වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ගායක ගායිකාවෝ දෙපැත්තට කඹ අදිති

ගායක ගායිකාවෝ දෙපැත්තට කඹ අදිති

ගායක ගායිකා සංගමයේ අවුරුදු උලෙළේ රසමුසු තැන්

කවාකාර පිට්ටනිය. ඒ පුරා බිම දිගට පැතිරිච්ච් තණබිස්ස. කොස්වත්ත පාලම් තුන හන්දියට වෙනදට ඊට අල්ලපු වැටේ පිට්ටනිය හුරුපුරුදු එහෙම. ඒත් ඒ ඒකාකාරී ගතිය දිහෑට නෑරිච්ච දෙනෝදාහක් දෑස් තියෙන්නේම ඒ පිට්ටනිය දිහෑටම හැරීගෙන.

එකම අව් අල්ලියකින් පිච්චි පිච්චි තිබුණත් එතැන ඒ තණබිස්ස උඩ අද අපූරු මංගල්‍යයක්. සූර්ය මංගල්ලයේ උද්දාමයෙන් ඉපිල ඉපිල නිරන්තරයෙන් ගුවනින් අපට ගයන ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ රොත්තක්ම අවුරුදු උදාවේ ප්‍රීතිය සමරන්න ඒ පිට්ටනියට ඇවිදින්.

උදහැක්කේම පන්දු කෙළිය. වෙනදට ඇස් නිලංකාර කරන පාට ඇඳන් ප්‍රසංග වේදිකාවට ගොඩවෙන හුඟ දෙනෙක් අද වෙනස්. ගායිකාවොත් සූට් බූට් ගහගෙන බෝල පිතිත් අරන් බැහැපි ක්‍රිකට් කෙළියට.

සමහරු උපන්තේකට බෝලයක් පිත්තක් නාල්ලපු ගානයි. ඒත් ඒක එහෙම නොවන්නට ඒ මැච්චෙක බල බලා හිනාවෙන ආරාධිත නළු නිළි රොත්තටත් එච්චරටම කැකිරි පැළෙන්න හිනා නොඑන්න ඉඩ තිබුණි. රවීන්ද්‍ර රන්දෙණිය, රොජර් සෙනෙවිරත්න, නදීෂා හේමමාලි ඒ වගට සාක්කි දරනවා.

ගායිකාවො - ගායිකාවොයි, ගායකයොයි ගායිකාවොයි, ගායකයො ගායකයොත් කල්ලි හැදි හැදී මාරු වෙවී පන්දු කෙළිනවා. ඒ නුහුරු නුපුරුදු ක්‍රිකට් ගැහිල්ලෙන් ඒ හුඟ දෙනකුගෙ හොඳ පණ යනවා. ඒ දිහෑ බලා ඉන්න හුඟ දෙනෙකුගේ පණ යන්නෙම බඩ බදාගෙන හිනා වෙලා.

වේග රිද්මෙට කප් ගැහැව්ව ක්‍රිස්ටීන්, කොරීන්, ජූඩ්ලාගේ අද ඒ ආවේශ ගතියක් හොයා ගන්ඩවත් නෑ. අලියට ඇහැ තියන්න කණා මුට්ටි බිඳින්න එහෙම කලබලෙන් බැහැනේ. ඒ වුණත් ස්වර්ණලතා කවීෂ්වර, චන්ද්‍රා රණතුංග, ශීලා පරණමානගේ, මල්කාන්ති නන්දසිරි, පුණ්‍යා කත්‍රිආරච්චි, ප්‍රියානි විජේසිංහලාගේ උපන්තේකට රසිකයා නොදැක්ක කඩිමුඩිය කවුරුත් දකින්නේ මේ අවුරුදු උත්සවේ තරග පිට තරගවලදි.

අමල් පෙරේරා දවසේ තරුව. බරට බරේ තෑගි පෙට්ටි හත අටක්ම අමල් දිනාගත්තේ අන්ධයාට කිරි කවලා, මැරතන් දුවලා එහෙම හුඟක් දඟලලා කරලා. ජෝඩු ජෝඩුවලට තිබ්ච්ච තරගවලදී අමල්ගේ පාට්නර් වුණේම ජානකී විජේරත්න. ගෝනි පැනිල්ලෙන් කප් එක ගැහැව්ව ජානකී මැරතන් දිවිල්ලෙනුත් නිල්මිණි කෝට්ටෙගොඩව පරද්දලා දිනුවේ නිල්මිණිට දිනුම් කණුව පෙනී තියෙද්දී. ඒ තරගේ පළවැනියාට දෙනවය කිව්ව වටින කියන ෆෑන් එක නැති වෙලා දෙවැනියාට දුන්නු වෝටර් ෆිල්ටරේ ලැබුණේ නිල්මිණි කෝට්ටේගොඩට. ඒ දුකටදෝ කොහෙද නිල්මිණි ඇඬීමේ තරගෙදි පෙරළි පෙරළි ඇඬුවේ. එහෙව් ඇඬිල්ලක් අඬන්න මායා ෆිල්ම්මෙකේ එහෙම රඟපාලා ලැබිච්ච අත්දැකීම් බලපාන්ඩැති.

එකෙන්ම ඕනම තරගෙකට ඔට්ටු මධුමාධව අරවින්ද, චමිත් ජයංග, යොමාල් සංජීව, රොහාන් ද සිල්වා, තර්ස්ටන් සිල්වා, විජිත් ද සිල්වා පිට්ටනියේම හිටියේම ඕන අව් කූටකේකට ඔට්ටු වෙලා.

අව් කූටකෙන් ටිකක් වහන් වෙලා විජේරත්න වරකාගොඩ උන්නත් ෆීලික්ස් ඇන්ටන්, රූපා ඉන්දුමතී, සංජීවනී වීරසිංහ, අතුල ශ්‍රී ගමගේ එහෙම අඹ යාළු ගායක ගායිකාවන්ට හුරේ දදාමයි ඉන්නේ. ඒ අස්සේ කීර්ති පැස්කුවල්ට (සභාපති), ජානක වික්‍රමසිංහ (ලේකම්) අධික වැඩ . මැණික් චන්ද්‍රිකා, කමලා රණතුංග, අයිරින් ලියනගේ එහෙම විඩක් ලක ලෑස්තිය රබන් පදයක් ගහන්ඩ. ඔය අල්ල පනල්ලේදියි මේ යොදියො තඩිබාන්ඩ යන රබනෙ කකුලක් කැඩිලා කියලා නිල්මිණි කෝට්ටෙගොඩ දකින්නේ. සේරෝටමත් වඩා නිල්මිණි බෙරිහන්දීලා ඒ කතාව කිව්ව විදිහට කාටත් හිනා. රොජර් සෙනෙවිරත්නයි සිරසේ ප්‍රියන්ත විජේසිංහයි එකතු වෙලා නිල්මිණිව උස්සල බිමින් තියනකල් ඉතින් නිල්මිණි බෙරිහන් දුන්නු තරමක්! ස්වර්ණලතා කවීෂ්වරගේ එකම දියණියයි අවුරුදු කුමාරි විදියට කිරුළු පැලඳුවේ. ඒ සතුටට ප්‍රියනාත් රත්නායකගේ බිරිය මනෝජාත් ඇයට වෙනමමත් තෑග්ගක් තෑගි කරනවා. එහෙව් අනෙක් ලක්කාරයා රොජර්. සිඟිති අවුරුදු කුමාරි විදියට දිනුවෙ රොජර්ගේ දෝණි.

ඉඳිකට්ටට නූල දැමීමේ තරගෙට ගෙදරින්ම ඉඳිකටු නූල් කරපින්නාගෙන ආවය කියලා කතාවක් හැදුණේ තවත් නව පරපුරේ දක්ෂයකුට. බිරිය සහ දරුවන් සමඟම පැමිණි ඔහු ලෙලුම් රත්නායක. ඒත් ලෙලුම්ට ඒ තරගෙත් දිනන්න නම් බැරි වෙච්ච වගක් තමයි අහන්න තියෙන්නේ.

නදීෂා ද සිල්වා, අනුරාධා, සංජිවනී එහෙම ළමා තරග විනිශ්චයටත් එක් වෙලා. අර්නස්ට් සොයිසා, අමරසේන වඩුගේ, සුජාතා අත්තනායකට ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නත් බාර වෙලා. ඒ සේ්රෝම මැද්දේ වාදක මඩුල්ලක් කැඳවාගෙන ගී ගැයූ මෙයාලගේ ගී මිහිරෙන් අවුරුදු උත්සවේ තරග කරලා ඇති වෙච්ච විඩාවත් මැකි මැකී යනවා. ප්‍රසංග වේදිකාවේ නිවේදන කලාවේ රාජිණිය විරුදාවලි ලබන චිත්‍රා කුමාරි කළුබෝවිල වගේම ඉලියාස් බෙග් එහෙම ඒ වේදිකාවේ ගී ගයනවා.

මේ අතරතුර ලැබෙන ඉස්පාසුවකදී මේ ප්‍රවීණ සහ නැගී එන ගායක ගායිකාවො කතා කරන්නේ තම තමන්ගේ ජීවිත ගැන. එහෙව් එක් තැනකදී සූරියකුමාර් මුත්තලගේ එයාගේ ගජ මිතුරකුට ළඟකදී වෙච්ච අකරතැබ්බයක් කියලා හීනියට හිනා වෙනවා.

‘ඊයෙ පෙරේදා මං පිළියන්දල පැත්තේ සංගීතෙකට ගිහින් සින්දු කිවුවා. මං ආපිට එද්දී ලියුම් කවරයක් දීලා ප්‍රසංග සංවිධායක මට ස්තුති කළා. ගෙදර ගිහින් මං ඒක බිරින්දෑට දුන්නා. බිරින්දෑ ඒ කවරෙ කඩා බලලා තියෙද්දී ඒකෙ තිබුණෙ පොරොන්දු ගාණට වඩා බින්දු දෙකක් අඩුවෙන් වටිනා මුදලක්.

ඒ කතාව අහගෙන හිටිය සූර්ය කුමාර්ගේ මිතුරාත් හරි අපූරු විදියට ඊට උත්තර බඳිනවා. ‘ඕවා අද ඊයේ නෙවෙයි එදා ඉඳන්ම තිබිච්ච ඒවා. සනත් නන්දසිරිටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවාලු.

මේ ළඟකදී ආධුනික ගායකයන් දෙන්නකුත් එක්තරා සංගීතයකදී ඔහොම දෙයක් වෙලා තියෙනවා. ඒ දෙන්නත් සින්දු කියලා ඉවර වුණාම සංවිධායක ලියුම් කවර දෙකක් දීලා. එයාලත් ගෙදර ගිහින් බලද්දී ඇස් උඩ ගිහින්. ඒ කවර දෙකට දාලා තියන්නේ දෙකට කැපුව එකම දාහේ කොලේක බාග දෙක. ඒ කතාවට කන්දීලා වේදිකාවෙන් පහළ බලද්දී සවස් යාමේ හමුදා කෑලෑ ඇඳුමට සමාන රෙද්දකින් මහ ගත්ත ගවුමක් ඇඳගත්තු සැඟවුණු අමුත්තියක් වට කරගත්ත ලොකු පිරිසක් පෙනෙනවා. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි සමිතා එරන්දතී මුදුන්කොටුව.