වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




තවමත් ළමයා

තවමත් ළමයා

නිරන්තරයෙන් මල් කැඩුවට බුදු පුදනට නොවේ
කඩන මලට හැඩයක් හෝ පැහැයක් දිස් නොවේ
හැබැයි මලක් නොවන මලක් කඩන බව හොඳ හැටි පෙනේ
මල් මල් මල් බලන බලන හැම තැනකම කඩනා මේ මල්

මේ කියලා තියෙන්නේ තැනක් නොතැනක් නොබලමින් ජංගම දුරකතනයෙන් මල් කැඩීම ගැන. නීතිඥ සන්ධ්‍යා එදිරිමුණිගේ ඒ පද වැල ටික නම් ඉතාම කාලෝචිත බව නම් පේනවා. ඒවාට සංගීතය යොදමින් ගායනා කළේ බන්දුල විජේවීරයන්. මේ ගීතය පමණක් නොව බන්දුල තවත් ගීතයක් පටිගත කළා.

රබන් සුරල් නැත මංගල පෙරහැර
නැහැ නොවැ අද දින හැඩවෙන්නෙ
ජයමංගල ගී බුලත් හුරුලු නැත
සංකර දේ අද සිදු වන්නෙ

මේ එම ගීතයේ පද ටිකක්.

නොපිට පෙරළී ඇති මංගල සිරිත් විරිත් ගැනයි බන්දුල එමඟින් කතා කරන්නේ. ඇත්තෙන්ම කිව්වොත් ඒවා ඉතාම අර්ථාන්විත ගීතයන්. නව පරපුරේ කිසිම කෙනෙක් මේවන් වූ මාකෘතාවන්ට ගී ගයන්නට හිතලාවත් නැතුව ඇති. ඒ අයට බන්දුල වගේ අය සැබවින්ම ආදර්ශයක්. මේ ගීතයන් ද්විත්වයම පටිගත කළේ බන්දුලගේ උපන් දිනය දවසේ. ඒක තවත් විශේෂත්වයක්. මේ විස්තරේ කියද්දී බන්දුල තවත් රසබර කතාවක් අපිත් එක්ක කිව්වා. ඒ බහුතරයක් ඔහුට බන්දුල ළමයා කියලා කතා කරනවලු. විශේෂයෙන්ම ඔය උත්සව වගේ අවස්ථාවලදී. ඉලක්කම්වලින් වයස මුහුකුරා ගියත් බන්දුල තවමත් ළමයා. ඒකට හේතුව දන්නවද, බන්දුල මයා කියන වචන දෙක තියෙද්දි බොහෝ දෙනෙක් බන්දුල මයා වෙනුවට බන්දු ළමයා කියලලු අමතන්නේ. බලන්නකෝ ඒකෙත් හැටි.