වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

පාකිස්ථානයෙන් තවත් නිළියක්

පසුගිය කාලයේ ඉන්දු - පාකිස්ථාන දේශ සීමා අරගලය බොලිවුඩයටත් ලොකු බලපෑමක් කළා. Ae Dil Hai Mushkil, Raees, Dear Zindagi වැනි චිත්‍රපට තිරගත කිරීමට දැඩි අර්බුධයකට මුහුණ දෙන්න එම නිෂ්පාදක කණ්ඩායම්වලට සිදු වුණා.

ෆාවද් ඛාන්, මහිරා ඛාන් වැනි පාකිස්ථාන නළු නිළියන්ට ඉන්දියාව අතහැර පාකිස්ථානයට යත තැනටම මෙම විරුද්ධවාදීන් කටයුතු කළා. ඔවුන් සමතයකට පත් වුණේ යළිත් පාකිස්ථාන නළු නිළියන් බොලිවුඩ් සිනමා නිර්මාණවලට දායකකර නොගන්නා බවට පොරොන්දු වීමෙන් අනතුරුවයි.

සකේත් චෞද්‍රි අධ්‍යක්ෂණය කර ඉර්ෆාන් ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කරන Hindi Medium චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ දෙන්නේ පාකිස්ථාන නිළි සාබා ක්මාර්. ලබන 12 වැනිදා තිරගත කිරීමට නියමිත මෙම චිත්‍රපටය ඇයගේ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටය යි. එහි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සාබා ඉන්දියාවට එන්නත් සූදානමින් සිටින බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා.

පසුගිය කාලයේ ඇති වී තිබූ වාතාවරණය සමඟින් ඇයගේ පැමිණීම පිළිබඳ කාටත් ගැටළු මතු වෙලා. නමුත් ඉර්ෆාන් ඛාන් නම් කියන්නේ වැඩි විස්තරයක් පැවසීමට තමන් නොදන්නා බවත් නිෂ්පාදකවරයා සියල්ල පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන බවත්ය. සාබා ක්මාර් උපත ලැබූයේ පාකිස්ථානයේ හයිද්‍රාබාද්හිදීයි. 33 වියැති ඇය පාකිස්ථානයේ ජනප්‍රිය රූපවාහිනි නිළියක්. Manto, Lahore Se Aagey නම් පාකිස්ථාන චිත්‍රපටවල ඇයගේ රංගනයන් සම්මානයට පවා පාත්‍ර වී තිබෙනවා.


 

එහෙත් මෙහෙමයි

70 - 80 දශකවල බොලිවුයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටි නළු විනෝද් ඛන්නා පසුගියදා තම ජීවින රඟ මඩලින් සමු ගත්තා. නළුවකු මෙන්ම නිෂ්පාදකවරකු ලෙසත් බොලිවුඩයට තම හැකියාවන් එක් කළ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් මිය යන තෙක්ම ජනතා සේවයටද කැපවීම විශේෂත්වයක්.

බොලිවුඩයේ ඉහළ නමක් දිනූ මේ නළුවාගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් සහභාගි වී සිටියේ පැරණි පරම්පරාවේ හිතවතුන් පමණක් වීමත් කැපි පෙනුණා. ඒ සම්බන්ධව ඔහුගේ සමකාලීන මිතුරකු වූ රිෂි කපූර්ට හොඳටම කේන්ති ගොස් තිබුණා.

" වර්තමාන නව පුරපුර මෙසේ හැසිරෙනවා නම් කවදා හෝ මගේ මරණය ඔසවාගෙන යාමට කිසිවකු නොමැති බව විශ්වාසයි. ඇත්තටම නව පරපුර ගැන තියෙන්නේ ලැජ්ජාවක්. ඔවුන් ජ්‍යෙෂ්ඨයන්ට ගරු කිරීමට ඉගෙන ගත යුතුයි" රිෂි පැවසුයේ දැඩි ස්වරයකින්. හැබැයි ඉතින් මේ සිදුවීම ලංකාවේ අපට නම් විශේෂයක් නැහැ. සමහරවිට මෙය ඔවුන් අපේ අයගෙන් ඉගෙන ගත්තා විය යුතුයි.


කත්‍රිනාගේ ආරාධනාව

සාමාන්‍යයෙන් ජනප්‍රිය තරු සාමාන්‍ය ජනතාවට තමන්ගේ නිවෙස්වලට පැමිණෙන ලෙසින් ආරාධනා කරන්නේ නැහැ. නමුත් කත්‍රිනා කායිෆ් නම් පසුගිය දවසක නිවෙසට පැමිණෙන ලෙස රසික රසිකාවන්ට ආරාධනාවක් කළා.

මුහුණු පොතේ සටහනක් තබමින් ඇය සඳහන් කර තිබුණේ "මගේ අලුත් නිවෙසේ ලිපිනය දුන්නොත් ඔයාලා එනවාද?" යන්නයි. මේ සටහනට දැනටමත් මනාප මිලියන 2ක් ලැබිලා. "මම ඒ ලිපිනය දෙනකල් ඉන්නේ, නොඉවසිල්ලෙන්. ඒ ඔයාව හමු වෙන්නයි" එහි එක් රසිකයෙක් සටහන් කරලා තිබුණා.

මේ දිනවල කත්‍රිනා අලි අබ්බාස් සෆාර් අධ්‍යක්ෂණය කළ Tiger Zinda Hai චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වෙමින් සිටින්නේ. ඒ වගේම ඇය සහ රන්බීර් කපූර් දායක වූ තෙවන චිත්‍රපටය Jagga Jasoos ලබන ජූලි මාසයේදී තිරගත වෙන්න නියමිතයි.


සංජේ රසික රසිකාවන් වෙනුවෙන්

සන්ජේ දත් පසුගිය කාලය ගත කළේ ඔහුගේ නවතම චිත්‍රපටය Bhoomi රූගත කිරීම් සමඟින්. අතිශය කාර්යබහුල වූ දින 50ක් ඇතුළත එහි රූගත කිරීම් නිම කෙරුණා. අග්‍රා සහ බොම්බායේ ස්ථාන කිහිපයක මෙහි රූගත කිරීම් යෙදි තිබුණා.

එහි අවසාන රූගත කිරීම් වූයේ අග්‍රාහි ජනාකීර්ණ වෙළෙඳ පළක රූගත කිරීමක්. එහි රූගත කිරීම් නරඹන්න විශල ජනකායක් රැස් වී සිටි බවත් ආරංචියි. දර්ශන තලය වෙත සංජේ පැමිණෙන විට 'බාබා', 'මුන්නා' යැයි පවසමින් ඔල්වරසන් දෙන්න පටන් ගත්තා. සංජේ ඔවුන් මඟ හැරියේ නැහැ. තම ආදරණීය රසික රසිකාවන් අසළට ගොස් අතට අත දී ඔවුන්ට සුබ පතන්න සංජේ අමතක කළේ නැහැ.

"මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 35ක් විතර ගත වෙලා. මගේ හොඳ කාල වලදී වගේම නරක කාලවලදීත් ඔවුන් මා සමඟින් සිටියා. කිසිදා මා අතහැර ගියේ නැහැ. මට ඔවුන්ට ළං වෙන්න තියෙන හොඳම ක්‍රමය සිනමාවයි. ඔවුන්ගේ ආදරය මට ගොඩක් වටිනවා. ඒ ආදරයට මම සළකන්නේ සිනමාවෙන්" සංජේ පවසනවා.


අනුෂ්කාගේ සත්ත්ව කරුණාව

අනුෂ්කා ෂර්මා නිරූපණ ක්ෂේත්‍රෙයන් බොලිවුඩ් රංගනයට පිවිස සාර්ථක වූයේ තම කැපවීම නිසාමයි. ඒ විතරක් නෙවෙයි ඇය දැන් සාර්ථක නිෂ්පාදිකාවක්. ප්‍රථම නිෂ්පාදනය වූ NH10 වගේම මෑතකදී තිරගත වූ දෙවැනි සිනමා නිෂ්පාදනය Phillauri සාර්ථක වූ චිත්‍රපටයක්.

ක්‍රිකට් ක්‍රීඩක විරාත් සමඟින් ඇති පෙම් කතාවත් දැන් කාටත් රහසක් නෙවෙයි. මේ හැම දෙයකටම අමතරව ඇයගේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ නම් ඇය සතුන්ට රැකබලා ගැනීමට විශේෂ කැමැත්තක් දක්වන්නියක් වීමයි. අනුෂ්කා සතුන්ට දක්වන කැමැත්ත නිසාම පසුගිය දවසක් ඇය සතුන් වෙනුවෙන් වෙන් කළා.

ඒ වෙනුවෙන් ඇය ගියේ උදයපූරි හි පිහිටි සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානයකට. රාජ්‍ය නොවන සංවිධානයකින් පවත්වාගෙන යන එම සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානයට ගිය අනුෂ්කා දවසක් පුරා එම සතුන් රැකබලා ගැනීමේ කටයුතු සඳහා සහයෝගය දක්වා තිබුණා. Phillauri චිත්‍රපටයෙන් පසුව ඇය මේ දිනවල ඉමිතියාස් අලිගේ චිත්‍රපටයකට දායක වෙමින් සිටිනවා.