වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




මන්දාකිනියේ ආරක්ෂකයන් නැවතත්

මන්දාකිනියේ ආරක්ෂකයන් නැවතත්

තම මවගේ අභාවයත් සමඟින් පිරිසකගේ පැහැර ගැනීමකට ලක් වී වෙනත් මන්දාකිනියකට ගෙන යන පීටර් යොන්ඩු නම් අභ්‍යවකාශ මංකොල්ලකරුවා විසින් හදාවඩා ගැනේ. පීටර්ගේ වයස අවුරුදු විසිහය සපිරෙන විටදි ඔහු අංක එකේ සොරෙකු බවට පත් වේ. විකිණිය හැකි ඕනෑම දෙයක් සොරකම් කිරීම ඔහුගේ විශේෂත්වය යි. එක් දිනකදී රිදි පැහැති ගෝලාකාර වස්තුවක් පීටර් විසින් සොරකම් කිරීම නිසා රොනැන් නම් දරුණු පුද්ගලයාගේ කෝපයට ලක්වේ.

ඔර්බ් නමින් හැඳීන්වෙන එම බලගතු ගෝලය ඉතා බලවත් වූ ශක්ති සමුදායකින් සමන්විත ගෝලයක් වන අතර එය සතුව ඕනෑම දෙයක් විනාශකර දැමීමට හැකියාව ඇත්තේය. රොනැන්ගේ අභිලාෂය ද ඔර්බ් තමන් සතුකර ගැනීමයි. පීටර්, ගමෝරා, ඩ්‍රැක්ස්, ගෘට් සහ රොකට් සමඟින් එකතුව රොනැන්ගේ දරුණු ක්‍රියාවන්ට එරෙහිව සටන් වදින්නේ ඔර්බ් ද ප්‍රවේසම් කරගෙනය. දැන් පීටර් හමුවේ වගකීමක් ඇත. එනම් ඔර්බි රැක ගැනීමයි. රොනැන් අතට එය හමුවුවහොත් මුළු මන්දාකිණියේම විනාශය එය වන බැවින් ඔර්බි අතැතිව මණ්දාකිනියේ ආරක්ෂාව පීටර් ඇතුළු කණ්ඩායම වෙත පැවරී ඇත. එබැවින් ඔවුන් මන්දාකිනියේ ආරක්ෂකයෝ ලෙසින් හැඳීන්වේ.

2014 වසරේදී Guardians of the Galaxy  චිත්‍රපටය රිදී තිරයට පැමිණියේ මෙලෙසිනි. මෙම සිදුවීමෙන් පසුව සිදුවන තවත් වික්‍රමාන්විත රැසක් සමඟින් එම මන්දාකිනිය තව තවත් ඈතට තමන් ගන්නා අයුරු එහි දෙවැන්න Guardians of the Galaxy Vol.2 සමඟින් දිග හැරේ. අතීතයේදී ඔවුන්ට සතුරුව සිටි ඇතැම් අය මෙම අලුත් චිත්‍රපටයේදී මිතුරන් බවට පත්වන අතරම මාර්වල් සිනමැටික් විශ්වයේ සිටින චරිතවලට අමතරව තවත් අලුත් චරිත ද එකතුවීමට නියමිතයි.

Guardians of the Galaxy Vol. 2  තිරරචනය සහ අධ්‍යක්ෂණය ජේම්ස් ගන් විසින් සිදුකර තිබේ. අධ්‍යක්ෂවරකු සේම නළුවකුද වන ජේම්ස් ගන් Guardians of the Galaxy චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ද වේ. කෙවින් ෆේජ්ගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වූ Guardians of the Galaxy දෙවැන්නට ක්‍රිස් පැට්, සොඒ සල්ඩානා, ඩේව් බැටිස්ටා, වින් ඩීසල්, බ්‍රැඩ්ලි කූපර්, මයිකල් රූකර් ඇතුළු පිරිසක් මෙහි රංගන හඬ දායකත්වය ලබා දෙති. පළමු නිර්මාණයේ ගෘට්ගේ චරිතයට හඬ දුන් වින් ඩීසල් දෙවැනි චිත්‍රපටයේදී බේබි ගෘට්ගේ චරිතයට හඬ ලබා දේ. සංගීතය ටයිලර් බැට්ස් සංගීතය නිර්මාණය කර ඇති අතර Guardians of the Galaxy Vol. 2  බෙලා හරින්නේ වෝල්ට් ඩිස්නි සමාගම විසින්.

2014 වසරේ තිරගත කළ Guardians of the Galaxy  චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 232ක වියදමින් නිමවා අමෙරිකානු ඩොලර් මිලියන 773ක ආදායමක් වාර්තා කළේය. විචාරක පැසසුම් ඉහළින් ලද එය IMDB ශ්‍රේණිගත කිරීමේ 8.1/10ක් ද රොටෙන් ටෙමැටෝස්හි සියයට 91ක් සහ මෙටාක්‍රිටික් හි සියයට 76ක්ද වශයෙන් ලබා ගැනීමට සමත් විය. මෙහි පළමු වැන්න පිළිබඳ රොටෙන් ටොමැටෝස් ප්‍රමුඛ විචාරය සඳහන් කළේ මාර්වල් රසිකයන් බලාපොරොත්තු නොවූ චරිත සමඟින් විනෝදජනක හැඟීම්බර දෘශ්‍ය ප්‍රයෝග අතින් පොහොසත් සිනමා නිර්මාණයක් බවයි.

Guardians of the Galaxy Vol. 2  ක්‍රියාදාම සපිරි දෘශ්‍ය ප්‍රයෝග යොදා නිර්මාණය කළ සාර්ථක නිර්මාණයක් ලෙසින් විචාරක අවධානයට නතු වී තිබෙනවා. එසේම දෙවැනි චිත්‍රපටයක් ලෙසින් සාර්ථකවනු ඇති බව විචාරක නිගමනය යි. සුපිරි වීර කතාවක් ලෙසින් පළමු වැන්නේ තරමටම විනෝදය නවමු ස්වරූපයකින් ගෙන එන බවත් ඔවුන් පවසා සිටියි.  Guardians of the Galaxy Vol. 2 IMDB  ධ්ර්ච්ඕ ශ්‍රේණිගත කිරීමේ 8.4/10ක් සහ විචාරක ප්‍රතිචාර සමඟින් මෙටාක්‍රිටික් සියයට 68ක් ද රොටෙන් ටොමැටෝස් සියයට 86ක්ද ලෙසින් ඇගයීමට ලක්වී තිබෙනවා. එසේම මෙය පළමු වැනි චිත්‍රපටය සේම සාර්ථක අදායමක් වාර්තා කරනු ඇති බවටත් අනාවැකි පළ වෙනවා. පසුගිය අප්‍රේල් 10 වැනිදා ජපානයේ ටෝකියෝහිදි Guardians of the Galaxy Vol. 2  මංගල දර්ශනය පැවැති අතර අප්‍රේල් 28 වැනිදා බ්‍රිතාන්‍ය යේ තිරගත වීම ආරම්භ කෙරිණි. අමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොව අනෙකුත් රටවල මැයි 05 වැනිදා සිට එය තිරගත කෙරේ.