වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




අමිතාබ්ටත්, රජිනිටත් වඩා ඉහළ ගෙවීමක් ලද නළුවා

අමිතාබ්ටත්, රජිනිටත් වඩා ඉහළ ගෙවීමක් ලද නළුවා

පෞද්ගලික ජීවිතය

 

විමෝද්ට පළමු බිරිය ගීතාංජලී මුණ ගැසුණේ කොලීජියේ සිප් සතර හදාරද්දීය. 1971 දී දෙදෙනා විවාහ වූහ. රාහුල් සහ අක්ෂේ ඔවුන්ගේ පුතුන් දෙදෙනාය. එහෙත් විමෝද් ඕෂෝ අනුගාමිකයකු වීමත් සමඟ ඒ කැදැල්ල දික්කසාදයෙන් සුනු විසුණු විය. 1985 වසරේදී විනෝද් - ගීතාංජලී දික්කසාද වූ අතර එම වසරේම ගීතාංජලී අවසන් සුසුම් හෙළුවාය.

1990 දී විනෝද් කවිතා ඩැෆ්තාරි සමඟ විවාහ විය. ඔවුන්ගේ පුතු සක්ෂි ද බොලිවුඩයට දොරට වැඩීමට නියමිතය. විනෝද් මුත්‍රාශ පිළිකාවකින් මිය ගියේ බාල පුතු සක්ෂි ඛන්නා, සායිෆ් අලිඛාන්ගේ සහ අම්රිතා සිංගේ දියණිය සාරා ඛාන් සමඟ හා හා පුරා කියා සංජේ ලිලා බන්සාලිගේ සිනමාපටයකින් නුදුරු අනාගතයේදීම තිරයේ දකින්නට පසුබිම සැකසෙමින් පවතිද්දීය.

වයස අවුරුදු හැත්තෑවේදී කෙටි කාලයක් මාරයා හා සටන් වැදුණු තිරයේ වීරයා අප්‍රේල් 27 වැනිදා පෙරවරු එකොළහට ජීවිතයෙන් සමුගෙන එදිනම අවසන් ගමන් ගියේය.

එහෙත් මෙහෙමයි

මළගමදා විමෝද්ගේ සිනමා සගයන් ඔහු අමතක කළේ නැත. රිෂි කපූර්, අමිතාබ් බච්චන්, ජැකී ෂෙරෝෆ් ඇතුළු සමකාලීන තරු රැසක් සහභාගී වුව ද අභිෂේක් බච්චන් හැර නව පරපුරේ කිසිවකු ඊට නොපැමිණීම රිෂි කපූර්, ආශා පරේක් ඇතුළු සියල්ලන්ගේ උදහසට හේතු විය.

විනෝද් මියයාමට පෙර දින රාත්‍රියේ ප්‍රියංකා චොප්රාගේ සාදයට බොහෝ දෙනකු සහභාගි වූ අන්දම රිෂි දුටුවේය. විනෝද්ගේ මරණයේ පුවත ආරංචි වී "බහුබාලි 2" මූම්බායි පූර්ව දර්ශනය අවලංගු කිරීම රිෂිගේ පැසසුමට ලක් විය.

විනෝද් ඛන්නා හින්දි සිනමාවට ප්‍රවේශ වුයේ දුෂ්ඨයකු ලෙසිනි. එහෙත් ඔහු සිනමාවෙන් සමුගන්නා විට රසික හදවත්හි වීරයකු සේ තැන්පත් වී අවසානය. ඔහුගේ ජීවිතය ද එලෙසය. සැම විටම සිදු වුයේ නොසිතූ දෙයකි.

විනෝද්්ගේ මාපියන් කලාවට සම්බන්ධ නැත. පියා පේෂකර්මයට අවශ්‍ය රසායන අලෙවි කරන්නෙකි. ඔහු උපාධිය ලැබුවේ වාණිජ්‍ය අංශයෙනි. විනෝද් සිහින මැව්වේ දුම්රිය එන්ජින් සැලසුම් ඉංජිනේරුවකු වීමටයි. එහෙත් අවසානයේදී ඔහු තිරයේ, දුෂ්ඨයා, වීරයාගේ සහායකයා, වීරයා බවට පත් විය. ඒ සරසවි සිසුවකුව සිටියදී සොල්වාසාල්, මෝගල් ඒ අසාම් වැනි සිනමාපට නරඹා ඇතිවුණු සිනමා ප්‍රේමය නිසාය.

විනෝද් සිනමාගමනය ඇරඹුවේ 1968 දී මන් කා මීත් සිනමාපටයේ දුෂ්ඨයා ලෙස රංගනයට අත්පොත තැබීමෙනි. නළු වෘත්තීයේ ආරම්භයේදී ඔහුට සිදු වූයේ වීරයාගේ මිතුරාවීමට හෝ දුෂ්ඨයා වීමටය. විමෝද් දුෂ්ඨයා වුවත්, වීරයා වුවත්, වීරයාගේ මිතුරා වුවත් රසිකාවන්ගේ පමණක් නොව තිරයේ පෙම්වතිය ද ඔහුට පෙම් බැන්දේය. රාජේෂ් ඛන්නා, ධර්මේන්ද්‍ර වැනි කඩවසම්කමින් පොහොසත් නළුවන්ගේ නාම ලේඛනයේ ඔහුගේ නම ද තිබීම එහි රහසයි.

පූරබ් ඕර් පස්චිම්, සච්චා ජූතා, ආන් මිලෝ සප්නා, මස්තානා ඔහු මුල් යුගයේ රඟපෑ අතිශය ජනප්‍රිය වු සිනමාපටයි.

1973 - 1982 දක්වා කාලයේදී ඔහු භාරත සිනමාවේ ජය කෙහෙළි නැංවූවේය. මෝසමී චැටජි, ලීනා චන්ද්‍රවන්කර්, යෝගිතා බාලි, රේඛා, ශබානා ආස්මි, සයිරාබානු, රාඛී, පර්වින් බබි, රීනා රෝයි, සීනත් ආමන් වැනි තිරයේ බැබලුණු තාරකාවන්ගේ පෙම්වතා බවට ඔහු පත්වුණේය. කුර්බානි, ද බර්නිං ට්‍රේන්, දෝලත්, හත්යාරා, සලිම්, ඉන්තාරා, අචානක් වැනි සිනමාපට වසරේ වැඩිම ආදායම් ලැබූ සිනමාපට අතරට එක්විය.

විනෝද් රැඟූ එකසිය පනහකට ආසන්න සිනමාපට සංඛ්‍යාවෙන් හතළිස් හතක්ම වීරයන් කිහිප දෙනකු තිරයේ රජ කළ සිනමාපටය. ශංකර් ශම්බු, චෝර් සිෂාහී, ඒක් ඕර් ඒක් ග්‍යාරාහ් සිනමාපටවල ඔහු සමඟ වීරත්වය බෙදාගත් අනෙක් වීරයා වූයේ ශෂි කපූර්ය.

හීරා පේරි, කූන් පසීනා, අමර් අක්බර් ඇන්තනි, සමීර්, පර්වාරිෂ්, මුඛාදර් කා සිකන්දර් සිනමාපටවල විමෝද් සහ කරට කර සිට වීරකම් කළේ අමිතාබ් බච්චන්ය. ඔහුගේ හොඳම මිතුරා වූ ධර්මේන්ද්‍ර සමග රක්වාලා, මේරා ගෝන් මේරා දේශ්, පත්තර් ඕර් පායල්, ද බර්නිං ට්‍රේන්, බත්වරා, ෆරිෂ්තේ සිනමාපටවල වීරයා විය.

හින්දි සිනමාවේ ඉහළම ගෙවීමක් ලද නළුවන් අතර ඔහු ද කෙනෙකි. 1974 - 1982 දි ජිතේන්ද්‍රට වඩා විනෝද් ඛන්නාට රංගනයට මිලක් හිමි විය. පර්වාරිෂ්, හේරා පෙරී, කූන් පසීනා, අමර් අක්බර් ඇන්තනි සිනමාපටවලට ඔහුට අමිතාබ් බච්චන්ට වඩා ඉහළ මුදලක් ගෙවනු ලැබීය. එපමණක් නොව ඔහු රිෂි කපූර්ට, ගෝවින්දට, සංජේ දත්ට, රජිනි කාන්ත්, සල්මන් ඛාන්ට වඩා මිලක් ලැබූ යුගයක් ද විය.

1982 වන විට ඔහු නළුවකු ලෙසින් උපරිම ජනප්‍රියත්වයට පත්ව සිටියදී සිනමාවෙන් පස් වසරකට දුරස් විය. ඒ අධ්‍යාත්මික නායක ඕෂෝගේ අනුගාමිකයකු වීම නිසාය. ඔහුගේ නම ද මේ පෙරළියත් සමග ස්වාමි විනෝද් භාරතී ලෙසින් වෙනස් විය.

ඔහුව ඕෂෝ අනුගාමිකයකු කළේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ මහේෂ් භාත්ය. නැවත ඔහු රංගනයට එක් වූයේ ආර්ථික වශයෙන් සුරක්ෂිතවීමට අවශ්‍ය නිසාය.

1987 දී විනෝද් ඛන්නා සිනමාවේ පුනරාගමනය සිදුවූයේ ඉන්සාෆ් සිනමාපටයෙනි. ඉන්සාෆ් හි ඔහුගේ පෙම්වතිය වූයේ ඩිම්පල් කපාඩියාය. ශ්‍රී දේවිය සමඟ රැඟූ චාන්ද්නී, මීනක්ෂි ශේෂාදරී සමඟ රැඟූ ජර්ම්, අමර් අක්බර් ඇන්තනි, මධුරි ඩික්සිත් සමඟ රැඟූ දයාවන් වැනි සිනමාපට අතිශය ජනප්‍රිය විය.

1997 වසර විමෝද්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි. ඔහු දෙවැනි පුතු අක්ෂේ ඛන්නා 'හිමාලේ පුත්‍ර' සිනමාපටයෙන් භාරත රිදී තිරයට හඳුන්වා දුන්නේය. ඒ වසරේම ඔහු භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට දොරට වැඩියේය.

ඔහු 1999 වසරේ සිට ලෝක් සභාවේ සාමාජිකයකු විය. සංස්කෘත හා සංචාර අමාත්‍ය, බාහිර කටයුතු අමාත්‍ය ලෙස ඉන්දියානු පාර්ලිමේන්තුවේ කැපී පෙනෙන චරිතයක් බවට විනෝද් ඛන්නා පත් විය.

මිය යන තුරුම ඔහු ඉන්දියානු පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකි. බොලිවුඩ් තිරයේ විනෝද් ඛන්නා අවසන් වරට පෙනී සිටියේ ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතය රැඟූ 'දිල්වාලේ' සිනමාපටයේය. ඒ 2015 වසරේදීය.

අන්තර් ජාලයෙනි