වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




අන්තිමේදී මට වෙන ලෙඩක් හැදෙයිද දන්නේ නෑ

අන්තිමේදී මට වෙන ලෙඩක් හැදෙයිද දන්නේ නෑ

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටී. මේ හේතුව මත සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට කැමැත්තක් නොදක්වති.

සන්දේශ් පසුව උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යයි. එහිදී ඔහු නතාශා නැමැති රූමත් ලාංකික යුවතියක් හඳුනාගෙන ඇය හා ආදරෙන් බැඳේ. දිනක් මිතුරු සාදයකදී ගැටුමකට මැදිවන සන්දේශ් සඳළුතලයකින් පහළට වැටෙයි. එහිදී කොඳු ඇට පෙළට දරුණු ලෙස හානි සිදු වී ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමා වේ. මෙම හේතුව නිසා නතාශාගේ දෙමාපියෝ ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙති. පසුව සන්දේශ් නතාශාගෙන් වෙන් වී යළිත් ලංකාවට පැමිණේ.

දිනක් සන්දේශ්ගේ උපන් දින සාදයකදී ඔහුට අහම්බෙන් මිහිරි මුණ ගැසේ. එහිදි මිහිරි තම පෙම්වතා වන ගයන්තව සන්දේශ්ට හඳුන්වා දෙයි. ගයන්ත හා මිහිරි එකතුව සන්දේශ්ගේ ආබාධිත තත්ත්වය සුවකර දීමට උත්සාහ දරති. දිනක් ඔහු සන්දේශ් සමග පාරම්පරික වෙද මහතෙකු සොයා දුර බැහැර ගමනක යෙදේ.

(අද එතැන් සිට)

"ආ ඔය නැගිට්ටෙ"

"පව් වැඩේ"

"සැප නින්දක්නෙ දැම්මෙ. හීන කීයක් දැක්කද? "

සන්දේශ් මඳක් සිනාසෙමින්ම හිස කෙලින් කොට කවුළු‍වෙන් පිටත බැලුවේය.

"කොහෙද මේ?"

"දැන් පොළොන්නරුවට කිට්ටුයි"

"සන්දේශ් හොඳ විහිළුකතාවක් කියන්නකො, ඉස්සර කිව්ව වගේ"

ඒ මිහිරි‍ගේ ඉල්ලීමකි.

"ඔව් ඔව්..... කියපං කියපං, නැත්තං අපිටත් නින්ද යයි"

"විහිළු කතාවක් ? "

"ඔව් ඔව්"

"මට වඩා කතා ගයන්ත දන්නවනෙ"

"හපෝ මෙයාගෙ ඒව හරි බෝරිං. ඔයා කියන්න"

"ආ ඒ කියන්නෙ, මං කියන ඒව මෙලෝ රහක් නෑ. බෝරිං....? හරි හරි"

"සන්දේශ්, ගොඩාක් වෙලාවට මෙයා විහිළු කතා කියල එයාම හිනාවෙනව. අර එෆ්එම් චැනල්වල විහිළු කතා කියල ඒගොල්ලොම හිනාව දාන්නෙ..... ඒ වගේ"

මිහිරි එසේ කියමින් සිනාසෙන්නට වූවාය.

"ඒ අනූතුනයි දශම දෙක"

"ඒ මොකක්ද"

"එෆ්එම් චැනල් එකක් "

මිහිරිට තවත් සිනා නැඟිණ

"දැක්කද සන්දේශ්, කවුද දැන් විහිළු කතාවක් කියල එයාම හිනා වුණේ?"

සන්දේශුත් සිටියේ සිනහවකුත් සමඟය.

"හරි හරි සන්දේශ් කියන්නකො"

මිහිරි එසේ පැවසුවේ ආයාසයෙන් සිනහව නවතා ගනිමිනි.

"ඔන්න දවසක් බකමූණෙක් ගියාලු බකමූණු දොස්තර කෙනෙක් ළඟට බෙහෙත් ගන්න"

"ම්........ ඉතිං"

"ඉතිං බකමූණු දොස්තර ඇහුවලු ලෙඩේ මොකක්ද කියල. එතකොට බකමූණා කිව්වලු රෑට නින්ද යන එක කියල"

සන්දේශ්ගේ කතාවට මිහිරිට මෙන් ම ගයන්තට ද සිනා ගියේය. සතුට වැඩිකමට මිහිරිට අත් පුඩියක් ද ගැසුණේය.

මිහිරිගේ ඉල්ලීම පරිදි පොළොන්නරුවේ ගල් විහාර භූමියට ගයන්ත රිය හැරෙව්වේය. ගයන්ත රිය තුළින් රෝද පුටුව ඉවතට ගත් පසු සන්දේශ් එයට ගොඩ විය. ගල් විහාරය අසල වැඩි සෙනඟක් දක්නට නොවීය.

"පිළිම විදියට හදපු බුදු හාමුදුරුවන්ගෙ ගල් පිළිමවලින් ලස්සනම පිළිම තියෙන්නෙ ගල් විහාරෙ" ඒ ගයන්තගේ අදහස් ය.

"අව්වටයි වැස්සටයි කියල ෂෙඩ් ගහල, ළඟට යන්න බැරි විදියට යකඩ වැටවල් ගහලා, දැන් අර ඉස්සර අවට පරිසරයක් එක්ක තිබිච්ච සුන්දර ගතිය නැති වෙලා"

මිහිරිගේ කතාවත් සැවොම අනුමත කළහ.

ගයන්ත කුඩා කැමරාවක් ගෙන ගල් පිළිමවල ඡායාරූප කිහිපයක් ගත්තේය. එක් මොහොතකදී මිහිරි සන්දේශ්ගේ පුටුව තල්ලු කරගෙන ඉදිරියට එන අයුරු ඔහු දුටුවේය. සන්දේශ්ගේ අතේ අතු නෙළුම් මල් පොකුරක් ද තිබිණ. ඔවුන් එදිරියට පැමිණෙන විට පසුබිම ද ඉතා චමත්කාරජනක විය. ගයන්ත වහා දෙදෙනාගේ සුන්දර ඡායාරූප කිහිපයක් ගත්තේය.

දිවා ආහාරය සඳහා මාවත පසෙක ඉඩකඩ තිබු සෙවන, දැකුම්කලු ස්ථානයක ගයන්ත රිය නතර කර වුයේය. ගයන්ත විනෝද චාරිකාවක් සඳහාම සකස් කරන ලද කුඩා මේස පුටු කට්ටලයක් ද රැගෙන විත් තිබිණ. දිග හැරීමෙන් පසු එහි හතර දෙනෙකුට වාඩි විය හැකිය.

බඳුන් මේසය මත තැබු මිහිරි පිඟන් තුනකට ආහාර බෙදන්නට වුවාය. මාළු බැඳුමක්, වම්බටු මෝජුවක් සහිත එම රසවත් දිවා ආහාරය සන්දේශ් මෙන් ම ගයන්තත් සතුටින් අනුභව කළහ.

දිවා ආහාරය ගැනීමෙන් පසු ගයන්ත ‍කෙළින්ම රිය පැද වූයේ වෙද මහතාගේ නිවස සොයා ය. මාවත පසෙක වූ දෙතුන් දෙනෙකුගෙන් විමසීමෙන් අනතුරුව වෙද ගෙදර සොයා ගැනීමට අපහසු වූයේ නැත. එය කොහොඹ ගස් කිහිපයකින් සෙවන වූ ගෙවත්තක් මැද තිබු, සිංහල උළු සෙවිලි කළ, රවුම් ඉස්තෝප්පු කණු සහිත නිවසක් විය.

දැනුම්දීමකින් තොරව පැමිණෙන්නට සිදු වීම නිසා වෙද මහතා නිවසේ සිටින්නේදැයි යන දෙගිඩියාවකුත් මිහිරිගේ සිතේ තිබුණි. නමුත් වෙද මහතා නිවසේ සිටීම ඇගේ සිතට මහත් අස්වැසිල්ලක් දැනු වූ කාරණාවක් විය.

පැමිණි කාරණාව දැනුම් දීමෙන් අනතුරුව වෙද මහතා සන්දේශ්ව පරීක්‍ෂා කිරීම සඳහා බෙ‍හෙත් බඩු බාහිරාදියෙන් පිරී තිබුණු කාමරයකට ඇතුළු කළේය. සෑහෙන වේලාවක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව වෙද මහතාගේ මුවින් පිට වුයේ ඔවුන් සෑහීමකට පත් කරවන වචන කිහිපයකි.

"බැරිවෙන එකක් නෑ. ටික කාලයක් ගත වෙයි. බෙහෙතුත් බොන්න වෙයි. බෙහෙත් වගේම තැවුම් සත්කාරයත් කරන්න වෙනව. මාසෙකට සැරයක් දෙකක් මෙහේ එන්නත් වෙයි."

‍වෙද මහතාගේ වචන මිහිරිට දැඩි අස්වැසිල්ලකි. මාසෙකට සැරයක් දෙසැරයක් මෙතෙක් දුරක් පැමිණීම නම් විසඳාගත යුතු ප්‍රශ්නයකි.

ඇඳක් මත උඩුබැලි අතට සන්දේශ්ව දිගා කර වූ වෙද මහතා කිසියම් රිද්මයකට ඔහුගේ පිට පුරා බෙහෙත් තෙල් ගල්වන්නට වුයේය. කාමරය තුළ තිබු නුපුරුදු බෙහෙත් ගඳ මිහිරියේ නාසය එතරම් රිස්සුවේ නැත. සුළු මොහොතක් කාමරයේ රැඳී සිටි ගයන්ත හා මිහිරි ඉස්තෝප්පුවේ ඇති ඇඳී සහිත වේවැල් පුටු දෙකක අසුන් ගත්හ. තවත් සුළු මොහොතකට පසු කෙටි ගවුමකින් සැරසුණු පියකරු යුවතියක් පැමිණ කිරි තේ කෝප්ප දෙකක් ගයන්තටත් මිහිරිටත් පිළිගැන්වූවාය. ඇගේ මහත, පැහැපත් කලවා යුගල දෙස ගයන්තගේ දෑස් යොමු වුයේ නිරායාසයෙනි. ඔහුගේ බැල්ම මිහිරිගේ නෙතට ද හසු වුණි. සමහරවිට ඇය වෙද මහතාගේ මිනිබිරියක විය හැකිය. දෙදෙනාටම සිතුණේ කිරි තේ සමඟ නිරාවරණ දෙපා සහිත යුවතිය මෙවැනි පාළු සුන්දර ගම්බද පරිසරයකට නොගැළපෙන බවකි. ඒත් මේ නොගැළපෙන බව තුළ ද කිසියම් අපුර්වත්වයක් තිබෙන්නේ යැයි සිතුණේ ගයන්තට ය.

තවත් පැය බාගයකට ආසන්න කාලයකට පසු සන්දේශ් කාමරයෙන් පිටතට පැමිණියේය. තෙල් ගැල්වීමත් සම්බාහන ක්‍රියාවලියත් නිසා සන්දේශ්ගේ ගතට දැනී තිබුණේ අප්‍රමාණ සුවයකි. වෙද මහතා තෙල් බෝතලයක් හා තවත් බෙහෙත් අඩු වැඩිය කිහිපයක් ද ලබා දුන්නේය. කාලය හා සියළු දේ වෙනුවෙන් වෙද මහතා ඉල්ලා සිටියේ ද ඔවුන් සිතුවාටත් වඩා අඩු මුදලකි.

"මාසෙකට දෙපාරක්වත් එන්නලු නේද?"

ගයන්ත එසේ ඇසුවේ නැවත කොළඹ දෙසට රිය පදවන අතරතුරය.

"ඒකනෙ. මොකක්ද ගයන්ත අපි කරන්නෙ? වැඩක් වෙයිද? "

"මෙච්චර කරපු එකේ ඒකත් කොහොමහරි කරල බලමු. මාස හතරක් වගේනෙ කිව්වෙ "

ගයන්තගෙ වචන නං මිහිරිට අස්වැසිල්ලකි. එහෙත් මෙතරම් දුරක් සහිත ගමන් වාර කිහිපයක් පැමිණීම ඇගේ සිතටත් තරමක දෙගිඩියාවකි.

"ඒ වුණාට මෙච්චර දුරක් යන්න එන්න ගියාම?"

"ඔයගොල්ලො කරදර වෙන්න එපා, මං කොහොමහරි ඇරේන්ජ් කර ගන්නං. ඔෆිස් එකේ කාර් එකකුයි ඩ්‍රයිවර් කෙනෙකුයි ගන්න පුළුවන්. සිසිරත් ඉන්නවනෙ"

සන්දේශ්ගේ වචන මිහිරිගේ සිතට තවත් සැහැල්ලුවකි. ආයාසයෙන් හෝ වෙද මහතා හමු වී ප්‍රතිකාර ලබා ගත හැකි නම් වඩාත් හොඳ යැයි ඇයට සිතෙයි.

"මාත් පුළු පුළුවන් වේලාවට එන්නං"

ඒ ගයන්තය.

"ගයන්තට බැරිද හෙලිකොප්ටරයක් ගේන්න. එහෙනං පැයේ ගමන." මිහිරි එසේ පැවසුවේ විහිළුවටය.

"ගෙවනව නං ගේන්න පුළුවන්"

"ආ ඒක නෙමේ සන්දේශ්, දන්නවද මෙයා ආයෙත් මෙහෙ එන්න හදන්නෙ මොකද කියලා" විහිළුව තවත් දුරදිග යයි.

"ඇයි මට උදව් කරන්නනෙ"

සන්දේශ් උත්තරයක් දුන්නේය.

"ඔයාට උදව් කරනවට වැඩිය අර කොට ගවුමක් ඇඳලා හිටපු ගෑනු ළමයගෙන් කිරි තේ බොන්න"

ඇයගේ කතාවට ගයන්තටත් මහ හඬින් සිනා නැගුණේය.

"සන්දේශ් දැක්කද ඒ ලස්සන සුදු ගෑනු ළමයා?"

"ඔව්. වෙද මහත්තයාගෙ බාල දුවලු"

"ඇත්තද, මං හිතුවෙ ග්‍රෑන්ඩ් ඩෝටර් කෙනෙක් වෙන්න ඇති කියලා"

"ලබන සැරේ ඇඟ තවන කියන වැඩ එයාට බාර දෙන්නං කියලා වෙද මහත්තයා මට කිව්වා"

"ආ, එහෙනං ඒකයි මෙයත් හැම සුමානෙම මෙහේ එන්න හදන්නෙ. නේද ගයන්ත"

"අන්තිමේදි මූට වෙන ලෙඩක් හැදේවිද දන්නෑ. කකුල් පණ නැති වුණාට..........."

"මේ මේ ගයන්ත, නවත්තගන්න හොඳේ"

විනෝද විහිළු කතා මැද්දේ කාලය ගෙවී යන්නට විය. එදින ඔවුන් කොළඹට ළඟා වන විට රාත්‍රී නවයට ආසන්න වී තිබුණි.