වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්

ෆ යනු වැලක් සහ ඩබල්, ඩබල් කෝච්චියක් එක්වූ ෆේස් ටු ෆේස්

ෆන්නෙකේ කට්ටියක් ෆිල්ම්මෙකක් ෆයිනල් කළයි කියන ආරංචියට ඒ දිහෑට කරපෙව්වාමයි දැක්කේ ඒක 'ෆ' යනු ලෝකයක් කියලා.

ආයෙ ඉතින් කට්ටියගෙ ෆන් ගැන සිතාගන්න අමාරුවුන් නෑ. ඉහින් කනින් ෆන් බේරෙන පිංපොංලා වගේ ෆන්බෝයිස්ලා එතැන එමට සිටියනේ. ඒ හැරෙන්නට ඒ ෆිල්ම්මෙකේ නමෙත් තිබුණේ එක්තරා ෆයනු හරඹයක්.

'ෆේස් ටු ෆේස්'

එහෙම ෆයනුවලින් පටන් ගත්තාට ඒ වැඩේ අගිස්සට යනකල් තියෙන්නේ ෆයනුම නෙවේ. ෆයනු අස්සේ පොඩි පොඩියට වෙනම විදියක ඩබල් ඩබල් යන ගතියකුත් පෙනුණා. ඒ මෙහෙම.

ෆන් පොරක්ම කියලා ඒ කෲ එකේ කට්ටිය හඳුන්වන මේ ෆිල්ම්මෙකේ ඩිරෙක්ටර්ගේ නම ඉදිරියෙන් තිබ්ච්ච 'එක' ඩබලක් වුණේ 'ෆේස් ටු ෆේස්' එක්ක. ඊට කලින් එයා හැදුවේ 'උලත් එකයි පිලත් එකයි' ෆිල්ම්මෙක. ඒ ෆිල්ම්මෙකේ නම අසද්දීම මේ කියන්න යන්නේ කා ගැන ද කියලාත් හුඟ දෙනෙකුට මීටර් වෙයි. ඒ හර්ෂ උඩකන්ද මිසක් වෙනින් කවුරුත් නෙවෙයි.

'නිදි ලෝකෙයි මේ ලෝකෙයි අතර මං එක රෑක ඇඳේ එහෙ මෙහෙ පෙරළි පෙරළි සිටියේ. ඒ වෙලාවෙයි මේ ප්ලොට්ටෙක ඔළුවට ආවේ. එතකොටයි මං මනෝ ලෝකේ නින්ද අතෑරලා මගේ පංචස්කන්ධෙයි, සිතයි සේරම උස්සන් ගිහින් කාමරේ ලියන මේසේ ළඟ නැවතිලා හරිබරි ගැසුණේ. ඒ රෑ මැදියමේ මං අතගැහැව්ව ඒ වැඩේ ඉවරකළේ හෝරා දෙක තුනකින්. ඒ නිදිවැරිල්ලෙ කෙළවර මට ඉතිරිවෙච්ච ශේෂ පත්‍රය වුණේ ෆේස් ටු ෆේස් තිරපිටපතේ සැකිල්ල.

ඊළගට මං සිතුවේ පොඩි නින්දක් දාන්ඩ. ඒත් නින්දත් නොනින්දත් අතරේ එළිවෙනකල් ගෙවිච්ච ඒ යාමේ පුරාම මගෙ ඔළුවෙ හොල්මන් කළේම තිර නාටකේ චරිත. පහුවදාට එළිය වැටෙද්දිත් ගිනිකබල වගෙ මගේ ඔළුව රත්කරන් ලබ්බෙ තොවිලෙ වගේ ඒ චරිත ඔළුගෙඩිය ඇතුළෙ යමරෙට වැඩ.

අන්තිමේ මං ගත්ත ඒකාධිපති තීරණේ වුණේ එවේලෙම සේරම අකුලන් දවස් තුන හතරකට රත්නපුරේ අපේ ගමේ යන්න. ඒ ගිහිල්ලත් මං තනි පංගලමෙ ඔට්ටු වුණේම ඔළුවෙ මෝරගෙන එන කතාවත් එක්ක. එහෙමයි මෙයා මේ වැඩේ පත්තු වුණේ.

ඉතින් එහෙමයි එයා (හර්ෂ) කියන විදියට ෆේස් ටු ෆේස් නැතිව සැබෑ ලෝකෙයි කල්පනා ලෝකෙයි, නින්දයි - නොනින්දයි, නගරයයි - ගමයි වටකරන් මේ කතාව ලියැවුණයි කියන්නෙ. ඒ වැඩේ නැඟලා යන්න දුන්න පිංපොංගේ (රජිත හිරාන්) මේ කමෙන්ටුවත් එක්කලා අපිත් ඒ වැඩේ හිටිය හුඟ දෙනෙකුත් එක්කලා යෙදුනේ ෆේස් ටු ෆේස් කතාබහක.

'එකෙන්ම හිට් වෙයි. කැත නැතිව මං ඇක්ට් කරපු ෆිල්ම්මෙකක් කියත හැකි. ඇයි ඉතින් එහෙම කියන්ඩත් ලැජ්ජා හිතෙන සමහර එව්වා තියෙනවානේ. එකෙන්ම හර්ෂ මේ වැඩේදී අපේ රටේ හුඟක් කොල්ලන්ට කෙල්ලන්ට ඒ කට්ටියගේ ඔළුවලින් කාලෙකට මැකෙන්නේ නැති ෆන්නෙකක්ම විතරක් නෙවෙයි මේක ඇතුලේ තියෙන ත්‍රාසය, කුතුහලය, උපහාසය, භීතියත් එක්කම එක විදියක සමාජ අවබෝධයකුත් එකෙන්ම දෙයි.'

අපිත් ෆේස් ටු ෆේස් ඩබල් ඩබල් විදියට විපරම් කරන් යන්දියි දැක්කේ ෆේස් ටු ෆේස් කතාව ඇතුළෙත් ඒ වගේ ඩබල් තියෙනවා කියලා. කොටින්ම කියනවා නම් මේ කතාවට ලොකු ගැම්මක් දෙන තැනක් වෙන්නේ ඩබල් ඇක්ටිං එකක්.

ඒ මිනීමරු, දාමරික, අජූත 'රෝස්'ගේ චරිතෙට හර්ෂ අන්දලා තියෙන්නේ සිංහල සිනමාවේ නව යොවුන් සිහින කුමරා කිරුළට හිමිකම් කිව්ව රොෂාන් රණවනව. ඒ දාමරිකයා එක පෙළට ඉවර කරන් එන මිනිස්සු ලැයිස්තුවේ ඊළඟ ගොදුර තමන් කියලා කල්තියා දැනගන්නේ ෆේස් ටු ෆේස් ෆිල්මෙකේ ප්‍රධාන නළු දිනිත්. රිදී තිරේ ළඟදී දිග හැරෙන්න නියමිත ආලෝකෝ උදපාදි සිනමා පටයෙන් වගේම කන්දක් සේමා, ඉත්තා, පැණි, මකුළුවෝ වගේ නිර්මාණවලින් ද දිනිත් ද සිල්වා අප හමුවන්නටයි නියමිත.

හර්ෂ උඩකන්ද දිනිත්ට ෆේස් ටු ෆේස් එකේ ඉරේෂ්ගේ මේන් රෝල්ලෙක බාර කරන්න කලින් ෆේස් බුක් එකෙන් එහෙමත් වැඩිදුරටත් සොයා බලලා තියෙනවා කියලයි දිනිත් කියන්නේ.

මේ ෆිල්ම්මෙකේ නිෂ්පාදකවරු දෙන්නයි. ඒ ඩබලත් මේ වැඩේදි එකට එකතුවෙන හුඟ දෙනෙක් වගේ තරුණයෝ. ඊටත් එහාට දුවන විශේෂත්වයක් වෙන්නේ ෆේස් ටු ෆේස් ඒ යොවුන් චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේත් දෙවැන්න වීම. ඒ පළමුවැන්න වෙන 'ඩොක්ටර් නවරියන්' ළඟදී තිරගත කරන්නට නියමිත චිත්‍රපටයක්. කොලිවුඩ් ආර ඇසුරින් නමුත් අනුකාරක නොවන මඟක් සොයන තවත් චිත්‍රපටයක් විදියට දැනටමත් ෆේස් ටු ෆේස් සඳහා කමෙන්ට් ලැබෙමින් පවතිනවා කියලායි අධ්‍යක්ෂ හර්ෂ කියන්නේ.

ෆ්ස් ටු ෆේස් ලොකේෂන්නෙකෙන් එකට අපි ගෑටුවේ කොළඹ අවට. ඒත් ඒ රූගත කිරිම් ඉවරයි කීවාට ඉවරම නෑ. සින්දු දෙකක් තියෙන ෆේස් ටු ෆේස් ෆිල්ම්මෙකේ ඒ සින්දු පසුබිම් කරන් කරන නැටුම්, ගැයුම් රංගන රූගත කරන්න ඒ කට්ටිය නවසීලන්තයටයි යන්නේ. එහෙම බලද්දී මේ ශ්‍රී ලංකාවයි නවසීලන්තෙයි රටවල් දෙකේදීම දුන්නු ෆේස් ටු ෆේස් වැඩක් වේවි.

දිනිත් රොෂාන් හැරෙන්නට නළු පිරිවරට මේ වැඩේදී එකතු වෙච්ච තවත් තරු අතරින් කෙනෙක් අමිල කරුණාරත්න. පොලීසියේ ඕ. අයි. සී කෙනකුට රඟන අමිල බොරලැස්ගමුව පැත්තේ පසුගිය දවස්වල ෂූටිං තියෙද්දි හිටියේ ඇත්තටම පොලීසියේ වගේ. නිතර බඩගිනි සෑදෙන අමිල ඒ පොඩි බඩගිනිවලා බඩට මුකුත් දාගන්න කාර්රෙකේ ගියෙත් පොලිස් කිට්ටෙකෙන්. වෙනදා දැකලා නැති ඒ අයි. පී. මහත්තයාට හන්දිවල කඩ පේළිවල හුඟ දෙනකුත් හොල්මං වෙලා සිටියේ. අමිලත් ජිම්වලට කාරිය ගිහින් කොණ්ඩා, රැවුළු කපලා පසුගිය ටිකේ එක විදියකට හිටියේත් හර්ෂ අමිලට බාර කරලා තිබිච්ච පොලිස් චරිතේ නිසා කියලා හුඟ දෙනෙක් දන්නැතිව ඇති. මිස්ටර් ශ්‍රී ලංකා (2007) කිරුළ දිනා ගත්ත අමිල රන්දෝණි ටෙලියේදී නගරයෙන් ගමට ඇදෙන ගුරුවරයකුගේ චරිතයකට පණ දෙමින් ඒ ගමේම ගුරුවරියකට ආදරය කරන පෙම්වතකු විදියටත් ළඟදීම පුංචි තිරෙන් අප හමුවන්න නියමිත බවත් ආරංචියි.

මේ ප්‍රේමවන්තයන්ගේ පෙම්බරියන් වෙච්ච සුරූපිණියන් පිළිබඳත් නොකිව්වොත් අඩුපාඩුවක් වේවි. දිනිත් එක්කලා ෆේස් ටු ෆේස් සිටිනා ප්‍රධාන නිළිය විදියට මේ ෆිල්ම්මෙකේදී අපට මුණගැසෙන්නේ ඕෂදී හිමාෂා. උදාරි පෙරේරා ජනප්‍රියත්වයකට පත්ව සිටිද්දී ඇයගේ සහෝදරී ෂෙහානි පෙරේරාවත් හර්ෂ මේ ෆිල්ම්මෙකෙන් සිනමාවට ගෙනෙනවා. මෝස්තර නිරූපණය අතරතුර කාර්යබහුල වටපිටාවක සිටියත් ආසාවෙන් හුඟක් කැපවීමෙන් භාග්‍යාගේ චරිතේ කළ බවයි ෂෙහානි අපිට කීවේ. ඒත් එක්කම ෂෙහානි යතුරු පැදි පදින්න ඉගෙන ගෙන තියෙන්නෙත් මේ ෆිල්ම්මෙකට ඒ හැකියාව තියෙන්නම ඕන වුණු නිසාලු.

නළු නිළියන් 300 ක් පමණ පිරිවරාගෙන ලෝකේ දියුණුම තාක්ෂණය යොදගෙන ලොකු වියදමකින් ෆේස් ටු ෆේස් හැදුවා කියලා තමයි හර්ෂ ඇතුළු ඒ වැඩේට බර පැන දැරුව කට්ටියත් කෙටියෙන්ම කියන්නේ. ඒ තුළ ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ ප්‍රවීණයන්ගේත් තවත් දක්ෂයන් රොත්තකගේත් වෙනස්ම රංගන සිනමාවෙන් දකින්න හීන දකින්න කියලායි ප්‍රේකෂකයන්ට ෆේස් ටු ෆේස් පරිවර කියන්නේ.

හර්ෂත් සමඟ උලත් එකයි පිලත් එකයි කියලා සංගීත වැඩ පාඩු කරන් අත්වැල් බැඳගත්ත නිරෝෂන් ඩ්‍රීම්ස් (ෆ්ලෑෂ් බැක් ඩ්‍රම්ස් වාදක) මේ වතාවේත් ෆේස් ටු ෆේස් හර්ෂට එක් වෙලා. හර්ෂගේ මේ අලුත් චිත්‍රපටයේදිත් සංගීත අධ්‍යක්ෂවරයා විදියට අප හමුවන්නේ නිරෝෂන්.

'සංගීත කණ්ඩායම මගේ ආත්මය . ඒත් හර්ෂ මාව විශ්වාස කරලා පැවරූ කටයුතුත් මං හැකි උපරිමයෙන් ඉටු කළා. කොහාමටත් මං ටිකක් පිච්චර් පිස්සෙක්. ගෙදරත් මට වෙනමම ඩී. වී. ඩී. එකතුවක් තියෙනවා. මං දවසකට ෆිල්ම් දෙකක් බලනවාමයි. මාස ගණනාවක් මං මේ ෆිල්ම්මෙකට කැප වෙලා වැඩ කළා. ඒ වැඩේදී මං ලෝකයේ විවිධ ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යයනය කෙරුවා. ඊට පස්සෙයි ෆේස් ටු ෆේස් ෆිල්ම්මෙකේ මියුසික් කළේ. ඒ නිරෝෂන්ගේ අදහස්. ඉරට්ට වගෙ හිටියට ඩී. බී. ගංගොඩතැන්න පට්ට බරයි කියලා අපට කිව්වේ මේ ෆිල්ම්මෙකේ රංගනයට එකතු වෙච්ච මාධ්‍යවේදී අසංක දේවමිත්‍ර පෙරේරා. එක සීන්නෙකකදී ගංගොඩතැන්නව උස්සලා කොන්දත් ඇඳුණා කියලයි අසංක අපිට කිව්වේ.

ෆේස් ටු ෆේස් ඇතුලේ ඇස් රතු වෙච්ච අකරතැබ්බත් නැතිව නෙවෙයි. ෂූටිං ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දි ෂූටිංවල අන්තිම දවසෙ රෑ මැදියමේදියි දුම් මැෂිමක් පිපිරුවේ. ඒ සිද්ධියෙන් පස්සේ කිහිපදෙනෙකුටම නවතින්න වුණේ ඉස්පිරිතාලේ. එක කොමඩි සීන්නෙකකදී එක නළුවකුගේ ඔළුව උඩ තියාගත්ත බිත්තරයක් කැත්තකින් බිඳින්න ගිහින් එක නිළියක් ඔළුවකුත් පැළුවාය කියලාත් ආරංචියි. ඒත් ඉතින් එව්වෑ ඇත්ත නැත්ත ඒ කතාවල තාර බර කෙච්චර ද කියන්න නම් අපි දන්නෑ. ඇයි ඉතින් ඒවා අපිත් දෑහින් දැක්කේ නෑනේ.

දිනිත් ද සිල්වා, ඕෂදි හිමාෂා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් රණවන, ෂෙහානි පෙරේරා, රජිත හිරාන්, අමිල කරණාරත්න, ඩී. බී. ගංගොඩතැන්න, රොහානි විරසිංහ, කුමාර වදුරැස්ස, කුමාර රණපුර, ජයතිස්ස අතුලසිරි, අනිල් ජයසිංහ, සුදත් විජේසේකර, රංජිත් පීරිස් ආදීහු ෆේස් ටු ෆේස් හි චරිත මවති.

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන ෆේස් ටු ෆේස් චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්නගෙනි. කැමරාවෙන් මහේෂ් කරුණාරත්න ද අංග රචනයෙන් රුක්මන් සමන්ප්‍රියද කලා අධ්‍යක්ෂණයෙන් සනත් ජානක ද සංස්කරණයෙන් තිවංක අමරසිංහ ද නිෂ්පාදන කළමනාකරණයෙන් ලලිත් නවරත්න ද සංගීත අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් ඩ්‍රීම්ස් ද නර්තන අධ්‍යක්ෂණයෙන් මල්ෂා රවිහාරි ද සටන් අධ්‍යක්ෂණයෙන් සමන්ත මායාදුන්න ද එක් වූ ෆේස් ටු ෆේස් නිෂ්පාදනය ෂර්මාල් ඩිල්ෂාන් සහ ගයාන් අබේවර්ධනගෙනි.