වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




විස්කි වෙනුවට විම්ටෝවලට වෙරි වුණා

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

විස්කි වෙනුවට විම්ටෝවලට වෙරි වුණා

පියදාස සිරිසේනගේ 'ඩිංගිරි මැණිකා හෙවත් වික්‍රමපාලගේ පළමුවෙනි වික්‍රමය' නවකතාව ඇසුරෙන් 1956 වසරේ නිෂ්පාදනය වූ 'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළු නිළියන් අතර අද ජිවතුන් අතර සිටින එකම නිළිය කෝට්ටේ බංගලා හන්දියේ මිෂන් පාරේ 11 ඒ නිවසේ පදිංචිව සිටින්නීය.

ඇය සීතා නානායක්කාරය.

'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයේ දෙවන ප්‍රධාන චරිතය මැගීය. මීවිටිගල වලව්වේ සිටි මෙහෙකාරිය මැගී ඉතා සංකීර්ණ චරිතයකි. ඩිංගිරි මැණිකා අතුරුදන් වීමත් මැගීගේත් සැඟ වී යාම පිළිබඳ රහස සොයන්නේ රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්‍රමපාලය. ඔහු මැගීගේ බත් කඩය වෙත යන්නේ මේසන් බාස් උන්නැහේ කෙනෙකු ලෙස වෙස්වලාගෙනය. බොරු හැඳිනීමක් මවා පාමින්, බීමත්ව සිටි බවක් පෙන්නා මැගීට ද විස්කි පෙවීමට වික්‍රමපාල සමත් විය. බීමතින් සිටි මැගී හා වික්‍රමපාල ගී ගයමින් නැටුවේය.

'මෙදා පොටේ වැඩේ හරි - කාලෙ හොඳා' මැගී ගැයුවාය.

'හා හා සොයාපු දේ සම්බ වුණා කාලෙ හොඳා' වික්‍රමපාල ගැයුවේය.

'හා හා මෙදා පොටේ වැඩේ හරි කාලෙ හොඳා'

'රටේ තොටේ - ගමේ ගොඩේ - කඩේ පිලේ සොයා ගියා

සොයාපු දේ සම්බ වුණා කාලෙ හොඳා'

මේ ගීතය වික්‍රමපාල වෙනුවෙන් මොහිදීන් බෙග් පසුබිම් ගී ගැයූ අතර, මැගී වෙනුවෙන් පසුබිම් ගීත ගැයුවේ සීතා නානායක්කාරය. ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර. සංගීතය අධ්‍යක්ෂණය කළේ සම සංගීත අධ්‍යක්ෂ ඉන්දීය ජාතික එස්. එස්. වේදාය.

'මගේ ජීවිතයේ අමතක නොවන රඟපෑමක් මම 'ඩිංගිරි මැණිකා' චිත්‍රපයේ රඟපෑවේ. මැගී කපටි, සූර, එඩිතර ගැහැනියක්. ඇය සුරා පානය කරන්නියක්. මේ චිත්‍රපටයේ කෝන්ගොඩ වික්‍රමපාල ලෙස රඟපෑ සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහත්තයා මට චිත්‍රපටයේ හැටියට විස්කි පොවනවා. මම ඇත්තටම බිව්වේ 'විම්ටෝ' කියන සිසිල් බීමයි. හැමෝම හිතුවේ මම ඇත්තටම බිව්වා කියලා. චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න ආපු අගමැති බණ්ඩාරනායක මහත්තයාත් හිනාවෙලා ඇහැව්වා 'මේ ළමයා බීමත්වද? රඟපෑවේ කියලා'. නිෂ්පාදක නීතිඥ සෝමරත්න මහත්තයා කිව්වා 'සර් මෙයා විම්ටෝ බීලා ඇට් කළේ' කියලා. මාත් බෙග් මාස්ටර් නටමින් අර ගීතය ගයන කොට මංගල දර්ශනය පැවැත් වූ සැෆයාර් සිනමා ශාලාවේ ප්‍රේක්ෂකයෝ හිනා වෙවී අත්පුඩි ගසමින් ප්‍රතිචාර දැක්වුවා.' සීතා කීවාය.

1956 වසරේ 'ඩිංගිරි මැණිකා' තිරගත වන විට සීතා ජනප්‍රිය ගුවන් විදුලි ගායිකාවක් හැටියට ජනප්‍රිය වී සිටියාය. ඒ කුඩා කලම ඩී. ඩී. ඩැනී සමඟ ගැයූ මේ ගීතයෙනි.

'වේවා ඔබ මගේ සුදු අයියා

හැම දිනකම මේ ලෙස පතමි මෙමා

දිය කැපුවත් යළි පෙර සේ හා වෙද

වේවා ඔබ මගේ සුදු අයියා'

මේ ගීතය හින්දි ගීතයකට අනුව සරත් විමලවීර රචනා කළ අතර සංගීතය මෙහෙය වූයේ ඩී. ඩී. ඩැනීය.

සීතා ගුවන් විදුලියේ සිරි අයියාගේ (යූ. ඒ. ඇස්. පෙරේරා) ළමා තීරයෙන් (1948) දොරට වැඩි ළමා ගායිකාවකි. එවකට ඇය ගැයු මුල්ම ගීතය 'සුමනා සුමනා'ය. 1951 බුෂල්ස්ගේ 'ආධුනික පැයට' සුසිල් ප්‍රේමරත්න ගැයූ 'මිහිරි සුවඳ' නමැති ගීතය ගයා පළමුවැනි ස්ථානය සීතා දිනා ගත්තාය. ඒ සමඟම ගුවන් විදුලියේ 'ජයග්‍රාහක පෙලපාලිය' වැඩ සටහනට සහභාගි වී ප්‍රථමයා වී පාකර් 51 පෑනක් දිනා ගත්තාය. 'මාසික රැඟුම්' වැඩ සටහනින් ජනප්‍රසාදය ලැබූ සීතා ඒ. ජේ. කරීම් සමඟ ගැයූ ගීතය එකල ගුවන් විදුලියේ ඉතාමත් ජනප්‍රිය වී ඇත.

'මේ ශාන්ත වූ රෑ කාලයේ

පෙම් පානා හදේනි ප්‍රීති දේ'

සිසිර කුමාර මානික්කආරච්චි ලියූ මේ ගීතය සංගීත නිර්මාණය පී. එල්. ඒ. සෝමපාලය. ඒ කාලයේම ගැයූ 'හෙළ දිව පිපි කමලේ', 'මාල ගෙළ දමා නටන නිළිය ද මේ' ගීත කුඩා කාලයේ සිටම ඇගේ අනාගතය කියාපාන කැඩපතක් වී ඇත.

1938 මැයි 09 වෙනිදා උපත ලැබූ සීතා එකොළොස් දෙනකුගෙන් යුත් පවුලක 9 වෙනියාය. ඇගේ සොහොයුරියන් වූ විනීතා නානායක්කාර පුවත්පත් කැමරා ශිල්පිනියක් ලෙස ප්‍රකටව සිටි අතර අනික් සොහොයුරිය මල්ලිකා නානායක්කාර ද ගායිකාවකි.

'මගේ තාත්තාගේ නම ගමගේ ග්‍රෙගරි නානායක්කාර. ගම ගාලලේ. සපත්තු කර්මාන්තයේ පුරෝගාමියෙකු වූ තාත්තාට කොටුවේ කෙයිසර් වීදියේ තිබුණ ජී. ජී. නානායක්කාර කියල සපත්තු සාප්පුවත් හා පින්තුර සාප්පුවත් ඒ කාලේ තිබුණ පරණම සාප්පු. අම්මා වයලට් නානායක්කාර. ගම මහනුවර. සීතා අතීතය සිහිපත් කරමින් කීවාය.

සීතා කුඩා කළ සිට ගායනයට මෙන්ම නර්තනයටත් දස්කම් දක්වා ඇත. ප්‍රේම කුමාර්, ශේෂා පලිහක්කාර, හීන්බබා ධර්මසිරි, සල්දීන්, ඇස්. ප්‍රේමවතී ආදීන්ගෙන් නැටුම් ඉගෙන ගත් ඇය ශේෂා පලිහක්කාරගේ 'පුෂ්පා ශෘංගාරය', 'ඉරිදා පොළ' ආදී මුද්‍රා නාට්‍යවල ද, සල්ඩීන්ගේ මුද්‍රා නාට්‍ය හතරක ද නර්තනය දක්වා ඇත.

'මම මුලින්ම ඉගෙන ගත්තේ කොළඹ රිජන්ට් පාරේ තිබුණ ප්‍රෙස්බිටේරියන් පාසලේ. ඊළඟට බොරැල්ලේ ගෝතමී බාලිකාවට ගියා. අන්තිමටම ඉගෙන ගත්තේ කොළඹ 07 බෞද්ධ කාන්තා විද්‍යාලයේ. කලා ජීවිතයේ විශ්ව විද්‍යාලය ගුවන් විදුලියේ ළමා මණ්ඩපය. සිරි අයියා, සෝම අක්කා, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, එච්. ඇම්. ගුණසේකර, ප්‍රභා රණතුංග, නන්දා ජයමාන්න මට උපකාර කළ අයියලා අක්කලා. පාසලේ මම ඉංග්‍රීසි නාට්‍යවල රඟපාලා තෑගි අරන් තියෙනවා.' සීතා කිවාය.

ගුවන් විදුලි නාට්‍යවල ද සීතා රඟපා ඇත. සරත් විමලවීරගේ 'අබිරහස', 'එහෙත් තවමත් ඈ මගේ', 'කැප්පෙටිපොල' ආදී ගුවන් විදුලි නාට්‍යවල මෙන්ම ජේ. ඩී. ඒ. පෙරේරාගේ 'වෙස්සන්තර' 'හරිශ්චන්ද්‍ර', 'ශ්‍රී වික්‍රම' නාට්‍ය ද, වෛද්‍ය විද්‍යාලය ඉදිරිපත් කළ 'මායාවතී' මෙන්ම සුදාස් මාස්කෝරලගේ නාට්‍යවල රඟපෑමට ඇයට අවස්්ථාව ලැබිණ.

'මායාවතී' නාට්‍යයේ පින්තූරයක් ඩේලිනිව්ස් පත්තරේ පළ වෙලා තිබුණා. මෙය දැක නීතිඥ එස්. ද එස්. සෝමරත්න මහත්මයාත් විමලදාස පෙරේරා මහත්තයත් මාව 'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයට තෝරා ගත්තා. ඊට ඉස්සර සිරිසේන විමලවීර මාස්ටර්ගේ 'අසෝකා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ පුෂ්පා ජෙනට්ගේ යෙහෙළියක් ලෙස රඟපෑවා. සුළු චරිතයක්. 'ඩිංගිර මැණිකා' චිත්‍රපටයේ මා සමඟ හොර නායක අගේරිස් ලෙස රඟපෑ බන්දුල ශ්‍රී සරච්චන්ද්‍ර මහතා (සිළුමිණ පත්‍රයේ හිටපු කර්තෘ) සමඟ රඟපෑ දර්ශන මට කිසිදා අමතක වෙන්නේ නැහැ. ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ රඟපාන කොට මට වයස අවුරුදු 17 යි. අවුරුදු 19 දී 1957 මම ඉංජිනේරුවකු වූ ඩොනල්ඩ් ගුණසේකර (ඔහු රබර් සපත්තු කර්මාන්තයේ ප්‍රවීණයෙකි) සමඟ විවාහවීමෙන් පසු සිනමාවෙනුත් කලාවෙනුත් සමු ගත්තා. මට දරුවන් පස් දෙනෙක් සිටිනවා. සන්ධ්‍යා, රාජිනි, තමරා, අමෝමා දියණියන් ගුරු වෘත්තියේ නියැලී සිටින්නේ. එකම පුතා මංගල ව්‍යාපාරිකයෙක්. මට මුනුපුරු මිණිපිරියන් නව දෙනෙක් ඉන්නවා.' සීතා කීවාය.

1984 දී ටෙලි නාට්‍ය රංගනයට එක් වූ සීතා ටයිටස් තොටවත්තගේ 'රන් කහවණු' ටෙලි නාට්‍යයේ සබීතාගේ මව ලෙස ද ජනක මල්ලිමාරච්චිගේ 'ලිස්සන ගහ' ටෙලි නාට්‍යයේ ගෝතමී පතිරාජගේ මව ලෙස ද, චන්ද්‍රරත්න මාපිටිගමගේ 'ඉරට අඬන මල්' ටෙලි නාට්‍යයේ ද, දයාරත්න රටගෙදරගේ (සීතා ටෙලි නාට්‍යවලට හඳුන්වා දුන්නා) ටෙලි නාට්‍යවල ද රඟපෑවාය.