වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




අත්වැල් බැඳගත් මිතුදම සමඟ නවක නළු නිළි යුවළක්

අත්වැල් බැඳගත් මිතුදම සමඟ නවක නළු නිළි යුවළක්

දිනෙත් ද සිල්වා - අයිශාරා අතුකෝරාළ

අදින් (4) සිංහල සිනමාවේ රිදී තිරයට අරක් ගන්නා පැණි මකුළුවෝ වෙතින් වෙසෙසින් කැපී පෙනෙන දෙදෙනෙකි. එයින් කෙනෙක් සිංහල සිනමාවට ආගන්තුකයෙකි. කුලුඳුල් සිනමා රැඟුම තිරගත වනු දැක්මට හෙතෙම තෙවසරක පරිවාස කාලයක් ගත කළේය. ඉඳින් එතෙකින් අහවර නොවේ. අද වන විට දින සීයක් පසු කළ 'ආලෝකෝ උදපාදි'යේ උත්තිය ඇමැති වෙසින් අප හමුවන්නා ඔහුය. ඒ ඔහු චරිත මැවු ටෙලි සහ සිනමා නිර්මාණ හයක් තවමත් පොරොත්තු ලේඛනගතව තිබියදීය. එවන් ඔහු දිනෙත් ද සිල්වාය.

තනිකඩ දිනෙත්ට අපූරු මිත්‍ර සම්පත්තියක් වෙනවාය. මුලින් පැණි මකුළුවෝ වෙතින් වෙසෙසින් පීදි කැපී පෙනෙන්නියයි ලියැවුණු රූමතිය ඇයය. ඔවුන් තරු ගුණයෙන් සිනමා අහසේ කොයිඹ දිළෙනු ඇතිදැයි තීන්දුවලට එළැඹීම ප්‍රේක්ෂක පර්ෂද සහ විචාරකාදීන්ට භාරය. ඒ කෙසේ වෙතත් කුලුඳුලේම පැණි මකුළුවෝ හරහා සිනමාවට ගොඩවදින ඈ ඊට පෙරාතුව කරළියේ කතාබහට ලක් වූවාය. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ හංකිති දහතුන වේදිකා නාට්‍යයෙනි. ඊටත් එපිට සැඟවුණු රහසක් ඒ රුවැත්තිය වන අයිශාරා අතුකෝරාළ හාපුරා කියා සරසවියට හෙළි කළාය. ඒ කතාන්දරයට අයිශාරාගේ අඹ යාළු දිනෙත්වත් ඈඳෙනවාය.

පැණි මකුළුවෝ ප්‍රධාන නිළි රැඟුමට කතිකාවී තිබුණේම ඉන්දීය නිළියකය. නමුත් ඇයගේ මිතුරියට පණ දෙන්නට නම් ලංකාවේ නිළියක වුවමනා කළාය. පැණි මකුළුවෝ නිමවුමේ පෙල්මඞකාරයෝ උදාර පල්ලියගුරුගේ සහ ඉසුරු විරසිංහමුදලිය. ඒ දෙදෙනා සමඟම කල්ගිය මිතු දමක් දිනෙත්ට විය. ඒ ඇසුර මත ඉන්දීය නිළියගේ මිතුරියට අයිශාරාව යෝජනා කරන්නෙත් දිනෙත්මය.

එතෙක් නිරූපිකාවක ලෙසින් ප්‍රකටව සිටි අයිශාරා කුලුඳුල් චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාවටත් උරුමකම් කියන අහම්බය සිදු වූයේ එවිටය. ඒ ඉන්දියානු නිළිය පරදන රූ සොබාවට දෙවැනි නොවූ අයිශාරාගේ රඟ සොබාවටය.

ඉඳින් පැණි මකුළුවෝ කෙරෙන් රංගනයට ඉස්මතු කෙරුණු අයිශාරාට පැණි මකුළුවෝ ගෙනාවේ ඒ රංගන වරම පමණක් නොවේ. ඒ දර්ශන තලවලයේදීත් තව තවත් භාග්‍යය ඇය සොයා ආවාය.

සනත් ගුණතිලකගේ නවතම ටෙලිය වන මංගල තෑග්ග පමණක් නොවේ අයිශාරා වෙනුවෙන්ම ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් චිත්‍රපටයෙත් ප්‍රධාන නිළි භූමිකාව වෙන් විය. එහි හේමාල් රණසිංහගේ පෙම්වතීව රඟන්නීත් අයිශාරාය. එහෙත් දෛවෝපගතව මෙන් සිනමාවට කලින් ඈ කරළියට පා නඟන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ආරාධනාවකින් අහම්බෙන් මෙනි. හත් අට මාසයක් එක දිගට රිහර්සල්වල යෙදුණු හංකිති දහතුන නිසා මෝස්තර නිරූපණයත් දෙවැනි තැනට දැමූ බව ඒ කැපවීම ආඩම්බරයෙන් සිහි කරන අයිශාරා සතුටින් තොල් මතුරයි. ඒ කෙටි යටගියාව පුරාවට අත්වැලක් වූ දිනෙත්ගේ මිතු දම අයිශාරා නිතර සිහි කරයි.

අයිශාරා මෙන්ම දිනෙත් ද සිල්වාත් කලා ලොව එළිය බලන්නේ මෝස්තර නිරූපණ කලාවෙන්ය. අලෝකේ උදපාදි රංගනයෙන් සිනමාවට පිවිසි දිනෙත්ටත් කුලුඳුල් රැඟුම ප්‍රදර්ශනයටත් කලින් රංගනයට තව තවත් ආරාධනා ලැබුණි. අයිශාරා මෙන්ම ඒ රංගන වරම් දෝතින් බදා වැළඳ ගත් දිනෙත් ඒ නිසා මෝස්තර නිරූපණය දෙවැනි කොට සැලකීය.

දොළොස් වසරක්ම ලන්ඩන් නුවර ජීවත් වී මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණියෙකි අයිශාරා. ඈ සමඟ පැණි මකුළුවෝ චිත්‍රපටයේ රඟන දිනෙත් ද සිල්වා දිනෙත්ලාගේ පවුලෙන් කලා ලොවට දායාද වූ එකම එක්කෙනාය. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වන පියාගේත් ගුරුවරියක වන මවගේත් ආශිර්වාද ඇතිව දිනෙත් රංගනයට පිවිසියේ ඒ මවුපිය දෙපළගේ පුතුන් තිදෙනාගෙන් වැඩිමලා විදියටය.

අපේක්ෂා අතින් දිනෙත් - අයිශාරා දෙදෙනාම සිටින්නේ එකම ඉසව්වකය. ඒ දෙදෙනාම පතන්නේ එක් අපේක්ෂාවකි.

'අපි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ ආඩම්බරයක් වන චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ'.

එක රාමුවකට කොටුවීමට කිසිම විදියකින් අදහසක් නැතැයි කියනා මේ ඇත්තෝ චරිතාංග නළු නිළි භූමිකා සොයා සිනමාවේ දුර ගමනක යෙදෙන්නට පැතුම් පොදි බඳින්නෝය. ඒ හුඟ දෙනකුට නොලැබෙනා තරමේ වාසනා ගුණය සමඟම දෙදෙනාටම දායාද වූ තරු ගුණය දෝත දරා ගනිමින්ය.

ඉඳින් තරමක් අහම්බ ඇතිව වුව ද අපූර්ව සිද්ධි පෙළක් අපූරුවට පෙළ ගැස්මක් ලෙසින් දිවි මකුළුවෝ සහ මේ තරු ගුණැත්තන් යා නොවේද?

මිතු දමකින් නිමැවුණු දිවි මකුළුවෝ මැදට මිතුදම් නිසාම මැදිහත් වූ දිනෙත් ඔහුගේ මිතුරිය අයිශාරාට රංගන වරම් පාදයි. ඒ රංගන වරමට කැප වූ අයිශාරාට රංගනයේදී සමීප වන මිතු දම් ඇයට සිනමාවේම දුර ගමන් යන්නට මෙන්ම පුංචි තිරයේ සහ වේදිකාවේත් දොරගුළු විවර කර දුන්නාය.