වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මෙරට ප්‍රථම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව කුමක්ද?

මෙරට ප්‍රථම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව කුමක්ද?


අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - දිලිප් කුමාර් රඟපෑ ‘සංඝර්ෂ’ නමැති චිත්‍රපටය කලකට ඉහදී තිරගත වුණා. එය නවකතාවක් ඇසුරින් තැනුණු චිත්‍රපටයක්ද?
පිළිතුර -
ඔව්. එය මෑතකදී මියගිය මහේෂ්වතා දේවිගේ ප්‍රකට බෙංගාලි නවකතාවක්.

නාත්තන්ඩියේ ඉන්ද්‍රනාථ බුලේගොඩ
ප්‍රශ්නය - ඔපෙරා ගායිකාවක් වන්ට පිටරට ගිය ඉන්ද්‍රචාපා බුලත්සිංහල දැන් කෝ? ඇය ඔපෙරා ගායිකාවක් වෙලාද?
පිළිතුර -
ඔබේ ප්‍රශ්නය ඇතුළේ කිසියම් සරදම් ස්වරූපයක් පෙනෙනවා. ඇය ලෝක ප්‍රකට සංගීතවේදී සර්ජි ප්‍රොකොෆීව්ගේ ‘වෝර් ඇන්ඩ් පීස්’ ඔපෙරාවේ නතාෂාගේ චරිතය පවා රඟපෑ බව ඔබ දන්නවා. ‘හූ’ කියන එකත් ඔපෙරා ගායනයක්දැයි ඇසූ මුග්ධයනුත් අපේ රටේ ඉන්නවා නොවැ.

මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - ලෝකයේ මුල්ම සිනමාහල කුමක්ද?
පිළිතුර -
ඇමරිකාවේ ‘නිකලෝඩියන්’. එය 1906 දී පිහිටුවන ලද්දක්. ‘නිකල්’ කියන්නේ ඇතුළුවීමේ ගාස්තුවේ වටිනාකම ඇති කාසිය. ‘ඕඩියන්’ නමැති ග්‍රීක් වචනයේ අරුත නෘත්‍ය ශාලාව යන්න. ඒ අනුවයි මේ නම හැදිලා තියෙන්නේ.

ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්‍රශ්නය - නෙවිල් ප්‍රනාන්දු ගයන ‘පනම් අටෙන් මට වැඩිකර දුන්න’ ගීතයේ එන ‘පනම’ යනු කවර මුදල් ප්‍රමාණයක්ද?
පිළිතුර -
ඉංග්‍රිසි යටත් විජිත යුගයේ තිබුණේ සල්ලිය, තුට්ටුව, පැන්සය, පනම, සිලිම, රිදී පහ වශයෙන් මුදල් ක්‍රමයක්. මේ අනුව ශත හතර පැන්සය ලෙසත් ශත හයට ‘පනම’ කියාත් යෙදුණා. ඒ අනුව පනම් අට කිව්වේ ශත 48 ට.

වස්කඩුවේ දෙදියවල ගාමිණී ගුණතිලක
ප්‍රශ්නය - මෙරට පවත්වන ලද ප්‍රථම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව කුමක්ද?

පිළිතුර - කැනේඩියානු විශේෂඥයකු වූ වොනර් ට්‍රොයර් 1980 දී එඩ්වින් ආරියදාස සමඟ අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රතිපත්ති ගැන කළ සම්මුඛ සාකච්ඡාව. ට්‍රොයර් මෙරටට ආවේ ආධුනිකයන්ට රූපවාහිනී මාධ්‍ය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුමක් ලබාදීමටයි. ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට ඉදි කළ විශේෂ පසුතලයකදී මේ සාකච්ඡාව රූපගත කෙරුණා.

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - මෙරට සිනමාවේ ගාමිණි, ජෝ, ටෝනි මෙන් හින්දි සිනමාවේ මහා නළුවන් තිදෙනා කවුද? ඔවුන් තිදෙනා එකට රඟපෑ චිත්‍රපට තිබෙනවාද?
පිළිතුර -
දිලිප් කුමාර්, රාජ් කපූර්, හා දේව් ආනන්ද. ඒත් පුදුමයට වගේ ඔවුන් තිදෙනාම එකට රඟපෑ චිත්‍රපටයක් හැදුණේ නැහැ. දිලිප් හා දේව් නම් ‘ඉන්හාතියාට්’ චිත්‍රපටයේ එකට රඟපෑවා. රාජ් හා දිලිප් අන්දාස් චිත්‍රපටයේ රඟපෑවා.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.