වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




මා “නිලංජනා” අතහැර ගියේ නැහැ හැබැයි නිෂ්පාදක සමඟ යළි වැඩ නැහැ

මා “නිලංජනා” අතහැර ගියේ නැහැ හැබැයි නිෂ්පාදක සමඟ යළි වැඩ නැහැ

- නාලක විතානගේ

මේ දිනවල තිරගතවන නිලංජනා සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වූ නාලක විතානගේ පසුගිය දිනෙක අපට කතා කළේ ඔහුගේ නවතම සිනමාපටය වූ සරුංගල් ගැන පවසන්න. ඒ අතරවාරයේ නාලක නිලංජනා නිසා තමන්ට අසාධාරණයක් වූයේ යැයි අප වෙත දන්වා සිටියා. ඒ වගේම ඒ පිළිබඳ ඔහුට ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ද අවැසි බව ද අපට පැවසුවා . නාලක, පළමුව කියන්න ඔබට මූලිකවම ප්‍රකාශ කරන්න ඕන කාරණය මොකක්ද කියලා?

ප්‍රධාන වශයෙන් මට පවසන්න ඕන මෙච්චරයි. මම නිලංජනා ෆිල්ම් එක අතහැර ගියේ නැහැ. එහි නිෂ්පාදක සමඟ වැඩ කරන එක නැවැත්තුවා පමණයි. එහෙත් මේ වන විට ක්ෂේත්‍රය පුරා දුර්මත හැදිලා තියෙන්නේ මම නිර්මාණ අතරමැද දාලා යනවයි කියලා.

* නිලංජනා සිනමාපටය රැකුණේ පෙන්ඩ්‍රයිව් එකක එය තිබුණ නිසා කියලා එහි නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මාධ්‍යන්ට ප්‍රකාශ කරලා තිබුණා?

ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.

සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් පෙන්ඩ්‍රයිව් එකක ගෙනියන්නට බැහැ. ඒකට වැඩි ඉඩ ප්‍රමාණයක් තියෙන හාඩ් එකක්වත් ඕනෑ. ඔහු ඒ දේ පුන පුනා කිව්වත් ඇත්ත මොකක්ද කියලා ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා ඇති. මං බාගෙට ඒ ෆිල්ම් එකේ වැඩ කරලා ඔහුට දුන්නේ නැහැ. මං නිලංජනා ෆිල්ම් එක එඩිට් කරලා ඒක හාඩ් එකකට දාලා නිෂ්පාදකට දුන්නා. පසුව එහි පසු නිෂ්පාදන කටයුතු වෙනුවෙන් ඉන්දියාවට යැව්වා. පසුව යළිත් එය මෙරටට ගෙන්නලා දුන්නේ තිලංක පෙරේරා අතට. ඔහු ඊට සාක්ෂි දරාවි.

* නමුත් නිෂ්පාදක කියන්නේ වෙනමම කතාවක් නේද?

ඔව්. ඔහු කියන්නේ ඉන්දියාවට ගිහින් මේකෙ සියලු පසු නිෂ්පාදන කටයුතු කළා කියලා. ඒක බොරුවක්.

* ඇයි ඔබ නිලංජනා නිෂ්පාදකවරයා සමග අමනාප වුණේ?

ඒක වුණේ මෙහෙමයි. ඔහුත් එක්ක මං නාට්‍යයක් කළා පුනර්ජාය නමින්. එක්තරා අවස්ථාවකදි නිර්මාණයට මූල්‍යමය ප්‍රශ්න ආවා. මං එදා ඉඳලා තීරණය කළා ඔහුත් එක්ක වැඩ කරන එක නවත්වන්න.

* ඔහුගේ පළමු නිෂ්පාදනයේ අධ්‍යක්ෂවරයා වන්නෙත් ඔබ. කලක් අතිශය සමීපතමයින් වුණු ඔබ දෙපළ කතාබහ කරලා ගැටලු විසඳගන්න ගියේ නැද්ද?

ඇත්තම කිව්වොත් එහෙම කතාබහ කරන්නටවත් බැරි' තත්ත්වයක් මට උදා වුණා. ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දී මගේ බිරියගේ පියාට පවා මං ගැන වැරැදි මත ගොස් තිබුණා. පියා කළේ මගෙන් බිරියව ඈත් කරන්න හදපු එක. මගේ පෞද්ගලික ජිවිතය ද කඩා වැටුනා. නමුත් මගේ වයිෆ් යකඩ ගැහැනියක්. ඇය මාව අත්නොහැර හිටියා. අපි දෙන්නා වෙන් වුණේ නැහැ. චෙක් අගරු වුණ නිසා මූල්‍ය වංචාකාරයෙක් හැටියටත් මං හංවඩු ගැහුණා.

* මං ඊළඟට එතනට තමයි එන්න හිටියේ. ඔබ මුල්‍ය වංචාකරුවකු කියලා දැඩි රාවයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර ගියා?

නිෂ්පාදන පාර්ශවයන් තමයි එහෙම රාවයක් පැතිරුවේ. ඔවුන්ට ඕන වුණේ තනිකරම මෙය මගේ වැරැද්දක් බවට පත් කරන්න.

* මේ හේතුව නිසා ද ඔබ පසුගිය කාලේ නිහඬව හිටියේ?

ඔව්. කිව්වට විශ්වාස කරන්න පහුගිය අවුරුදු එකහාමර තුළදී මං කිසිම නිර්මාණයක් කළේ නැහැ. මුල්‍ය වංචාකරුවකු හැටියට හංවඩු ගැහුණා. ඒ හින්දම විවිධ අය මට කතා කර කර තර්ජනය කරමින් මුදල් ඉල්ලුවා. ඔය අතරේ මරණ තර්ජනත් තිබුණා. එහෙම තියෙද්දී කොහොමද නිර්මාණයක් ගැන හිතන්නේ.

* මා දන්නා විදිහට ඔබ වෘත්තීමය නිර්මාණකරුවෙක්. කිසිදු නිර්මාණයක් නොකර කොහොමද ඔබ ජීවත්වීම සඳහා මුදල් හොයා ගත්තේ?

මගේ පාර්ශවයෙන් කිසිදු මුදලක් මගේ පවුලට ලැබෙන්නේ නැහැ. බිරිඳට ස්ථාවර තැන්පතුවක් තිබුණා. එයින් තමයි අප ජිවත් වුණේ. නැත්නම් මෙලහකට අපි මහමඟට වැටිලා.

* මෙතරම් ගැටලු තිබියදීත් ඔබට චිත්‍රපටයක් කරන්න නිෂ්පාදකවරු හමුවෙනවා. කොහොමද එහෙම වුණේ?

මගේ නවතම සිනමාපටයට නිෂ්පාදකවරු මුණ ගැසුණේ කොහොමද කියලා වෙන්න ඇති ඔබ ඔය අහන්නේ. ඔබට වගේම ඒක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නීතිමය ගැටලු තියෙන මට කොහොමද නිෂ්පාදකවරු හමුවන්නේ කියලා. මගේ අලුත්ම සිනමාපටයනේ සරුංගල් කියන්නේ. මට එහි නිෂ්පාදකවරු දෙදෙනා වන තරංග අතුරුලිය සහ ඒ. පාරිස්ටර් මුණ ගැසුණේ මැණික් විජේවර්ධන මාර්ගයෙන්. මං ඒ නිෂ්පාදකවරුන්ට මං ඉන්න ඇත්ත තත්ත්වෙ කිව්වා. එහිදී මා කොතරම් නිවැරැදි ද කියන කාරණයත් ඔවුන් දැක්කා. ඊටත් වඩා ඔවුන් කැමැති වුණා සරුංගල් හි කතා සාරාංශයට. එයට ඔවුන් දෙපොළ එකඟ වී වැඩේ පටන් ගත්තා.

* නිලංජනා හි අධක්ෂවරයා විදිහට ඔබ එහි ප්‍රචාරණ කටයුත්තකටවත් එකතු වන්නට අදහසක් නැතිද?

නැහැ. ඒ වැඩ නිෂ්පාදකවරයාට ඕනැ විදිහට එයා කරයිනෙ.