වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




විද්‍යා බාලන්ගේ විශිෂ්ට චරිත නිරූපණය Tumhari Sulu

විද්‍යා බාලන්ගේ විශිෂ්ට චරිත නිරූපණය Tumhari Sulu

ගෘහණියක් සේම රැකියාවක නිරත කාන්තාවක් තම පවුල සහ රැකියාව අතර සිය ජීවිතය කළමනාකරණය කරන අයුරු මෙලෙසින් Tumhari Sulu චිත්‍රපටය ඔස්සේ රිදී තිරයේ දිග හැරේ.

බොලිවුඩ් ආරංචි මාර්ග රැගෙන එන්නේ, බොහොමයක් සාමාන්‍ය පවුල් ජීවිත දෙස බලන විටදී Tumhari Sulu චිත්‍රපටය ඒ හැම පවුලකටම වඩාත් හොඳීන් සංවේදනය වනු ඇති බවයි.

සුලෝචනා මුම්බායි හි නාගරික ප්‍රදේශයක වෙසෙන මධ්‍යම පාන්තික ගෘහණියකි. ඇයගේ සැමියා අශෝක් සාම්ප්‍රදායික නිල ඇඳුම් වෙළෙඳ සැලක අලෙවි කළමනාකරුවෙක් ලෙසින් රැකියාවේ නිරත වේ.

ඔවුන්ගේ එකම පුතු ප්‍රාණව් එකොළොස් හැවිරිදිය. සුලූ නම් ආදර නාමයෙන් හඳුන්වන සුලෝචනා නිරන්තරයෙන්ම විනෝදයෙන් ඉතාම සතුටින් කාලය ගත කරන්නියකි. සිය ප්‍රියතම ගුවන්විදුලි නාලිකාවට සවන් දීම ඇයගේ විනෝදාංශ අතර ප්‍රධාන කටයුත්තක් බවට පත්ව ඇත්තේය.

එපමණක් නොව එහි පැවැත්වෙන විවිධ තරඟවලටද ඇය සම්බන්ධ වන්නීය. තරඟකාරි කිසිවකුත් අත නොහැර අධිෂ්ඨානයෙන් ජයග්‍රහණය කිරීම ඇය සතු විශේෂ ලක්ෂණයකි.

එක්තරා දිනයක මෙලෙස එම ගුවන්විදුලි නාලිකාවෙන් පැවැත් වු තරඟයක් ජයග්‍රහණය කිරීමෙන් ඇයට ත්‍යාගයක් හිමි වේ. එම ත්‍යාගය ලබා ගැනීමට ඇය ගුවන්විදුලි නාලිකාවට යා යුතුව ඇත.

එම ගමන ඇයගේ ජීවිතය වෙනස් කරවන ගමනකැයි ඇය කිසිසේත්ම නොසිතුවාය. මන්දයත් එහිදී යම් සිදුවීමකින් සුලූ හට නිවේදිකාවන ලෙසින් කටයුතු කිරීමට අවස්ථාව සැලසීමයි.

සුලූගේ සැමියා අශෝක් ඉතාම කාර්යබහුල රැකියාවක නිරත වුවද මුදල් උපයා ගැනීම වෙනුවෙන් දැඩි අරගලයක නිරතව සිටින්නෙකි. පුතු ප්‍රාණව් පාසලේ විශේෂිත කටයුත්තක් සමඟිනි.

මේ අතරේ සුලූ නම් මේ ආදරණීය අම්මා නිවේදන ලොවට පිවිසේ. අලුතෙන් හිමිවන රැකියාව සමඟින් සුලූ ඉතාම දක්ෂ අයුරින් තම නිවේදන කටයුතු මෙහෙවන්නීය.

ඉතාම විශේෂිත ලෙසින් ඉදිරිපත් කෙරෙන ඇයගේ වැඩසටහන බෙහෙවින් වෙනස් පුද්ගලයන්, බොහොමයක් නොදන්නා පුද්ගලයන් සේම තනිකඩ දිවි ගෙවන අය වෙනුවෙන් වෙන් වේ. කෙටි කලකින්ම සුලූ ජනප්‍රිය තරුවක් බවට පත් වේ.

ගෘහණියක් සේම රැකියාවක නිරත කාන්තාවක් තම පවුල සහ රැකියාව අතර සිය ජීවිතය කළමනාකරණය කරන අයුරු මෙලෙසින් Tumhari Sulu චිත්‍රපටය ඔස්සේ රිදී තිරයේ දිග හැරේ. බොලිවුඩ් ආරංචි මාර්ග රැගෙන එන්නේ, බොහොමයක් සාමාන්‍ය පවුල් ජීවිත දෙස බලන විටදී Tumhari Sulu චිත්‍රපටය ඒ හැම පවුලකටම වඩාත් හොඳීන් සංවේදනය වනු ඇති බවයි.

සුරේෂ් ත්‍රිවානිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන Tumhari Sulu චිත්‍රපටයේ විද්‍යා බාලන්, නේහා ධූපියා, මානව් කවුල්, විජේ මෞර්යා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ෆිල්ම් ෆෙයාර් සහ ඉන්දීය ජාතික සම්මාන ලාභි විද්‍යා මේ වසරේ දී දායක වූ චිත්‍රපට දෙක අතුරින් පළමුවෙන් තිරගත වූයේ, බෙගම් ජාන් චිත්‍රපටය යි. ශ්‍රිජිත් මුකර්ජි විසින් අධ්‍යක්ෂණය කරන ලද බෙගම් ජාන්

චිත්‍රපටයේ විද්‍යා පණ පෙව්වේ, ගණිකා නිවාසයක හිමිකාරියකගේ චරිතයටයි. Tumhari Sulu චිත්‍රපටයේ තමා ගුවන්විදුලි නිවේදිකාවකගේ චරිතයකට පණ පෙවීමද තම සිනමා ගමනේ සුවිශේෂි අවස්ථාවක් බව විද්‍යා පවසන්නීය.

හාස්‍යමය චිත්‍රපටයක් වන මෙහිදී විද්‍යා බාලන්ගේ මෙතෙක් නුදුටු හාස්‍යමය ජවනිකා ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරනු ඇති බවත් බොලිවුඩ් තොරතුරු අතර වේ. මෙහි ගුවන්විදුලි නාලිකාවේ ප්‍රධානියාගේ චරිතයට පණ පොවන්නේ නේහා ධූපියා විසිනි.

හෙට (නොවැම්බර් 17) සිට ලොවපුරා තිරගත කෙරෙන Tumhari Sulu චිත්‍රපටයේ තවත් සුවිශේෂත්වයක් වේ. එනම් 1987 වසරේ තිරගත කෙරුණු Mr. India චිත්‍රපටයේ එන "Hawa Hawai" ගීතය මෙහිදී ප්‍රතිනිර්මාණය වීමයි.