් දරු නැළ වුණා ඔබ ගැයූ නැළවිලි ගී වලින්
ආදරේ විරහවද සතුටද රසවුණා ගැයු පද වලින්
නිහතමානි එදා වාගේ ඔබ රසික අපහට වාසනාවන්
රැජන ලෙස හෙළ ගීත අඹරේ දිලේවා පුර හඳ ලෙසින්

චාන්දනී ජයසිංහ
මාකන්දන
මඩපාත


ඔබයි අපේ රිදී සිනුව ලතා

පල්ලියේ කන්තෝරුවේදී ඉමිහිරි ලෙස ඉතා
නමෝ මරිය ගීතිකාව පළමුව ගැයු ලතා
එයට පසුව සී.ටී හා එක්ව රසට ගොතා
ගැයූ ගීතය සැලළිහිණි කොවුල් හඬම වේය ඉතා

එදා මෙදා දශක හතක් ගත වුවත් ඉතා
වෙනසක් නැත ගී ගයනවා ඒ හඬින්ම ලතා
උපන්දිනය සමඟ ඔබට දීර්ඝායු පතා
නවතිමි මා ඔබය අපේ රිදී සිනුව ලතා

සජිනි ඉසුරිකා රණසිංහ
හේකිත්ත
වත්තල