වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ඉස්සී කියන්නේ ආදරවන්තියක්

ඉස්සී කියන්නේ ආදරවන්තියක්

සයපෙති කුසුමේ පිපුණ යශෝධා

විසාකේස චන්ද්‍රසේකරන්ගේ ‘සයපෙති කුසුම’ චිත්‍රපටයේ ඉස්සී ඇයයි. රිදී තිරයට අලුතෙන් ම එකතුවන මේ සුන්දර යුවතිය යශෝධා රසඳුනීයි. තාරුණ්‍යයෙන් පිරිපුන් යුවතියක වූ යශෝධා සිය සිනමා ආගමනයේ අත්දැකීම් හා රංගනයේ අත්දැකීම් පිළිබඳ කතාබහක නිරත වූයේ මේ අයුරිනි.

* ඔබ රංගනයෙන් මුලින් ම සහභාගි වන්නේ වේදිකාව සඳහායි?

ඒ ප්‍රවීණ නාට්‍යවේදී සෝමලතා සුබසිංහයන්ගේ යොවුන් හා රංග පීඨයටයි. ඉන් කෙරෙන ‘හිම කුමාරි’ ළමා නාට්‍යයටයි මා මුලින්ම සහභාගි වන්නේ. එතැන් සිට අනෙකුත් නාට්‍ය රැසකට ම මගේ රංගන දායකත්වය හිමි වෙනවා. ඒ සිටින විටදියි ‘සයපෙති කුසුම’ චිත්‍රපටයට සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබෙන්නේ.

* යොවුන් හා රංග පීඨයට ඔබ යොමුවන්නේ කෙසේ ද?

නදී කම්මැල්ලවීර කියන්නේ අපේ පවුලේ හිතවතියක්. දවසක් අපි සියලුදෙනා එකතුවුණු අවස්ථාවකදි මුණ ගැසෙන කෞශල්‍යා ප්‍රනාන්දුයි ඔවුන්ගේ වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වීමට මට ආරාධනා කරන්නේ. ඒ අනුවයි මා ඒ රංග පීඨයෙන් කෙරෙන රංගන කටයුතු සඳහා දායක වන්නේ.

* කවදා හෝ රංගනයෙන් ඉදිරියට යෑමට ද ඔබගේ අදහස් පෙළ ගැසී තිබුණේ?

මා පාසල් ගියේ අනුලා විද්‍යාලයටයි. ඒ කාලයේ දී මා පාසලේ හැදෑරුවේ නර්තනය විෂයයි. පුංචි කාලයේ දී පටන් නර්තන කටයුතුවල නියැළී සිටි නිසා රංගනය තිබුණේ දුරකයි. අඩුම ගණනේ මා පාසල් වේදිකාවේදිත් රංගනය සඳහා සහභාගී වී නැහැ. උසස් පෙළදිත් නර්තයයයි හැදෑරුවේ. මේ වනවිටත් මා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ශිෂ්‍යයාවක්.

* මේ අතර ඔබට ‘සයපෙති කුසුම’ට ආරාධනා ලැබෙනවා?

මේ චිත්‍රපටයේ ඉස්සීගේ චරිතය මට ලැබෙන්නේ නදී කම්මැල්ලවීර හරහා. ඉස්සිගේ චරිතය ගැන විසාකේස නදී කම්මැල්ලවීරට කියලා තිබුණා. ඈ මේ චරිතයට මා ඇතුළු ගැහැනු ළමයි කිහිපදෙනෙකු ම යෝජනා කරලා තිබුණා. ඒ අනුව තිබුණු හමුවේදී ඉස්සිගේ චරිතයට අධ්‍යක්ෂවරයා විසින් මා තෝරා ගත්තා.

සයපෙති කුසුම චිත්‍රපටයෙන්...

* චිත්‍රපටයකට රංගනයෙන් දායක වීම සම්බන්ධයෙන් නිවැසියන්ගෙන් යම් අකැමැත්තක් එල්ල වූවා ද?

නැහැ. මේ චිත්‍රපටයේ ඉස්සීගේ චරිතය රඟපෑම ගැන තීරණයකට පිවිසයේ මමමයි. අධ්‍යක්ෂවරයා මේ කතාව ගැන මුලින් ම මට පැවසුවා. ඊට පසුවයි මට පිටපත ලැබුණේ.

* රූ ගත කිරීම් කිරීමට පෙර කුමක් ද සිදුවුණේ?

ඊට පෙර අධ්‍යක්ෂවරයා අප සියලුදෙනා ම කැඳවලා වැඩමුළුවක් තිබ්බා. මට රඟපෑමට තිබුණේ ජෙහාන් හා දසුන් කියන සහෝදර රංගන ශිල්පීන් දෙදෙනා සමඟයි. ඒ වනවිටත් වේදිකාවේදී මා ඔවුන් දෙදෙනා ව හඳුනාගෙනයි සිටියේ. ඒ නිසා මට ඔවුන් සමඟ රඟපෑමට යම් පහසුවක් දැනුණා.

* ඉස්සී කියන්නේ ආදරවන්තියක්. ඔබත් ඒ වනවිටත් ආදරවන්තියක් ද?

ඇත්තට ම ඔව්. ඒ වනවිටත් මා ආදරවන්තියක්. නමුත් චිත්‍රපටය කියන්නේ මට අලුත් අත්දැකීමක්.

* ඔබ ඉස්සීගේ චරිතය ප්‍රතිනිර්මාණ කළේ කොහොම ද?

රංගනයේ දී ඉස්සීගේ චරිතයට මගේ අත්දැකීම් එකතු කරනවා වගේ ම ඒ චරිතයෙනුත් මගේ ජීවිතයට මා බොහෝ දේවල් ලබා ගත්තා. ඒ චරිතය ගොඩනඟා ගැනීමට මට අධ්‍යක්ෂවරයාගෙනුත් සහය ලැබුණා.

* මේ චරිතය ගොඩනඟා ගැනීමේදී ඔබට ජෙහාන් හා දසුන්ගෙන් ලැබුණු සහයෝගය මොනවගේ ද?

ඔවුන් දෙදෙනා මගේ හොඳ යහළුවන් නිසා මේ චරිතය රඟපෑමේ දී මගේ සිතට කිසිම බියක් දැනුණේ නැහැ. ඒ තිබුණු හිතවත්කම නිසයි ඔවුන්ට ළංවෙලා, විශ්වාසවන්තව ඒ චරිතය රඟපෑමට මට හැකියාව ලැබුණේ.

* මෙහි සිපගැනීමේ සිදුවීමකටත් ඔබ මුහුණ දෙනවා?

අතිරේක සිදුවීමක් විදියටයි මට ඒ කාරණය දැනුණේ. ඒ සිදුවීම චිත්‍රපටයට අවශ්‍ය ම දර්ශනයක්. එවැනි දේ ලොකු කරගත්තොත් තමයි ප්‍රශ්නක් බවට පත්වන්නේ. මා කළේ රංගනයක්. ඒ වගේ ම දසුන් පිළිබඳ මට ලොකු විශ්වාසයක් තිබුණා.

* තවමත් ඔබ යුවතියක්. මවක් වීමේ අත්දැකීමට ඔබ මුහුණ දුන්නේ කෙසේ ද?

සැබෑ ජීවිතයේ දී අප මව්වරු ඕනෑ තරම් දැකලා තිබෙනවා. ඔවුන් දරුවන් සුරතල් කරන විදිය අප දැකලා තිබෙනවා. ඒ අත්දැකීම් මට තිබුණා. ගර්භණී කාන්තාවකගේ චරිත නිරූපණයේ දී නම් මට ඒ ගැන අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට සිදුවුණා. එවැනි කාන්තාවක් ඇවිදින විදිය, ඒ අවස්ථාවලදි දැනෙන හැඟීම පිළිබඳ ඒ කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් ම අදහස් ලබාගත්තා.

* සත්‍ය ජීවිතයේ දී ඉස්සී හෙවත් සරසි වුණා නම් ඔබ කුමක් ද කරන්නේ?

සරසිට මැදිවන්නට සිදුවන්නේ පුරුෂයන් දෙදෙනෙකුගේ ආදරයටයි. ඈට ඒ අත්දැකීම අලුත් ම අත්දැකීමක්. ඒ වගේ ම ඈ සම්ප්‍රදායික කාන්තාවක්. මා සරසි වුණා නම් කරන්නේ ඒ කාරණය ගැන දැනගෙන විවෘතව කතාබහ කිරීමයි. ඒ අනුව ඔවුන්ට ඉඩදී නලින් සමඟ විවාහ නොවී සිටීමයි මා නම් කරන්නේ.

* නමුත් බොහෝ යුවතියන්ට එවැනි කාරණයක් පිළිබඳ දැනගැනීමට ලැබෙන්නේ විවාහයෙන් පසුවයි?

මම හිතන්නේ විවාහයට පෙර දෙදෙනා ම බොහොම විවෘතව කතාබහ කළ යුතුයි. අනෙක් කාරණය නම් ජීවිතය කියන්නේ එයයි. අප බලාපොරොත්තු වන දේම ජීවිතයේ දී ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයකට මුහුණ දීමයි අප කළ යුත්තේ.

* සරසි සිය ජීවිතයේ දී ගන්නා තීරණයට ඔබත් එකඟවෙනවා ද?

ඇත්තට ම සරසි කියන්නේ ශක්තිමත් කාන්තාවක්. ඈ අවසානයේ සියල්ලට ම ශක්තිවන්තව මුහුණ දෙනවා. ජීවිතයේ නියම තත්ත්වය කුමක් ද කියලා ඈ අවබෝධ කරගන්නවා.

* එවැනි ගැටලුවක දී සමාජයේ වෙසෙන්නන් දරන්නේ වෙනස් ම මතයක් විය හැකියි. කාන්තාවක් තමන්ට සිදුවන සියල්ලක් ම දරාගෙන සිටිය යුතුයි කියන මතයේ සිටියොත් ඔබ කුමක් ද පවසන්නේ?

කිසිවකුත් දරාගැනීමට නොහැකි දේවල් දරාගත යුතු නැහැ. තමන්ට කැමැති දේ කළ යුතුයි. එහෙත් ඒ සියල්ල අප කළ යුත්තේ අනෙක් කෙනාට කරදරයක් නොවන ආකාරයෙන්. ඒ වගේ ම ජීවිතය විඳවන්නේ නැතිව විඳීය යුතු බවයි මා සිතන්නේ. අනෙක් කාරණය නම් අප සැලසුම් කරන විදියට ම අපේ ජීවිතයේ සියල්ල සිදු නොවන බවත් මතකයේ තබා ගත යුතු කාරණයක්.

* ඔබත් ආදරවන්තියක්. ඔබ සිටින්නෙත් ඒ අදහසේ ම ද?

මමත් ආදරවන්තියක්. අපේ සම්බන්ධතාවයේ ගනුදෙනුව තවමත් ඒ ආකාරයෙන් ම සිදුවෙනවා. ඉදිරියේ දී මොනවගේ දේවල්වලට අපට මුහුණ දෙන්නට වෙනවා ද කියලා නම් කිසිවකුටත් කියන්න බැහැ. ඒ සියලු දේවල්වලට මුහුණ දීමට මා මඟ බලාගෙන ඉන්නවා.

* ඔබගේ පෙම්වතා ඉස්සීගේ චරිතය රඟපානවාට කැමැත්ත පළ කළා ද?

ඔහුත් වේදිකාවේ සිටින රංගන ශිල්පියෙක්. ඒ නිසා දෝ මා ගැන හොඳ අවබෝධයෙනුයි කාලය ගතකරන්නේ. පසුගිය කාලයේ මේ චිත්‍රපටය තිරගත වුණු සෑම අවස්ථාවක ම ඔහු මාත් සමඟ සිටියා. ඒ වගේ ම ඔහුටත් කිසිවක් බලහත්කාරයෙන් තියාගන්න උවමනාවක් නැහැ. කොහොමත් බලහත්කාරයෙන් තියා ගැනීමට ගියාමයි බොහෝ ප්‍රශ්න පැන නැඟෙන්නේ.

* සමාජයෙන් ඔබගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මොනවගේ ද?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මහජන ප්‍රදර්ශනයට පෙර කිහිපවතාවක් ම ‘සයපෙති කුසුම’ තිරගත වුණා. ඒ නිසා කිහිපදෙනෙකු ම මාව හඳුනාගෙනයි සිටියේ.

* ඔබට අධ්‍යක්ෂවරයාව දැනුණේ කුමන ආකාරයෙන් ද?

ඔහු මනුෂ්‍යත්වයෙන් පිරුණු කෙනෙක්. ගැහැනු, පිරිමි භේදයක් නැතිව හැමෝටම ඇහුම්කන් දෙන, හොඳ ඉවසීමක් තිබෙන, හැමකෙනෙකුමත් එක්ක ම ගනුදෙනු කළ හැකි කෙනෙකු විදියටයි මා ඔහු දුටුවේ. රූගත කිරීම් කරන කාලය ඇතුළේ අපි සියලුදෙනා ම වැඩකළේ කණ්ඩායමක හැඟීමෙන්. චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වෙලා කාලයක් ගතවුණත් අද වනවිටත් අප අතර ඒ කණ්ඩායම් හැඟීම් තිබෙන්නේ ඔහු නිසයි.

* ඔබට, භූමිව ඇසුරු කිරීමට ලැබෙන්නේත් මේ නිර්මාණය හරහායි?

සංක්‍රාන්තික පුද්ගලයකු ඇසුරු කිරීමට ලැබෙන්නේ මේ නිර්මාණය හරහා. මා ඈව හඳුන්වන්නේ කාන්තාවක්. ගැහැනියක්. කිවිඳීයක් විදියටයි. ඒ වගේ ම ඈ නිර්ව්‍යාජ මිතුරියක්. විනිවිද භාවයකින් ඇසුරු කළ හැකි මිතුරියක්.

* ඉදිරියේ දී අපට ඔබව දකින්නට ලැබෙන්නේ වෘත්තිය රංගන ශිල්පිනියක් විදියට ද?

මා කැමැති එක ම දේ රංගනයයි. එහෙත් වෘත්තිය විදියට රංගනයේ නියැළීම කළ හැකි ද කියන ප්‍රශ්නය පැන නැඟෙනවා. ඒ නිසයි මා උපාධිය හදාරන්නේ.

* මේ වනවිට ටෙලි නාට්‍ය සඳහාත් ඔබ රංගනයෙන් දායක වී තිබෙනවා නේද?

ඔක්ෂාන්ගේ ‘ගොළු තාත්තා’ කියන ටෙලි නාට්‍යයට මා රංගනයෙන් දායක වුණා. මා රඟපෑ ලලිත් රත්නායකගේ ටෙලි නාට්‍යයක් ඉදිරියේ දී පැමිණීමට නියමිතයි.