වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




වෙසක් පෝයට දමයන්තිගෙන් ගීත පූජාවක්

වෙසක් පෝයට දමයන්තිගෙන් ගීත පූජාවක්

එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් විශාරද දමයන්ති ජයසූරිය විසින් ගායනා කරන ලද බුදු බැති ගීත දහයක් පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරිණ. ඒවායින් කිහිපයක් මේ වන විට ප්‍රචාරණය වෙමින් පවතියි. වෘත්තීය ගායිකාවක හෙයින් මෙම බැති ගීත ගායනා කරනු ලැබුවේ බුද්ධ පූජාවක් ලෙසට බව දමයන්ති වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියාය. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි. මඩපාත ධම්මසාර හිමි, පූජ්‍ය රණමුරේ උපනන්ද හිමි, වෙන්නප්පුවේ චන්දානන්ද හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, කුලරත්න ආරියවංශ මෙම ගීත රචනා කොට ඇත. ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, එම්. ආර්. චූලසිංහ, දර්ශන වික්‍රමතුංග, ඉන්ද්‍රජිත් මිරිහාන සමග එච්. එම්. ජයවර්ධන සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වී තිබේ. ගායන සහාය විශාරද එඩ්වඩ් ජයකොඩිගෙනි.

සියඹලාපේ සිතුම් පියසේ පූජ්‍ය හන්තානේ ධම්මගවේෂී හිමියන්ගේ අනුශාසනා පරිදි එහි දායක සභාව මේ බැති ගී සරණියට දායකත්වය ලබාදී ඇත.


අරෝෂගේ 14 අනුරුද්ධ අතින් කන්ද උඩරටදී රූ ගැන්වේ

මේ දිනවල තිරගත වන නිලංජනා චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ දහ හතරවැනි සිනමා නිෂ්පාදනය එක දවසක අපි සිනමාපටයේ රූගත කිරීම් නුවර, මහියංගනය, මැවනැල්ල ආදී ප්‍රදේශයන්හි මේ දිනවල සිදුවේ. එය අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයකි. පුබුදු චතුරංග, නයනතාරා වික්‍රමආරච්චි ප්‍රධාන චරිත මවන මෙහි වීණා ජයකොඩි, මේධා ජයරත්න ඇතුව නළු නිළියන් සෙසු චරිතයන් රංගනයේ යෙදෙති.

දහම්ට-ජයනිගේ සිනහව තහනම් නැහැ

ප්‍රවීණ ගායක චන්ද්‍ර කුමාර් කඳනාරච්චිගේ පුතු නව පරපුරේ ගායක දහම් කඳනාරච්චිගේ යුග දිවි පිවිසුම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී සිදු විය. ඔහුගේ අතගත් මනාලිය වූයේ ජයනි නානායක්කාර වේ. දහම් - ජයනි අතිනත ගත්දා සේයාරුවකි මේ.


එඩ්වඩ්ගේ මව සමුගනී

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ආදරණීය මෑණියන් වූ වික්ටෝරියා මෙන්ඩිස් මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවුරුදු අනූ පහකි. ජයකොඩි පවුලේ දූ දරුවන් හත් දෙනකුගේ මාතාව වූ වික්ටෝරියා මහත්මිය විශාරද චරිතා ප්‍රියදර්ශනීගේ දයාබර නැන්දනිය ද විය. ඇයගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා සවස බොරැල්ල සුසාන භූමියේදී සිදු විය


ටවර් රඟහලට අං ආවෝ

සුනිල් ශ්‍රී නිර්මාණය කළ ඔහුගේ දහඅට වැනි වේදිකා නිර්මාණය 'අං ආවෝ' මංගල දර්ශනය මෙම මස 06 වැනිදා එනම් එන සෙනසුරාදා සවස මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවේ.

කුමාර තිරිමාදුර, නන්දිත හෙට්ටිආරච්චි, හේමන්ත ඊරියගම, නිලන්ති ගුණවර්ධන, සජානා පීරිස්, රොමේෂ් සංජේ, ධනුක සිල්වා සමඟ සුනිල් ශ්‍රී මෙහි චරිත මවති. උදාර ප්‍රනාන්දුගේ සංගීත අධ්‍යක්ෂණයකි. ගාමිණී කොස්තා අංග රචනා ශිල්පියාය. අං ආවෝ ප්‍රියංක පෙරේරාගේ නිෂ්පාදනයකි.


‘මායිම්’ අඟහරුවාදා නිකුත් වේ

'මෙහෙවර නිමා විය', 'රිදී රේණු' ග්‍රන්ථ රචනා කළ චා සුෂිල් මුණසිංහ ලියූ අලුත්ම නවකතාව 'මායිම්' 2017 මැයි මස 16 වැනිදා අඟහරුවාදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී නිකුත් කෙරේ.

සාමණේර අවධියේ සිටම භික්ෂු සමාජයත්. ගිහි සමාජයත් වෙන් කරන මායිම් දැන හැඳින දිවි ගෙවිය යුතු භික්ෂූන් වහන්සේ අත්විඳින අනේක විධ අභියෝග අතර විවිධ මතිමතාන්තරවලට නැඹුරු වෙමින් හර පද්ධතීන් බැහැර කරන සමාජ පද්ධතිය දෙස උපේක්ෂා සිතින් බැලීමට කරන වෑයමක් ලෙස 'මායිම්' කෘතිය හැඳින්විය හැක.