වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සහෝදරයා සෙනසුරාදා

සහෝදරයා සෙනසුරාදා

‘ජීවිතයට ඉඩදෙන්න‘, ‘අප්පච්චි‘, ‘අහසින් වැටුණා‘, ‘රතු අහස‘, ‘බොහිමියානුවා‘, ‘තාරා‘ ඇතුළු නිර්මාණ රැසක පිටපත් රචකයා ලෙස ඔබ හමුවට පැමිණි නාමල් ජයසිංහගේ කුලුඳුල් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ‘සහෝදරයා‘යි. ඒ ටෙලි නාට්‍යය මේ මස 18 වැනිදා පටන් සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 8.30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි.

ගවේෂණාත්මක, දේශපාලනික ලියුම්කරුවකු හා තරුණ මාධ්‍යවේදී රජීව සමරසිංහ හා චෙලෝ වාදනයට දක්ෂ උත්තරාදේවී ධර්මරත්න සමඟ විවාහ වී ගෙවී ඇත්තේ වසරක පමණ කාලයකි. රජීවගේ මිතුරකු වන අජන්ත ඔහුට හමුවන්නේ කලකට පසුව ය. වරෙක සෝදුපත් බලන්නකු ලෙසද, වරෙක ටියුෂන් ගුරුවරයකු ලෙසද, විවිධ රැකියා කරමින් සමාජය තුළ රස්තියාදුකාර ජීවිතයක් ගත කරන අජන්තට අසන්නට ලැබෙන්නෙ සිය මිතුරු රජීවගේ හදිසි මරණයයි. එතැන් පටන් සිය මිතුරගේ ගැබ්බර බිරිඳටත්, ඔත්පල වූ මවටත් යුතුකම් ඉටුකරමින් විවිධ සමාජ සංස්කෘතික ගැටලු මාධ්‍යයේ වුව සිය මිතුරා වෙනුවෙන් කටයුතු කරන ඔහුට රජීව ලියන ලද පළ නොකරන ලද පුවත්පත් විශේෂාංග කිහිපයක් හමුවෙයි. මේ වනවිටත් රජීවගේ මරණය සැක සහිත වීමත්, රජීව වෙනුවෙන් ඒ ලිපි පළකිරීම නිසා තිබෙන තත්ත්වය අවුල් සහගත වන අයුරු ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ විදහා දැක්වෙයි. රොෂාන් රවින්ද්‍ර, තුමිඳු දොඩන්තැන්න, කලණි විල්සන්, චාන්දනී සෙනවිරත්න, චමිලා පීරිස්, ධර්මපි‍්‍රය ඩයස්, ජගත් මනුවර්ණ, උදයන්ති කුලතුංග, වරුණි පෙරේරා, උදේනි අල්විස්, දයාදේව එදිරිසිංහ, ආනන්ද කුමාර උන්නැහේ, දයාසිරි හෙට්ටිආරච්චි, ලයනල් ප්‍රනාන්දු, සේවියර් කණිෂ්ක, ප්‍රදීප් චන්ද්‍රසිරි, සමන්ත පරණලියනගේ, ලක්ෂ්මන් ප්‍රනාන්දු, මෙලනි සම්සුදින්, රෙබෙකා දිල්රුක්ෂි, සංජය හෙට්ටිආරච්චි, ඉසුරු කාශ්‍යප, ප්‍රදීප් ඇරෑගම, නලින් ලූසේනා, චින්තක කුලතුංග, දමිත් වැලිකල, දුමිඳු ගුණවික්‍රම, චන්දිම කාරියවසම්, ජනිත් කාරියවසම් ඒ නළු නිළි පිරිසයි.

එහි රචනය සහ අධ්‍යක්ෂණයෙන් නාමල් ජයසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් තරිඳු රනේපුර, දෙවන සහය අධ්‍යක්ෂණයෙන් විසදසසේන් අක්මීමන, නලින් සම්පත් ගල්කන්දආරච්චි, කැමරාකරණයෙන් කුලරුවන් ගමගේ, වේශ නිරූපණයෙන් හර්ෂ මංජුල, කලා අධ්‍යක්ෂණයෙන් සුනෙත් නන්දලාල්, රචිත ප්‍රමෝදය, නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි, අරුණ ජයසේන, අංජන ආශුබෝද, ප්‍රධාන ආලෝකකරණයෙන් ඉඳුනිල් සුරංග, ගීත ගායනයෙන් කසුන් කල්හාර ජයවර්ධන , බුද්ධිනී තනුරිකා, සංගීත සංයොජනයෙන් ලහිරු ධනංජය සංගීත අධ්‍යක්ෂණයෙන් කසුන් කල්හාර ජයවර්ධන, සංස්කරණයෙන් කාවින්ද මුදලිගේ ආලෝකකරණය සහ කැමරාකරණයෙන් ධම්මික රත්නායක, සම නිෂ්පාදනයෙන් ලලිත් සමරරත්න, නිෂ්පාදනයෙන් ජයන්ත වැලිවිට සහය වෙති.


මතින් තොර රටට සම්මාන

මහරගම පොලීසිය විසින් පොලිස්පතිතුමාගේ නව සංකල්පයක් අනුව දියත් කළ 'පොලීසියෙන් ගමට' ව්‍යාපෘතිය වෙනුවෙන් පසුගියදා පැවැත් වූ ග්‍රාම වසම් 04 කින් ඉදිරිපත් කළ කෙටි නාට්‍ය තරගාවලියෙන් නාවින්න අංක 527 ග්‍රාමා කොට්ඨාශයට පළමු ස්ථානය හිමි විය.

'මතින් තොර රටක් 'මැයෙන් වූ මෙම නාට්‍යය සඳසීලි ප්‍රනාන්දු විසින් පිටපත රචනා කොට අධ්‍යක්ෂණය කර ඉදිරිපත් කරන ලද අතර එහි ප්‍රධාන චරිතය ද නිරූපණය කරන ලදී.

පහත දැක්වෙන ඡායාරූප එම ප්‍රථම ස්ථානය හිමි කොටගත් නාට්‍යය වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීමේදී ගන්නා ලදී.


සඳකඩපහණ හොරණට

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහගේ ‘සඳකඩපහණ ගායන ප්‍රසංගය මේ මස 18වැනිදා පසුවරු 6.30ට හොරණ ශ්‍රී පාලි රඟහලේදී පැවැත්වෙයි.

සුසිල් අමරසිංහ ප්‍රමුඛ දිවයිනේ දක්ෂතම වාදක මණ්ඩලයක් මෙහෙය වන මේ ප්‍රසංගයේ පිටපත පුෂ්කර වන්නිආරච්චිගෙනි. මේ ප්‍රසංගය හොරණ තක්ෂිලා විද්‍යාලයීය 99 ආදි ශිෂ්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමකි.


නීටා රඟන සඳ එළියට වෙඩි තියන්න 22, 23 දෙදින

මනුජ් අනවරත්නගේ හඳ එළියට වෙඩි තියන්න වේදිකා නාට්‍යය මෙම මස 22 සහ 23 සවස බොරැල්ල නාමෙල් මානෙල් පුංචි තියෙටර්හි වේදිකා ගතවේ. නීටා ප්‍රනාන්දු, ජනක කුඹුකගේ ඇතුළු පිරිස රඟන මෙය ඉරන්ති අබේසිංහගේ නිෂ්පාදනයකි.


දරුවන් වෙනුවෙන් සැත්කම් ආධාර පිණිස සංගීත සැඳෑවක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇස සුද ඉවත් කිරීමේ සැත්කම්වලට මුහුණ දී සිටින දරුවන්ට මූල්‍යාධාර ලබාදීම පිණිස මහරගම රොටරැක්ට් සමාජය විසින් සංවිධානය කරනු ලබන සංගීතමය සැඳෑවක් මෙම මස 17 වැනිදා එනම් හෙට සවස මහරගම යොවුන් රඟහලේදි පැවැත්වේ. භාතිය - සන්තුෂ්, දුෂ්යන්ත් වීරමන් සහ සනුක වික්‍රමසිංහ මෙහි ගායන දායකත්වය සපයති.


 දේශීය උරුමය කියාපාන සංස්කෘතික උලෙළක් 20 වැනිදා

ජන කවිය, ජනශ්‍රැතිය, ජන කතා, සිරිත් විරිත්, සදාචාරය, සිංහල බෞද්ධ උරුමය කියාපාන ප්‍රාසාංගික සංස්කෘතික සංදර්ශනයක් මෙම මස 20 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වේ.

ඉඳිකඩුල්ල හා තනි මෑන් ෂෝ නමින් නම් කොට ඇති මෙම ප්‍රාසාංගික සෞන්දර්යාත්මක ප්‍රසංගය ආචාර්ය හේමලාල් ගීතදේව සංගීතවත් කරයි.

තනි මැන් ෂෝ ප්‍රාසාංගික ප්‍රසංගය මෙදින පෙරවරු 10.30 ට ඉදිරිපත් කෙරෙන අතර ඉඳිකඩුල්ල ප්‍රාසාංගික අත්දැකීම පස්වරු 2.30 ට හා පස්වරු 6.30 ට ඉදිරිපත් කිරීමට නියමිතය.

තිළිණ සුදේශ් වන්නිනායක, වසන්තා තිලකාංගනී, උදේෂ් මනෝජ්, ඉසංකා අධිකාරී, උදයංගනී ඉෂාරා, රශී හේවාවිතාරණ, වසන්ත සේනාරත්න, අනුරාධා විජේනායක මෙම ප්‍රාසාංගික අත්දැකීම ගායනයෙන් වර්ණවත් කරති.

ඉඳිකඩුල්ල සහ තනි මැන් ෂෝ ප්‍රාසාංගික අත්දැකිමේ පර්යේෂණ සංකල්පය හා අධ්‍යක්ෂණය ආචාර්ය සුසන්ත රනුක කුමාරසිංහගේය.


ලක්ෂ්මන්ගේ නව ලිපිනය

අංග රචනා ශිල්පී ලක්ෂ්මන් පෙරේරාගේ නව ලිපිනය ගෝනහේන වෑබඩ කඩවත බව ඔහු අපට දන්වා සිටියේය. එමෙන්ම ඔහුගේ නව දුරකතන අංකය වනුයේ 0783329248 සහ 0117900049 වේ.


යකා මලා 18 වැනිදා

කලා භූෂණ එස්. විජේසිංහගේ යකා මලා වේදිකා නාට්‍යය මෙම මස 18 වැනිදා සවස බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියෙටර්හි වේදිකා ගත වේ.

මිලින්ද පෙරේරා, උදය කුමාරි, දයානන්ද හේවගේ, ජයතිලක හේරත් සමඟ ශිරාන් පීරිස් මෙහි රංගනයේ යෙදෙයි.


 සිසිල්ගේ වෙස්ගත් බොස් හෙට

එදා රැල්ල, ගුවන් කරණම්, රැලිය නාට්‍ය ගෙනා සිසිල් ගුණසේකර විනෝදාත්මක නවතම ප්‍රහසනාත්මක නාට්‍ය නිර්මාණය 'වෙස් ගත් බොස්' හෙට සිකුරාදා සවස බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණගාරයේදි වේදිකා ගත වේ. පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සුභ සාධක සංගමයට ආධාර පිණිස මෙම දර්ශන වාරය සංවිධානය කොට ඇත. සරත් කුලාංග, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, ලාල් සරත් කුමාර, අජිත් ලොකුගේ, උදේණි අල්විස්, ධනුෂ්ක ජයරත්න, සුරංගි කෝසල, සාලිය කුමාර, තක්ෂිලා සෙව්වන්දි, තුෂාරි බණ්ඩාරනායක යනාදීන් මෙහි රංගන දායකත්වය සපයති.

නොවැම්බර් 25 දින මරඳගහමුල සණස ශ්‍රවණාගාරයේදී වේදිකා ගතවේ.

වෙස්ගත් බොස්් සංගීත නිර්මාණය සරත් කුලාංගගෙනි.


 මුදුන්කොටුව සංගීත විද්‍යාලයේ 47 වැනි සංවත්සරය

භාරතීය සංගීත උපාධිය අප රටට හඳුන්වා දී සෞන්දර්ය විශ්වවිද්‍යාලීය පද්ධතියට අනුයුක්ත කරමින් සුවිසල් යුග මෙහෙවරක් ඉටු කළ සංගීතපති ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව සංගීතවේදියාණන්ගේ භාත්ඛන්ඩෙ සංගීත විද්‍යාලයේ 47 වැනි සංවත්සර උත්සවය මෙම මස 18 වැනිදා සවස අංක 16/77 පැලන්වත්ත කොට්ටාව පන්නිපිටිය පිහිටා ඇති භාත්ඛන්ඩෙ සංගීත විද්‍යාලය ඉදිරිපිට ඇති මහානාම උත්සව ශාලාවේදි පැවැත්වේ. ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා මෙදින ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවීමට නියමිතය.