වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




අන්තර්ජාලයේ සැරිසරන පැණි මකුළුවෝ

අන්තර්ජාලයේ සැරිසරන පැණි මකුළුවෝ

සනත්ගෙන් විශිෂ්ටතම රංගනයක් අද තිරයට

 

රණවීර ජීවිතයේ මැදි විය ගෙවන ව්‍යාපාරිකයෙකි. ඔහුගේ තරුණ බිරිය නිලූය. සැමියාගේ වැඩි අවධානය ව්‍යාපාරවලට යොමු වන හෙයින් නිලූ සුවිශාල නිවසෙහි හුදකලාව දිවි ගෙවයි. දිනක් නිලූ තම වාහනයෙන් රියදුරා සමග ගමනක් යමින් සිටියදී වේගයෙන් පැමිණි මෝටර් බයිසිකලයක් එහි ගැටෙයි. වරද යතුරුපැදිකරුගේය. වහාම වාහනයෙන් බැස එන නිලූගේ රියදුරු යතුරුපැදිය පදවමින් පැමිණි තරුණයාගෙන් සිදු වූ හානියට මුදල් ඉල්ලයි. එහෙත් ඔහු අත එවලේ මුදල් නොවීය. නිලූ පැමිණ තරුණයාගේ හැඳුනුම් පත ඉල්ලා ගනියි. මුදල් දී හැඳුනුම්පත ලබාගන්නා පොරෙන්දුව පිට එම ප්‍රශ්නය තාවකාලිකව ඒ මොහොතෙහි විසඳනු ලබයි.

ටික දිනකින් එකී තරුණයා මුදල් රැගෙන රණවීරගේ නිවසට පැමිණෙයි. ඔහුට හමුවන්නේ නිලූ නොව රණවීරය. ඔහු තරුණයාගෙන් මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි. තරුණයා බලෙන් මෙන් මුදල් රණවීරට දෙන්න හදයි. ඔහුට අවශ්‍ය තම හැඳුනුම්පත ලබා ගැනීමය. ඒ කිසිත් ගණන් නොගන්නා රණවීර තරුණයාව තම නිවසින් එලවා දමයි. තරුණයා හැඳුනුම්පත ලබා ගැනීමට කිහිප සැරයක්ම උත්සාහ කරන නමුදු එම උත්සාහයන් ව්‍යාර්ථ වී යයි. බැරිම තැන ඔහු නිලූට කතා කරයි. වරක් දෙවරක් නොව කිහිප සැරයක්ම තරුණයාට නිලූට අමතන්න සිදු වෙයි. ඒ කතාබහ කිරීම අවසන් වන්නේ නිලූ හා තරුණයා අතර හිතවත්කමක් ඇති වීය.

ඔය අතරවාරයෛ් නිලූ තම මිතුරියක වූ ශෂී අත තරුණයාගේ හැඳුනුම්පත යවයි. එහෙත් ඔවුන් දෙදෙනා එකිනෙකා හා ඇමතීම නවතින්නේ නැත. දෙදෙනා අන්තර් ජාලය ඔස්සේ එකිනෙකා මුණ ගැසෙයි. එම අවස්ථාවන්වලදී පමණට වඩා ඔවුන් විවෘත වේ. දින කිහිපයකට පසු තරුණයා නිලූගෙන් යම් මුදලක් ඉල්ලයි. ඇය එය ශෂි අත යවයි. තරුණයා නැවතත් මුදල් ඉල්ලයි. එවර නිලූ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. තරුණයා ඔහු විසින්ම ගත් නිලූගේ නිරුවත් ඡායාරූප ඇයටම යවමින් නිලූට තර්ජනය කරයි. එම බලපෑම් ඉවසාගත නොහැකි ඇය තම සැමියාගේ පිස්තෝලය රැගෙන තරුණයා සොයා යයි. නිලූ ඔහුගේ කාමරයට ගොඩ වද්දී ඇයට දකින්න ලැබෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දසුනකි. අර තරුණයාව කිසියම් කෙනෙකු ඝාතනය කොට ඇත. එතැන් පටන් නිලූ මහත් වූ තැති ගැනීමකට ලක් වේ.

අද සිට තිරගත වන පැණි මකුළුවෝ සිනමාපටයේ කතා පුවතෙහි සාරාංශය එසේය. ඉසුරු වීරසිංහ මුදලි අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ යූ. ඒ. පල්ලියගුරුගේ ගේ නිෂ්පාදනයකි. සනත් ගුණතිලක, දිනෙත් ද සිල්වා, අයිෂ් අතුකෝරල, ප්‍රියෝකා ෆර්ලින් පැණි මකුළුවෝහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. ක්ලවුස් ෆිල්ම් සමාගමේ ඉදිරිපත් කිරීමක් වන මෙහි සංගීත අධ්‍යක්ෂණය සෙනෙත් දයානන්ද සහ චතුරංගන ද සිල්වාගෙනි. ගීත රචනය යූ. ඒ. පල්ලියගුරුගෙන්ය. ගායනය අමරසිරි පීරිස් ගෙනි.