වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




සෝරත හිමි නිසා ලංකාවේ ජනප්‍රියම ළමා නළුවා වූ කවිෂ් විහඟ

සෝරත හිමි නිසා ලංකාවේ ජනප්‍රියම ළමා නළුවා වූ කවිෂ් විහඟ

උපන්දිනය ඩුබායි හිදී සමරයි

ඔබ කවිෂ් විහඟව හඳුනනවාද?

එහෙම කිව්වොත් ඔබ මඳක් කල්පනාකරාවි ඒ කවුද කියලා.

නමුත් මම ඇසුවොත් සිඳු හි සෝරත හාමුදුරුවන්ව දන්නවද කියලා දෙවතාවක් නොසිතා ඔබ කියාවි මොකද නොදන්නේ කියලා. මේ සෝරත හාමුදුරුවෝ කොච්චර ජනප්‍රිය ද කියලා කියනවා නම් කවිෂ්ට කරදරයකින් තොරව මහ පාරේ මීටර් දහයක්වත් ඇවිදගෙන යන්න බැහැලු. ඔහුව දුටු ගමන් මිනිස්සු ඔහුව වට කර ගන්නවාලු. මෑත කාලයේ බිහි වූ ජනප්‍රියතම ළමා නළුවා මේ කවිෂ් බවට නම් වාදයක් නැහැ. මේ ඇති කරගත් ජන ප්‍රසාදය නිසාම කවිෂ්ට පසුගිය අවුරුදු සමයේ විදෙස් ගතවීමට අවස්ථාවක් ලැබිලා. ඒක තමයි ඔහුගේ පළමු විදෙස් සංචාරය. එය සිදුවෙලා තියෙන්නේ කවිෂ්ගේ උපන් දිනයදා වීමද තවත් විශේෂත්වයක්.

ඩුබායි රටට තමයි කවිෂ් මෙහෙම ගිහිල්ලා තියෙන්නේ. තමන්ට රට යන්නට අවස්ථාවක් ලැබුණු බැව් දැනගත් කවිෂ් එදින සිට ඇඟිලි ගැන ගැන සිටියලු.

මං ප්ලේන් එකක් ඇත්තට දැකලා තිබුණේ නැහැනෙ. පින්තූරවලින් විතරයි දැකලා තිබුණේ. ඉතින් මට ප්ලේන් එකක් ඇත්තට දකින්නත් ආස හිතුණා. අම්මෝ ඒකේ ලොකු.

කවීෂ්ගේ සුරතල් කට ඇරුණේ ප්ලේන් එක මතක් වෙලා. එතැනින් එහාට ඔහුගේ කට මුකුත් කියන්නේ නැති හැඩයි. එහෙයින් කවිෂ්ගේ මව චතුරිකා ප්‍රියංගනී ඉතිරිය මෙලෙස පැවසුවා.

අපේ පවුල දැඩි හිතවත් දෙදෙනකු ඉන්නවා. ඒ ශනාරි පෙරේරා සහ රොෂාන් පෙරේරා. පනාගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලෙන් කොළඹ ශාන්ත පීතර විදුහලට කවිෂ්ව ඇතුළත් කළේ ඔවුන්. මේ යුවල සිටින්නේ ඩුබායිවල. එහි වාර්ෂිකව පවත්වන අවුරුදු උත්සවයකටයි කවිෂ්ට මෙලෙස ඔවුන් ඇරැයුම් කළේ. ඒ සඳහා කවිෂ්ව රැගෙන යාමට ශනාරි කතහනියෙන් ලංකාවට ආවා. ඇවිත් දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාව හමුවෙලා අවසරය ගත්තා. පසුගිය දහ අට වැනිදායි අපි ලංකාවෙන් පිටත් වුණේ. විසිඑක අවුරුදු උත්සවය. දහ නමය තමයි කවිෂ්ගේ උපන් දිනය.

ඒ වෙනුවෙන් රොෂාන් සහ ශනාරි දැවැන්ත පාර්ටි එකක් සංවිධානය කරලා තිබුණා ඩුබායි රෙස්ටුරන්ට් එකක. ඒ සඳහා සැහෙන පිරිසක් සහභාගි වුණා.

අම්මේ එදා මගේ කේක් එක හරිම ශෝක් නේද? ස්පයිඩර් මෑන් වගේ හදලා තිබුණේ. කොහොමද අම්මේ එයාලා දන්නේ මං ස්පයිඩර් මෑන්ට ආසයි කියලා.

කවිෂ් උපන් දින කේක් එක මතක් වී මවගෙන් ප්‍රශ්න අසයි.

එහෙම තමයි. පුතා ගැන දැන් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ හැමෝම දන්නවා.

චතුරිකා කවිෂ්ව සනසයි.

අම්මේ . . .

කවිෂ් නැවතත් මව අමතයි.

එදා මගේ උපන් දිනයට එහෙ තැන් පහක කේක් පහක් කැපුවා නේද. සාමාන්‍යයෙන් උපන් දිනයකදී කපන්නේ එක කේක් එකයි නේද. ඇයි අම්මේ මට විතරක් කේක් පහක්?

කවිෂ්ගේ සුරතල් හඬින් නැවතත් ප්‍රශ්න මාලාවක්. සැබවින්ම මේ උපන් දිනය කවිෂ්ට විශේෂයි. ප්‍රධානම හේතුව එය සමරන ලද්දේ විදෙස් රටක බැවින්ය. අනෙක් විශේෂත්වය ඩුබායිහිදී ඔහුට කේක් හයක් කපන්නට වීමය.

පුතා එහේ ගොඩක් ජනප්‍රියයි. වැඩි දෙනෙක් අන්තර් ජාලය හරහා සිඳු බලනවා. ඒ හින්දා කිහිප දෙනෙක්ම කේක් ගෙනත් තිබුණා කවිෂ්ගේ උපන් දිනය වෙනුවෙන්. ඉතින් ඒ කේක් පහම කැපුවා. ලංකාවට ආව සැනින් මෙහෙත් පොඩි උත්සවයක් තියලා කේක් එකක් කැපුවා. එතකොට කපපු සම්පූර්ණ කේක් ගණන හයයි.

අවුරුදු උත්සවය දින වෙනදාටත් වඩා සෙනඟකි. තමන් ආදරය කරන සෝරත පොඩි හාමුදුරුවන්ව නැරැඹීමට එදින දහස් ගණන් පොරකෑවලු.

සංවිධායක මඬුල්ල කිව්වා මෙචචර කල් සංවිධානය කළ අවුරුදු උත්සව අතරින් වැඩිම සෙනඟක් ආවෙ මේකට කියලා. ඒ කවිෂ් පුතා නිසා. එයාව වට කරගන ෆොටෝ ගන්නවා ගන්නවා ඉවරයක් නැහැ. කවීෂ්ටත් ඒ පිරිස හිතට ඇල්ලුවා. අන්තිමේ එන්නත් බැහැ කියලා ඇඬුවා.

කවීෂ් මෙවර උපන් දිනය සැමරුවේ එලෙසයි. අපි එම සුවිශේෂී අවස්ථාවේ සේයාරූ කිහිපයක් ද මෙලෙස ගෙන එන්නෙමු.