වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ කටුක ජීවිත කතාව චිත්‍රපටයකට සුදුසුයි

මගේ කටුක ජීවිත කතාව චිත්‍රපටයකට සුදුසුයි

සමන්ත කුමාර ගමගේ

පුංචි තිරයේ මේ දිනවල දිග ඇරෙන සිඳු (රෙජී) මවුනයාගය (මෙරිල්), පේර මඩුව (පීටර්), ආරාරිරෝ (විමලපාන්ඩේ), සල්සපුනා (දයාපාල), නූර්යා (ලොකු හාමුදුරුවෝ) ටෙලි නාට්‍ය බොහොමයක චරිත නිරුපණයක් කරමින් අප හමුවට එන සමන්ත කුමාර ගමගේ දක්ෂතා බොහොමයකින් පිරිපුන් කලාකාරයෙකි. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය පිටපත් රචකයකු, චිත්‍රපට, ටෙලි නාට්‍ය ,වේදිකා නාට්‍ය රංග ශිල්පියෙකු, වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු, අංග රචනා ශිල්පියකු ලෙසින් ඔහු කලා ක්ෂේත්‍රයේ නියැළෙන්යේ සම්මාන ප්‍රශංසා ද ලබමිනි. ඇගැයුම් පැසසුම් මැද කලාවේ නියැළෙන සමන්ත කුමාර ගමගේ සමඟ කතාබස් කරමු.

* මේ දවස්වල සිදු ටෙලි නාට්‍යයේ රෙජී කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම්?

පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටියන් දක්වා කවුරුත් මාව හොඳට හඳුනනවා. වෙනදට නම් රඟපෑවට කවුරු හරි අහන්නේ ඔයා රඟපානවා නේද කියලා. ඒත් සිදු බලන කවුරු හරි මාව දැක්කොත් කියන්නේ අන්න රෙජිය යනවා කියලා.

* ටෙලි නාට්‍ය රංගනයේ ඔබ ජනප්‍රිය චරිතයක් වුණාට රංගනයට ඔබ එකතු වෙන්නේ වේදිකාව ඔස්සේ?

මගේ රංගන ජීිවිතයේ තිඹිරිගෙය වේදිකාව.

* කලා ජීවිතයේ තිඹිරි ගෙය වේදිකාව වන්නේ කොහොමද?

මගේ ගම රාජාංගනේ පහළ මාරගහවැව. අපේ ගමේ හිටියා මොරිස් කියලා මාමා කෙනෙක්. එයා ඒ කාලේ ගමේ නාට්‍ය හදල පෙන්නුවා. මමත් කුඩා කාලේ ඔය නාට්‍යවල රඟපෑවා.

* රංගන ශිල්පියකු ලෙස කටයුතු කරන්න කිසිදා නො සිතා සිටි ඔබ රංගනයට පෙම් කරන්න පටන් ගන්නෙත් අහම්බෙන්?

මම පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ පහළ මාරගහවැව විද්‍යාර්ථ මහා විද්‍යාලයේ. ඔය කාලයේ ගමට ආවා ජයලාල් රෝහණ මහත්තයා නාට්‍ය වැඩමුළුවක් කරන්න. ඒකට මමත් සහභාගි වුණා. එදා තමයි මම දැනගත්තේ නාට්‍ය හා රංග කලාව කියලා විෂයයක් තියෙනවා කියලත්. එදා මට ලොකු ආශාවක් හිතට ආවා නාට්‍ය හා රංගන කලාව විෂයක් හැටියට හදාරන්න. මම පහුවදාම අපේ ඉස්කෝලේ විදුහල්පතිගෙන් ගිහින් ඇහුවා මේ විෂය පාසලේ ඉගෙන ගන්න තියෙනවද කියලා. විදුහල්පති කිව්වා නැහැ ඒ විෂය ඉගෙන ගන්න නම් අපොස සා පෙළ සමත් වෙලා අනුරාධපුර නිවන්තකචේතිය විද්‍යාලයට යන්න ඕනෑ. කැමැති නම් අපොස සාපෙළ විභාගය සමත් වෙලා ගිහින් ඉගෙන ගන්න කියලා. ඔය වෙන කොට විභාගයට තිබුණේ මාස හයයි. මම නාට්‍ය කලාව ඉගෙන ගන්න යන්න විභාගය සමත් වන්න උපරිමයෙන් කැප වුණා. ඒ වෙන කොට මගේ ගෙදර පරිසරය ඉගෙන ගන්න වටපිටාවක නොවෙයි තිබුණේ. මම ගමේ පන්සලේ නතර වෙලා මහන්සි වෙලා පාඩම් කළා. විභාගය සමත් වුණා. පාසලෙන්ම මමත් තව ගැහැනු ළමයෙකුයි තමයි සා. පෙළ විභාගය සමත් වුණේ. ඊට පස්සේ මම අනුරාධපුරයේ නිවන්තකචේතිය විද්‍යාලයට යන්නත් නාටය කලාව විෂයක් ලෙස හදාරන්නත් පුළුවන් වුණා. ඔය අතරේ මම නාට්‍යයක් රචනා කො ට නිෂ්පාදනය කළා මේ යන්නේ කොයි පාරේ කියලා. මේ නාට්‍ය සමස්ථ ලංකා මට්ටමේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවා. ඒ ජයග්‍රහණය මා තව තවත් නාට්‍ය හා රංග කලාව වෙත යොමු කරන්න හේතු වුණා. නාට්‍ය කරන්න ගිහිල්ල කොහොම හරි මම හරියට උසස් පෙළවත් කර ගත්තේ නැහැ.

* ඔබ හමුදා සේවයටත් එක් වෙනවා නේද?

ඒ වෙන කොට රට තුළ යුද්ධය දරුණු ලෙස පවතින කාලයක්. මමත් යුද හමුදාවට එක් වුණා. ජාතික සහයක බලකායට. පුහුණුවෙන් පසු සේවය කළ යුතු කාලය මම වැඩ කරලා නිත්‍ය සේවයට ඇතුළත් නොවී මම එයින් ඉල්ලා අස් වුණා.

* ගමෙන් කොළඹට ඒමත් සමඟ ඔබේ ගමන් මඟේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා?

උතුරු මැද පළාතේ රංගනයේ නියැලි බොහෝ පිරිසකට එවක ඒ පළාතේ මහ ඇමැතිවරයාව සිටි බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්තයාගේ මෙහෙයවීමෙන් 'රංග තවලම' රඟපාන්න කොළඹ එන්න අවස්ථාව උදා වුණා. මටත් ඒ අවස්ථාව උදා වුණා. යාළුවෙකුගේ සපත්තු දෙකකුත් දාගෙන අඳින්න ඇඳුම් දෙක තුනකුත් අරන් කොළඹ ආපු මම රංග තවලමේ රඟපෑවා. එහිදී මට යාළුවන් තිදෙනෙක් හඳුනාගන්න ලැබුණා. බුද්ධික සුදර්ශන, දිනේෂ්, ජයලත් සමන් කුමාර කියලා. අපි තුන්දෙනා තවලම රඟපාලා ඉවර වුණත් නැවත ගමට ගියේ නැහැ. අපි තීරණය කළා කොළඹ නැවතිලා ඉන්න. අවසානයේ අපි මුදල් හොයා ගන්න තුන් දෙනා එක්කම කෝච්චියේ සිංදු කිව්වා. ඔය අතරේ මට සමාජ සේවා අමාත්‍යාංශයේ පුංචි රැකියාවක් ලැබුණ. එහි රැකියාව කරන ගමන් 97' දී මම රාජ්‍ය සේවක නාට්‍ය තරඟයට 'නිම් නැති නිශාව' නමින් නාට්‍යයක් නිර්මාණ්‍ය කළා. එය හොඳම නිෂ්පාදනය හා හොඳම නාට්‍ය රචනය වෙනුවෙන් එවක සම්මානයට පාත්‍ර වුණා.

මේ අතරේදී මට ප්‍රසන්නජිත් අබේසූරිය මහතා හඳුනාගන්න ලැබුණා. ඔහු මට කිව්වා මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම් හොඳට ඉගෙන ගන්න කියලා. මම රස්සාව කරන ගමන් බාහිරව අපොස උසස් පෙළ ලිව්වා. ඒකෙන් පාස් වුණාට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමාව කළා. ඊට පස්සේ කලා අංශයෙන් බාහිර උපාධිය හදාරලා උපාධිධාරින් පත්වීමත් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට රැකියාව සඳහා එක් වුණා. ඊට පස්සේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් සම්බන්ධ වුණා. දැන් නම් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ග්‍රන්ථ ප්‍රකාශන උපදේශන මණ්ලයේ රැකියාව කරනවා.

* රංග ශිල්පියෙක් ලෙස ඔබ වීදි නාට්‍ය රංගනයෙත් නියැලෙන ශිල්පියෙක්?

මම වසර පහලොවක විතර ඉඳලා ප්‍රසන්නජිත් අබේසූරියගේ පහුර වීදිනාට්‍ය කණ්ඩායමේ රංගනයේ නියැලෙනවා.

* සිනමාවට ප්‍රවිශ්ටවීමක් තවම ඔබ අතින් සිදු වුණේ නැද්ද?

පාටක් නැති ආදරයක්, ධර්ම යුද්ධය චිත්‍රපට දෙකේ මේ වනවිට මම රඟපාලා තියෙනවා. ඉදිරියේදී ඒවා තිරගත වෙයි.

* වේදිකාවෙත් ඔබ මේ දවස්වල රංගනයේ නියැලෙනවා?

ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මඟුල් පරස්තාව, ඇන්ටනි ජයලත්ගේ ආදරණීය සුදම්මා වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා.

* රංගනයේ නියැලි ඉදිරියේදී පුංචි තිරයේ දිග හැරෙන ටෙලි නිර්මාණත් ගොඩක් ඇති?

මම විසින්ම තිර රචනා කර රඟපෑ ඕලුබැද්ද ටෙලි නාට්‍ය වගේම සමනලුන්ට එන්න කින්න, මෝදර බඹරු, ගොන්මන් අඳුර ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා.

* සම්මානනීය ඇගැයුම් පැසසුම් ලැබූ වේදිකා නිර්මාණ කීපයක්ම ඔබ අතින් නිර්මාණය වෙනවා?

2016 රාජ්‍ය සේවක නාට්‍ය උළෙලේ මා නිෂ්පාදනය කළ අන්තිම කෝච්චිය නාට්‍ය හොඳම නාට්‍ය රචනය වෙනුවෙන් හා හොඳම නළුවාට සම්මාන ලැබුවා. 2002 වසරේ මම නිෂ්පාදනය කළ මම සහ මම නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රචනය වෙනුවෙන් දෙවන ස්ථානයත්, හොඳම නළුවා ලෙසත් සම්මාන හිමි කර ගත්තා. 2005 වසරේ නිර්මාණය කළ සර්පයකු සමඟ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලළේ හොඳම නළුවාට නිර්දේශ වුණා. යෞවන සම්මාන උලෙළේ හොඳම සහය නළුවාට සම්මාන ලැබුවා. 2000 වසරේ මම නිෂ්පාදනය කළ යාදින්නි නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙලේ අවසන් වටය නියෝජනය කළා.

* ඔබ අංග රචනා ශිල්පියකු ලෙසත් කටයුතු කළා නොවේද?

මට ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයාගේ මාර්ගයෙන් අනුරුද්ද ජයසිංහ, ෂර්ලි පී. දෙලංකාව, සුදත් මහදිවුල්වැව වැනි අධ්‍යක්ෂවරු හඳුනාගන්න ලැබුණා. ඒ අය අතින් නිර්මාණ්‍ය වූ වෙළෙඳ දැන්වීම් කීපයකට නිෂ්පාදනය පැත්තෙන් මට දායක වෙන්න ලැබුණා. රජයේ චිත්‍රපට අංශය මඟින් නිිර්මාණය කළ වාර්තා චිත්‍රපට කීපයකම මම අංග රචනා ශිල්පියෙකු ලෙසින් කටයුතු කළා.

* ඔබේ රංග භූමිකාවන් තුළ ප්‍රේක්ෂක මතකය ඈත් නොවුණු නිර්මාණ මොනවාද?

සත්කුළු පව්ව, තුන් මං තැන්න, අකුරු තරහ නෑ, කොළඹ අහස, දූවිලි මල්, චක්‍ර, මීදුම් අම්මා , වන්වේ, කොළඹ අපි ආවා, දඩකෙළිය. මේ අතරින් තුන්මං තැන්නේ මම කළ ගොලු චරිතය නිසාත් දුවිලි මල් ටෙලි නාට්‍යයේ කූරා චරිතය තුළිනුත් මාව ප්‍රේක්ෂකයෝ තුළ කතාබහට ලක් වුණා. හැබැයි දැන් විකාශය වන සිඳු ටෙලි නාට්‍යයෙන් තමයි මම ස්ථිර වයෙන්ම නළුවෙක් කියලා ප්‍රේක්ෂක හදවතේ සමාජගත වුණේ.

* තිර පිටපත් රචකයෙක් ලෙසත් ඔබ නිර්මාණ බොහොමයකට දායක වෙනවා?

ඕලු බැද්ද, ඉරට හැතැක්මයි, ජීවිතයට හීනයක් වගේ නිර්මාණ කීපයක්ම මගේ තිර රචනයත් සමඟ මේ දිනවල ටෙලි නිර්මාණ ලෙසින් නිෂ්පාදනය වෙමින් පවතිනවා.

* කලා ක්ෂේත්‍රය තුළ ස්ථාවර වන්නට වෙර දරන ඔබ අද වන විට නිර්මාණ සොයා යන්නෙක් බවට පත් වෙලාද?

බොහේ විට නිර්මාණයකින් නිර්මාණයකට දායකවීම සිද්ධ වෙන්නේ හිතවත්කම් හා දැන හැඳුනුම්කම මත. මට නම් නිර්මාණ ලැබුණේම ඔය ආකාරයට. දමින්ද උඩවෙල, ඉන්දික ධර්මතිලක, ශෂික හේරත්, ප්‍රදීප් මානවඩු කියන සහය අධ්‍යක්ෂවරු හතර දෙනා මට ගොඩක් උදවු කරලා තියෙනවා නිර්මාණවලට දායක වෙන්න. මම හිතන්නේ අපි රඟපෑව පලියට නිර්මාණ ලැබෙන්නේ නැහැ. ඒ චරිතය ජනප්‍රිය වුණේ නැත්නම් ප්‍රේක්ෂකයා තුළ ඉල්ලුමක් ඇති වුණොත් විතරයි අපිට ඉල්ලුමක් ඇති වෙන්නේ. අද වෙනකොට මාව නිර්මාණයකට දායක කරගෙන තියෙන්නේ මාව හඳුනගෙන මගේ හැකියාවක් දැකලා මිසක් මම පස්සෙන් ගිහින් නොවෙයි.

* ඔබේ රංගන ජීවිතයට ගුරුවරයෙක් වන්නේ?

ජයලාල් රෝහණ මහත්තයා තමයි මට නාට්‍ය හා රංග කලාව කියන්නේ මොකක්ද කියලා අවබෝධ කළේ. ප්‍රසන්නජිත් අබේසූරිය තමයි මට ගුරුහරුකම් දීලා මේ තත්ත්වයට එන්න මාර්ගය කියලා දුන්නේ.

* මෙතෙක් පැමිණි ගමන් මඟ ගැන ආපසු හැරිලා බලන කොට මොකද හිතෙන්නේ?

මම නොසිතු නොපැතූ ගමනක් තමයි මම අද පැමිණිලා තියෙන්නේ. මම මෙතනට එන්න වින්ද දුක් ගැහැට ගැන මතක් වෙන කොට මට තියෙන්නේ දුකක් නොවේ සතුටක්. මගේ ජිවිත කතාව හරිම කටුකයි, වේදනාත්මකයි. කොටින්ම කිව්වොත් ඒ කතාව චිත්‍රපටයක් කරන්නත් සුදුසුයි. මගේ ජීවිත කතාව අහපු ඕනෑම කෙනෙක් කියන්නේ ඕක පාදක කරලා චිත්‍රපටයක් හරි ටෙලි නාට්‍යයක් හරි කරපන් කියලා.

* ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිය දිලානි වත්සලා. ඇය නර්තන උපාධිධාරී ගුරුවරියක්. පුතා නාදිත්‍ය ගමගේ, පුතා වෙළෙඳ දැන්වීම් කීපයකත් සත්කුල ටෙලි නාට්‍යයෙත් රඟපෑවා. බිරියත් සුරඟනන් ඇවිත් ටෙලි නාට්‍යයේ රඟපෑවා.

* රංග ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් ලෙස පැමිණී ගමන් මඟේ ඔබේ සාර්ථකත්වයේ රහස මොකක්ද?

මම කියන්නේ රඟපාන්න පුළුවන් කියලා හිතුවට වැඩක් නැහැ රංගනය පිළිබඳ හැදෑරීමක් නොමැතිව. තමන් දැනුමක් ලබා තිබුණොත් විතරයි ක්ෂේත්‍රයේ දිගටම රැඳෙන්න පුළුවන්. අද වුණත් මම සමාජයෙන් බොහෝ දේ මගේ රංගන ජීවිතයට එකතු කර ගන්නවා. පාරේ ගියත් මට විශේෂ පුද්ගලයෙක් දැක්කොත් මම නැවතිලා ආපහු හැරිලා ඔහු දෙස බලන්න පැකිලෙන්නේ නැහැ. එයින් මගේ රංගන ජීවිතයට යමක් එකතු කරගන්නවා. එහෙම එකතු කරගත්ත සැබෑ චරිත තමයි රංගනයේදී මම ප්‍රතිනිර්මාණය කරන්නේ.

* රැකියාවේ නිරත වෙමින් රංගනයේ නියැලීමට ඔබට බාධාවක් නොවෙයිද?

අධ්‍යාපන අමාත්‍යාංශයේ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ ප්‍රධානී විජිත වෙලගෙදර මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම මට පුදුම සහයෝගයක් ලබා දෙනවා. දිරිය ශක්තිය මට වචනයෙන් කියලා නිම කරන්න බැහැ. මම වගේ කලාකාරයෙක් ඔවුන් සමඟ එකට සිටීම ඒ අය සලකන්නේ ඔවුන්ට ගෞරවයක් ලෙසින්.

* ලිපිනය මතක් කළොත් ඔබේ රසිකයන්ට ලියන්න?

32/38, මුණසිංහ වත්ත, වටරැක, මීගොඩ.

071-8115850 දුරකථන අංකයට කතා කළොත් මාව සම්බන්ධ කර ගන්න පුළුවන්.