වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඇයි යකෝ මට මේ වගේ අපරාධයක් කළේ

ඇයි යකෝ මට මේ වගේ අපරාධයක් කළේ

අඳුරේම ගෙට ඇතුළු වූ කිසිවකු තම ගෙලට පිහියක් තද කරනු ලක්ෂ්මන්ට දැනිණ. ඔහු හුස්ම ගන්නට තැත් කළේ අපහසුවෙනි. වහා ඇඳෙන් බිමට පැන ගත් ඔහු ඉක්මනින් හති හැලුවේය. ගත පුරාම දහඩිය වැගිරි ඇත. තමා නපුරු හීනයක් දුටු වග වටහා ගන්නට ඔහුට තවත් මොහොතක් ගත විණ. මේ දිනවල ඔහුට හොඳ නින්දක් ලැබුණේ නැත. උකස් තබන ලද රත්තරන් බඩුවල හිමිකරුවන් කිහිප දෙනෙකුම පැමිණ ගියේ උකස හරවා බඩු බේරා ගන්නටය. කවදාවත් බේරා නොගතිතැයි සිතූ කෙනෙකුද ඒ අතර මුදල් සොයා ගෙන පැමිණ තිබිණ. නිවස හොරු බින්දායැයි යන්න ඔවුන්ට උත්තරයක් නොවේ. ගෙදර හොරු බින්දායැයි පැවසූ දවසේම දෙදෙනෙකු නිවසට පැමිණියේය. ඇත්තම කියා දවසක් දෙකක් ඇතුළත ගනුදෙනුව බේරා දෙන්නම් යැයි පැවසුව ද ඔවුන්ට තමන්ගේ ගැටලු අනුන්ගේ ගැටලුව නොවීය.

‘අපේ බඩු අපට ඕනෑ.’

එකෙකු තර්ජනාත්මකව පැවසුවේය.

කොහෙන් හෝ මුදල් සොයා දුන්නද රත්තරන් මාල දෙකක් සහ වළල්ලක් ලබා දිය යුතුය. පොලියට ණය දුන් දෙන්නෙක් තුන් දෙනෙක් මේ සිදුවීම් සමග මග හරින වගක් ද පෙනේ.

වතුර වීදුරුවක් පානය කරන්නට තිබේනම් කදිමයැයි සිතූ ඔහු කුස්සියට ගියේය. සාලය පසු කර කුස්සියට යන ලක්ෂ්මන් නතරවූයේ හීන් සීරුවේ නැගෙන කතාබහක් ඇසීමෙනි. එය සතර කන් මන්ත්‍රණයක් වැන්න.හඬ ඇසෙන්නේ කුස්සිය දෙසිනි. අවශ්‍ය කාරණය පසෙක තබා ලක්ෂ්මන් ට වුවමනා වූයේ කතා කරන්නේ කවුරුන්දැයි සෙවීමටය.ඔහු පියවර මැන්නේ හඬ නොනැඟෙන ආකාරයටය. විමලා සිටිනුයේ කුස්සියේය. ඇය උදෑසන නැගිට වතුර රත් කරන්නීය. ඔහු සමීපයට වී කතා කරනුයේ කෝසලය. කිසියම් සැකයක් ලක්ෂ්මන්ගේ හිත පුරා ගියද ඔහු එය පෙන්වන්නට වෑයම් නොකළේය. ඔහු කුස්සියට ඇතුළු විණ.

කෝසල ඔහු දුටු විට බිම බලා ගත්තේය

ලක්ෂ්මන් අසල තබා තිබූ වතුර ෆිල්ටරයෙන් වතුර වීදුරුවක් දමා ගත්තේය. හදිස්සියට අත මාරුවකට මේ ෆිල්ටරය ගෙනා එකා දින දෙකක් යන්නට මත්තෙන් පොලීසියට කොටුවුණේ කුඩු තිප්පලකදීය. ගෙදර තිබූ බඩ භාණ්ඩ කිහිපයක්ම සොරකම් කොට උගස් කළ විසි හත් හැවිරිදි වියේ පසු වූ ඉලන්දාරියා අල්ලා දුන්නේ ඔහුගේම සහෝදරිය විසින් බව ආරංචි විය.

‘මොකෑ උඹ උදේ පාන්දර නැගිටිලා’

තම සිතැඟි වසා ගත් ලක්ෂ්මන් කෝසල ගෙන් විමසීය. ඔහු වෙනදා මෙන්ම බයාදු ආකාරයට සිනාසුණි.

‘අක්කට තනි රැක්කද’?

ලක්ෂ්මන්ගේ උච්චාරණයේ තිබුණ අවඥා සහගත ස්වරය විමලා හැඳීන ගත්තාය. ඇය ඔහු දවා හළු වන ආකාරයේ බැල්මක් හෙළුවේ එහෙයිනි.

‘උඹ ඊයේ මාර්ටින් ගේ සල්ලි ගැන බැලුවාද ?’

ලක්ෂ්මන් ඇසුවේ කතාව වෙනතක හැරවීමටය. මාර්ටින් කලක් හොඳින් ගනුදෙනුව කළේය. මුදල නිසි ලෙස නොගෙව්ව ද දිනපතා පොලිය ලැබෙයි නම් ඒ ගැන විශ්වාසයක් සදා ගන්නට ලක්ෂ්මන් මැලි නොවීය. මාර්ටින් පසුගිය දවසක මුදල් ගත්තේ මාසයකින් බේරන්නටය.

‘මිනිහා ගෙදර හිටියේ නෑ.’

‘දැන් දවස් දෙක තුනක් මිනිහා මග අරිනවා. උඹේ වැඩේ ඒ සල්ලි හොයා ගන්න එක’

ලක්ෂ්මන් කෑගෑවේය. කෝසල හිස පහතට හෙලා ගත්තේය. ඒ කෝසල ගේ හැටිය. තමා ඔහුට කැමැති ඔළුව උස්සා කතා නොකරන නිසාමය.

‘දැන් පාන්දරනේ. නිදා ගන්ඩ බෑ රස්නෙයි’

කෝසල පැවසුවේ බොරුවකැයි ලක්ෂ්මන්ගේ මොළය සංඥා කළේය. එහෙත් ඔහු කිසිත් නොකිව්වේය.

‘උදේම ගිහින් බලාපං. පොලී නොගෙව්වොත් සල්ලි ඕනය කියපං. දන්නැද්ද මේ දවස්වල මාත් අමාරුවේ වැටිලා ඉන්නේ.’

කෝසල උන් තැනින් ගියේ ඉදිරිපස ඇති කාමරයටය. ලක්ෂ්මන් ආපසු හැරුණේ විමලා ළඟටය. ලිපේ ගිනි දැල්ලෙන් ඇගේ මුහුණේ පැත්තක් එළිය වැටී ඇත.

‘මුන් එක්ක ඕනැවට වඩා ළං වෙනවා නෙවේ. අන්තිමට වැඩක් කර ගන්න හම්බ වෙන්නේ නෑ’

ඔහු පැවසුවේ හඩ නොනගාය. එහෙත් එම හඬෙ හි තිබුණේ අනතුරු හැඟවීමකි.

‘අන්තිමට වුණේ අර අහක හිටිය එකා පොලිසියෙන් අල්ලං ගිය එක විතරයි. ඌ ඒකට සම්බන්ධ නෑ ලු.’

ඉල්ලිමකින් තොරව ම ලැබුණු තේ කෝප්පය අතට ගත් ලක්ෂ්මන් එය තොල ගාන්නට පටන් ගත්තේය. වටින් ගොඩින් එළිය වැටෙන්නට පටන් ගෙනය. තේ කෝප්පය නිමා කළ ඔහු එය සෝදා නිසි තැන තැබුවේය. තවත් ටිකක් නිදා ගන්නට ඇත්නම් කදිමයැයි ඔහුට සිතිණ.සිතට මෙන්ම ගතට ද ප්‍රාණයක් නැතැයි ලක්ෂ්මන්ට හැඟිණ.

‘මං යනවා තවත් ටිකක් නිදා ගන්ඩ. ඇඟට ටිකක් තෙහෙට්ටුයි.’

බිරිඳට පැවසූ ඔහු ‘කෝසල’ යැයි හඩ නැගුවේය. මොහොතින් කෝසල කාමරයෙන් එළියට එනු පෙනිණ. වෙනදා ඔහුගේ සිරිත එය නොවීය.

‘උදේම ගිහින් මාටින් කාරයාව බලනවා. ඇහුණද ? පොලිය නෙවේ සල්ලි ඉල්ලනවා. බෑයි කිව්වොත් මට කියනවා. අර වික්ටර් ලා ගේ ගෙදරටත් ගිහින් බලනවා. බැරි වෙන කොට අඳෙීනා කියා ගෙන එනවා’

ඔහු තවත් නමක් මතක් කළේය. එය කෝසලට ඇසෙන්නට ඇතැයි ඔහුට සිතිණි. අනතුරුව ලක්ෂ්මන් කාමරයට වැදිණ. ලයිට් බිල වැඩිවෙතැයි ඔහු විදුලි පංකාව දමන්නේ අඩුවෙනි. නින්ද යන්නටත් එක්ක එය ක්‍රියාත්මක කළ යුතුය. ලක්ෂ්මන් විදුලි පංකාව දමා නින්ද්ට ගියේය.ඒ නින්ද කදිමට කොපමණ වේලාවක් ගත විනිදැයි ඔහුට දැනුනේ නැත. ඔහු නැගිට්ටේ සැහැල්ලු සිතිණි. අසල වට පිටාවේ සද්ද බද්ද බිත්ති කුහර වලින් ගෙට ඇතුළු වුවද එය ගණනක් නැතිව තමන්ට නින්ද ගොසිනි. ඔහු කාමරයෙන් එළියට පිවිසිණ.බිරින්දෑ පෙනෙන්නට නොසිටියාය. ඉදිරි දොර අඩවල් කර තිබුණෙන් ඔහු එය ඇරියේය. ඉදිරි කාමරය වසා තිබුණේ කෝසල එහි නොසිටි නිසාය. ලක්ෂ්මන් දොර ඇරි සැණින් පස්සට විසිවිණ. කිසි විටෙකත් බලාපොරොත්තු නොවූවෙක් ඔහු ඉදිරිපිට අසුනේ වාඩි වී සිටියි. පසුපස හැරී දුවන්නේ ද මුහුණට මුහුණ දෙනවාද යන්න ඔහු ට නිනව්වක් නොවිණ. විමලා හෝ කෝසල නිවසේ නැති වග නම් ස්ථිරය.

කිසිදු බයක් සැකක් නැතුවම විනෝද් පුටුවක වාඩි වී සිටියි. ඔහු සිටියේ තමා දොර අරින තුරු කල් මරමින්ද ?

අඩියක් පසුපසට යන්නට ගිය ලක්ෂ්මන් ගේ ඇස් උඩ ගියේ අසලින් විනෝද්ගේ අතට ගත් ආයුධය දුටු විටය. ඒ මන්නයකි. එහි තියුණු මුවහත ලක්ෂ්මන්ගේ කටේ කෙළ සිඳලුවේය. ඔහු ගෙට පනින්නට සැරසිණ. එයට වඩා ඉක්මනින් විනෝද් ලක්ෂ්මන් ගේ ඇතුළට තල්ලු කලේය. බලාපොරොත්තු නොවුණ එම පහරෙන් ලක්ෂ්මන්ගේ සමබරතාවය ගිලිහී ගියේය. සාලයට ඇතුළුවන තැන තිබුණ පුටුවක වැදුණ ලක්ෂ්මන් බිම ඇද වැටිණ. ගෙයි සාලයේ දොර මහ හඩින් වැසෙනු ඔහුට පෙනිණ. හැකි වෙර යොදා නැගිට ගන්නට උත්සාහ කළ ද තම පය අවනත නැතැයි ලක්ෂ්මන්ට වැටහිණ. ජීවත්වීමේ ආසාව වෙන කවරදාටත් වඩා ඔහුට දැනිණ. ඒ ආසාව විසින් ඔහු නගා සිටුවනු ලැබුවේය.ඒ සමග යළි පහරක් පසුපසට වැදිණ.

‘බුදු මල්ලියේ මරන්ඩ එපා’

ලක්ෂ්මන් කෑගෑවේය. එසැනින් ඔහුගේ කට වැසිණ.ඒ මුහුණ හරහා වැදුණු වැලමිටි පහරකිනි. මේ කේඬාරු තරුණයාගේ ගතෙහි මෙතරම් ශක්තියක් ඇති වෙතැයි ලක්ෂ්මන් ට දැනුණේ අදය. කලින් දවසක තමන් අතින් වැදුණු පහරින් විසි වුණ තැනැත්තා ඔහුය. ඒ එදාය. තොල පට පිපිරිණ. දත් ඇන්ද ගැලවෙන්නට ඇත. අද සියල්ලම තමන්ට අවාසි අන්දමින් සිදුවන බව ලක්ෂ්මන්ට වැටහිණ.

‘උඹව මරල මදි. ඇයි යකෝ මට මේ වගේ අපරාධයක් කළේ. ?

ලක්ෂ්මන්ගේ සිරුර මත වාඩි වුණ විනෝද් ඇසුවේය. ලක්ෂ්මන්ට උත්තරයක් නොවිණ.

‘බුදු මල්ලියේ’

ලක්ෂ්මන් දෑත් උස්සා වඳීන්නට තැත් කළේය.

ඒ මොහොතේ විනෝද් දෑත එක්කොට මන්නා පිහිය තම පපුවට හරි මැදින් ඉහලින් ඔසවන අයරු ලක්ෂ්මන්ට පෙනිණ.මේ ගෙවනුයේ අවසන් තත්පරය බව ලක්ෂ්මන්ට වැටහිණ. ඔහු දෑස පියා ගත්තේය.

අනතුරුව මරලතෝනියක් දෙමින් කෑගෑවේය.