වර්ෂ 2016 ක්වූ  මැයි 04 වැනිදා බ්‍රහස්පතින්දා




බාහුබලී ප්‍රදර්ශනය ශාලා 18 ක් අත්හිටුවයි

බාහුබලී ප්‍රදර්ශනය ශාලා 18 ක් අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ සිනමාශාලා හැටකට ආසන්න ප්‍රමාණයක තිරගතවීමට නියමිතව තිබූ ඉන්දීය සිනමාවේ දැවැන්ත නිර්මාණයක් වූ බාහුබලී වහාම ක්‍රියාත්මක වන පරිදි ශාලා දහඅටක ප්‍රදර්ශනය අත්හිටුවා ඇත.

ඒ දේශීය චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ තීරණයක් පරිදිය. සංගමයේ සභාපති සහ මෙරට දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනයේ වර්තමාන කේන්ද්‍රස්ථානය ලෙස සලකන සිනෙසිටි ශාලා අධිපති බුද්ධි කීර්තිසේන මේ පිළිබඳ සරසවියට අදහස් පළ කළේය. බුද්ධී සම්මානනීය චිත්‍රපට නිෂ්පාදකයෙකි.

බාහුබාලි සිනමාපටයේ දෙවැනි කොටස තිරගත වනතුරු දමිල සිනමා ලෝලීන් පුල පුලා බලා සිටියා. ඇත්තටම එය ඉහළ ගණයේ සිනමාපටයක්. නමුත් සිදුවූයේ අනපේක්ෂිත සිදුවීමක්.

සිනමාපටය මෙරටට ගෙන්වා බෙදා හැරි පිරිස අපට චිත්‍රපටය තිරගතවීමෙන් ලැබෙන ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් අපෙන් ඉල්ලා සිටියා. සාමාන්‍යයෙන් විදෙස් සිනමාපටයක් මෙරට ශාලාවක තිරගතකොට ඉන් 50% ප්‍රතිශතයක් එම සිනමාපටයේ බෙදාහරින පාර්ශවයට ලබා දෙන්නේ. ඒ ප්‍රතිශතය චිත්‍රපට සංස්ථාවේ සම්මත කළ ගණනක්.

එහෙත් මේ ප්‍රදර්ශක පාර්ශවය අපෙන් 60% - 70% යන ප්‍රතිශතයක් ඉල්ලුවා. ඒක නීති විරෝධී ඉල්ලීමක්. අනුමත මුදලක් තියෙද්දී ඊට වැඩි මුදලක් ඉල්ලීම කොහෙත්ම අනුමත කරන්නට බැහැ. අවසානයේ අප සංගමයේ (දේශීය චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය) ලේකම් නිශාන්ත ප්‍රදීප් බාහුබලී ප්‍රදර්ශක පාර්ශවයට කතා කළා. ඔවුන්ගේ අසාධාරණ ඉල්ලීමට එකඟවන්නට බැහැ කියලා කිව්වා.

ඔවුන් අපට තර්ජනය කරන්නට පවා පටන් ගත්තා. ඉතින් අප තීරණය කළා මරදාන සිනෙ සිටි ඇතුළු ප්‍රධාන නගරවල තියෙන චිත්‍රපට ශාලා දහ අටක බාහුබලි ප්‍රදර්ශනය අත්හිටුවන්න. මේ අය සිංහල සිනමාපට පෙන්වන ශාලාවල පවා බාහුබලි පෙන්වන්නට ප්ලෑන් කරලා තිබුණා.

එම තත්ත්වය සිංහල සිනමාවටත් තර්ජනයක්. කාලයක් තිබුණා එක එක අයට ඕනෑ විදි'හට විදෙස් චිත්‍රපට මෙරට පෙන්වන. ඊට පසුව චිත්‍රපට සංස්ථාව ආරම්භ කරලා එම තත්ත්වය පාලනය කළා. වර්තමානයේ සංස්ථාව තිබියදී පවා බෙදා හැරීමේ පාර්ශවයන් හිතුමනාපයට කටයුතු කරනවා. වගකිවයුතු පිරිස මේ ප්‍රවණතාවයට යම් යම් තීන්දු තීරණ ගන්නවා නම් හොඳයි.

මරදානේ සිනෙ සිටි, කොල්ලුපිටියේ ලිබර්ටි ලයිට්, සිටි සිනමා ගල්කිස්ස, ස්කයි ලයිට් මාතර, විස්ටා ලයිට් ජාඇල, ජානකී මතුගම, නිව් ලයින් දඹුල්ල, එමෙස් මොරටුව, දර්ශන කොස්වාඩිය ඇතුළු සිනමා ශාලා 18 ක් බාහුබාලී ප්‍රදර්ශනය අත්හිටුවා ඇත.


සරසවිය සම්මාන දිනූ අධ්‍යක්ෂ - නිෂ්පාදක එක් වෙති

අලි කතාව 18 දා තිරයෙන් කියති

සරසවිය සම්මාන දිනූ අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු මුල්වරට එකට එක්ව තැනූ චිත්‍රපටයක් මේ මස 18 වැනිදා තිරයට එයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'අලි කතාවයි'. එය ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. මෙම චිත්‍රපටයෙහි ඇති විශේෂත්වය වනුයේ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අලි පැටවකු වීමය. ගඟ අද්දර නවකතාව රචනා කළ ලැටීෂියා බොතේජු විසින් රචිත අනූෂ සහ රන් කුමරු කතාව ඇසුරෙන් නිර්මාණය වූ අලි කතාවේ අලි පැටියා සමඟ කෞශල්‍යා ප්‍රනාන්දු සහ යොහානි හංසිකා (ළමා) සෙසු ප්‍රධාන චරිත මවති. අනෙකුත් චරිත රවීන්ද්‍ර රන්දෙණීය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞශල්‍යා, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න සහ දිපානි සිල්වා රංගනයේ යෙදෙයි. චන්න දේශපි‍්‍රය කැමරා අධ්‍යක්ෂවරයාය.

බිමල් දුෂ්මන්ත කලා අධ්‍යක්ෂණයෙන් එකතු වෙයි. විමල් දේශප්‍රියගේ සහාය අධ්‍යක්ෂවරයාය. මමෝහාරි හේවාවසම් නිෂ්පාදන කළමනාකරණයෙන්ද, හර්ෂ මංජුල අංග රචනයෙන් ද, තිළිණ හෙට්ටි වස්ත්‍රාභරණ නිර්මාණයෙන් ද අලි කතාව හැඩ ගැන්වීය. චත්‍ර වීරමන් දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණය කරන ලදී. චන්දන වික්‍රමසිංහ නර්ථන අධ්‍යක්ෂවරයාය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතයෙන් අලි කතාව රසවත් කොට ඇත. විශාරද නන්දා මාලිනී, රොඩ්නි වර්ණකුල, ඉරෝෂන් මධුසංඛ සහ විදුෂා නේත්‍රාංජලී ගායනයෙන් දායක විය.

අලිකතාව නිෂ්පාදනය කරනු ලැබුවේ මහරජ ගැමුණු සඳහා සරසවිය සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක ගුණපාල රත්නසේකර විසිනි.


 

තිස්ස අබේසේකර - විමුක්ති ජයසුන්දර රංගනයේ

බූඩිගේ නිම්නයක හුදකලාව 19 දා

පසුගිය දශකයේ බිහි වූ විශිෂ්ට සිනමා ශිල්පියකු වන බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ සිව්වන චිත්‍රපටය නිම්නයක හුදකලාව මෙම මස 19 වැනිදා සිට රිගල් කොළඹ ඇතුළු සි. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන් කිහිපයක ප්‍රදර්ශනය ඇරැඹේ. එම සිනමා ශාලාවන්හි සවස 4.15 දර්ශනය පමණක් නිම්නයක හුදකලාව සිනමාපටය සඳහා වෙන්වේ. රවීන්ද්‍ර රන්දෙණිය, සෞම්‍ය ලියනගේ, සංගීතා විරරත්න, විමුක්ති ජයසුන්දර, සමනලී ෆොන්සේකා, පාලිත සිල්වා. ජයලාල් රෝහණ, ලක්ෂ්මන් මෙන්ඩිස්. සුරංගා රණවක, සචිනි අයෙන්ද්‍රා මෙහි චරිත රංගනයේ යෙදෙති.

චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයායි. චන්ද්‍රගුප්ත තේනුනවර කලා අධ්‍යක්ෂවරයාය. ලක්ෂ්මන් ජෝශප් ද සේරම් සංගීත අධ්‍යක්ෂවරයාය. නිම්නනයක හුදකලාව සිනමාපටය පරම්පරා දෙකක සිනමාකරුවන් වන ආචාර්ය තිස්ස අබේසේකර සහ විමුක්ති ජයසුන්දර රංගනයේ යෙදීම විශේෂ කරුණකි.