වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

දැන් රස කතා

හොලිවුඩයේ ආදරණීයම පෙම් යුවල ලෙසින් නම් ලැබූයේ ඇන්ජලීනා ජොලි සහ බ්‍රැඩ් පිට්. වසර දොළහක පෙම් කතාව මල්ඵල දරලා 2014 වසරේදී දෙදෙනා විවාහ දිවියට පත් වුණත් මේ දෙදෙනා වෙන්වී ජිවත් වෙන්න තීරණය කළේ මීට ටික කලකට පෙරදීයි. ඇන්ජලීනා දික්කසාද නඩුවකුත් ගොනු කරලා අවසන්.

ඉතින් පසුගිය කාලය පුරාවටම ඇන්ජලීනා - බ්‍රැඩ් එකිනෙකා සමඟ කතා කළේම නැති බවත් හොලිවුඩයෙන් ආරංචි වුණා. ඒත් දැන් ටික දවසක පටන් ඇන්ජලීනා සහ බ්‍රැඩ් එකිනෙකා කතා කරන්න පටන් අරන් කියලා අරංචියි. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ දරුවන් දෙදෙනා සහ නීතියේ අවසරය ඇතුව හදා ගන්නා දරුවන් සිව්දෙනා සමඟින් බ්‍රැඩ් වැඩියෙන් කාලය ගත කරනවා කියලත් ආරංචියි. මේ දෙන්නා හිටපු හැටියට දැන් ගොඩක් හොඳ බව ඔවුන්ගේ හිත මිතුරන් පවසනවා.

බ්‍රැඩ් පසුගිය කාලයම දරුවන් නොමැතිව ඉතාම දුකින් තමයි කාලය ගත කරලා තියෙන්නේ. නීතිඥයන් හරහා සියල්ල සිදුවීම නිසා ඔහුට දරුවන් හමු වෙන්නත් තියෙන අවස්ථාව අඩුවෙලා. ඔහුගේ වුවමනාව නිතරම දරුවන් ආරක්ෂා කිරීමයි. හැබැයි දැන් තත්ත්වය හොඳ පැත්තට හැරෙන්න වුණත් හැකි බව තමයි හොලිවුඩයේ පුවත් ගෙන එන්නේ. දැන් ඇනජලිනා - බ්‍රැඩ් නිතරම කතා කරනවාලු. තමන්ගේ ප්‍රශ්න මොනවා වුනත් දරුවන් වෙනුවෙන් හෝ මේ දෙන්නා දැන් හොඳට කතා කරනවා.


කේජ්ගේ කකුල කැඩූ 211

ජනප්‍රිය නළු නිකලස් කේජ් පසුගිය දවසක අනතුරකට ලක් වුණා. ඒ සිය නවතම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේදීයි. බල්ගේරියාවේ සිදු කළ රූගත කිරීමක් අතරතුර දී සිදු වූ අනතුරකින් කේජ්ගේ පාදයක වළලුකරට හානි සිදු වී තිබෙනවා. පසුව ඔහු ලොස්ඇන්ජලීස් වෙත ගෙන ඒමට කටයුතු යෙදූ අතර සති දෙකක් පමණ ඔහු විවේක ගත යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබිලා.

යොර්ක් ෂාකෙල්ටන් විසින් අධ්‍යක්ෂණය කරන 211 නම් චිත්‍රපටයේ රූගත කිරීම් අතරේදීයි කේජ් මෙම අනතුරට මුහුණ දුන්නේ. නිකොලස් කේජ් එහි පොලිස් නිලධාරියකුගේ චරිතයට පණ පොවනවා. බැංකු මංකොල්ලයක් වළක්වා ගැනීමට පැමිණෙන දුරකථන ඇමතුමක් ඔස්සේ මෙම කතාව ගෙතෙනවා. 211 යනු සොරකමක් සිදු වූ විට ඇමතීමට ඇති සංකේත අංකය යි.


ජොනතන් ඩෙමේ දිවි මඟෙන් සමුගනී

අමෙරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදයකු මෙන්ම තිර රචක ජොනතන් ඩෙමේ සිය දිවි මඟෙන් සමු ගත්තා. ඔහු අධ්‍යක්ෂණය කළ Silence of the Lambs  (1991) චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

Melvin and Howard, Swing Shift, Married to the Mob, Philadelphia වැනි චිත්‍රපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරුණා. ඒ වගේම වාර්තා චිත්‍රපට නිර්මාණකරණයේත් ඔහුගේ දායකත්වය ඉහළයි. ඔහුගේ සිනමා නිර්මාණවල සුවිශේෂත්වයක් වන්නේ ඇතැම් චරිත කැමරාව දෙස එක එල්ලේ බලාගෙන කතා කරන දර්ශන ඇතුළත් වීමයි.

බොහොම පුද්ගලික ජීවිතයක් ගත කළ මෙම අධ්‍යක්ෂවරයා මිය ගියේ පිළිකා රෝගි තත්ත්වයක් හේතුවෙන්. 2010 වසරේදී එය හඳුනාගෙන මර්දනය කළත් 2015 වසරේදී යළි එය ඉස්මතුවී තිබුණා. මිය යන විට ජොනතන් ඩෙමේ ගත කළේ ජීවන ගමනේ 73 වැනි කඩඉමයි.


ජොනි ඩෙප් ඩිස්නිලන්තයට

ඩිස්නිලන්තයට යන ලොකු කුඩා ඕනෑම කෙනෙකුට විනෝද වෙන්න තියෙන අවස්ථාවලින් නම් අඩුවක් නැහැ. මේ අතරේ පසුගිය දවසක ජනප්‍රිය හොලිවුඩ් නළුකේ වන ජොනි ඩෙප් ඩිස්නිලන්තයට ගිහින්. ඔහු ගියේ සාමාන්‍ය විදියට නම් නෙවෙයි.

Pirates of the Caribbean චිත්‍රපටයේ ඔහු රඟ පෑ කපිතාන් ජැක් ස්පැරෝ ලෙසින් හැඳ පැලඳගෙන.

ඩිස්නිලන්තයේ Pirates of the Caribbean  චිත්‍රපටය වෙනුවෙන් වෙන් වූ ස්ථානයේ නිර්මාණය කර ඇති නෞකාව මතට නැඟී නරඹන්නන් පුදුමයට පත් කරලා. චිත්‍රපටයේ රංගනය නැවතත් සජීව ලෙසින් දකින්න ලැබීම ගැන නරඹන්නන් අතිශයෙන් ප්‍රීතියට පත් වෙලා.

ජොනි ඩෙප් ස්පැරෝස් ලෙසින් ඩිස්නිලන්තයට ගියෙත් නිකම් නම්නෙවෙයි. Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ පස්වැන්න ළඟදීම තිරගත වෙන්න නියමිත නිසා. Dead Men Tell No Tales නම් වූ එය ලබන 11 වැනිදා තිරගත කෙරෙනවා. කපිතාන් ජැක් ස්පැරෝස්ගේ ඩිස්නිලන්ත ගමනේ අරමුණ වුණේ, මේ අලුත් චිත්‍රපටය වෙනුවෙන් ප්‍රේක්ෂකයාගේ උනන්දුව ඉහළ දැමීමයි.


Split + Unbreakable = Glass

ඉන්දීය සම්භවයක් ඇති අමෙරිකානු සිනමා අධ්‍යක්ෂ එම්. නයිට් ශ්‍යාමලන් අලුත් චිත්‍රපට නිර්මාණ කාර්යයක් පටන් අරන්. මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ මීට ටික කලකට පෙර තිරගත වූ චිත්‍රපට දෙකක දෙවැනි දිග හැරුමක් ලෙසින්.

2000 වසරේදී තිරගත වූ ත්‍රාසජනක සුපිරිවීර කතාවක් ගෙන ආ Unbreakable සහ මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක කතාවක් ගෙන ආ පසුගිය වසරේ තිරගත වූ Split චිත්‍රපට ද්විත්වයේම දෙවැන්න ලෙසින් එක් චිත්‍රපටයක් නිර්මාණය කරන්න ශ්‍යාමලන් පියවර අරන්. ඒ අනුව Unbreakable චිත්‍රපටයේ බෘස් විලිස් සහ සැමුවෙල් එල් ජැක්සන් සහ Split හි ප්‍රධාන චරිතයට පණ පෙවූ ජේම්ස් මැකොයි මේ නව චිත්‍රපටයටත් රංගන දායකත්වය ලබා දෙනවා.

එය නම් කර තිබෙන්නේ Glass නමින්. Glass 2019 වසරේදී තිරගත කරන්න නියමිතයි. මේ කතා ද්විත්වයේ ඉදිරිය ශ්‍යාමලන් කෙසේ ගළපා ගන්නේද යන්න ලොවපුරා සිනමා රසිකයන් ඉමහත් උන්දුවෙන් බලා සිටිනවා.