වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




කස්ත්‍රෝ වටා චිත්‍රපට

කස්ත්‍රෝ වටා චිත්‍රපට

ලොව එක්තරා යුගයක අවසානයක් සළකුණු කළා සේය. කියුබාවේ හිටපු ජනපති ෆිදෙල් කැස්ත්‍රෝ පසුගියදා සිය ජීවන ගමනින් සමු ගත්තේය. තම ශක්තිමත් ජීවිතය සමඟින් කැස්ත්‍රෝ, අසාධාරණයට එරෙහිව සටනක් දියත්කර ජයග්‍රහණය කළේය. විසිරුණු යටි රැවුල, කැප් තොප්පිය, හවානා සුරුට්ටුව ඔහුටම අනන්‍යවූවා සේය. සෑම ඡායාරූපයකම කැස්ත්‍රෝ දකින්නට ලැබුනේ එලෙසිනි.

1926 අගෝස්‌තු 13 වැනිදා කියුබාවේ බයිරන් හිදී උපත ලද ඔහු හවානා විශ්වවිද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලබා නීතිඥයකු බවට පත් වුවද එවකට පැවති බැටිස්ටාගේ පාලනයට මෙන් කියුබාව වෙත වූ අමෙරිකානු අතපෙවීම්වලට විරුද්ධව සටන් කළේය. 1952 වසරේදී දේශපාලයට පිවිසියද පාලක බැටිස්ටා විසින් කැස්ත්‍රෝගේ ගමන වළකාලන පරිදි ඡන්දය අවලංගු කළේය.

කෙසේ නමුත් කැස්ත්‍රෝ තමන් ඉදිරියට තැබූ පය යළි කිසිවිටෙක් පසුපසට නොගත්තේය. එය සියල්ලන්ටම හඟවනු පිණිස හේ තම කණ්ඩායමද සමඟින් 1953 ජූලි 26 වැනිදා මොන්කාඩෝ හමුදා බැරැක්‌කයට පහර දුන්නේය. එහිදි පරාජයට පත් වූ ඔහු හමුදා අත්අඩංගුවට පත් වී පහළොස් වසරක සිර දඬුවමක් නියම විය. "ඉතිහාසය විසින් මා නිදොස් කරනු ඇත"  (History Will Absolve Me)  යනුවෙන් ඔහු බැටිස්ටා පාලනයට අභියෝග කළේය. කියුබානු සමාජවාදි විප්ලවයේ නායකයා ලෙසින් හඳුන්වන ඔහුට ඇතැම්හු ඒකාධිපතියා ලෙසින්ද නම් පටබැන්ඳේය. මේ අතරේ විවිධ ජනප්‍රිය චරිත මූලිකකර ගනිමින් ඔවුන්ගේ ජීවිතකතා ඇසුරෙන් නිර්මාණ කරන්නටද ඇතැම් සිනමා නිර්මාණකරුවන් යුහුසුළු වූහ. ඒ අනුව ෆිදෙල් කැස්ත්‍රෝ සහ ඔහුගේ විප්ලවාදී ජීවිත කතාව ඇසුරින්ද විවිධ සිනමා නිර්මාණ රිදී තිරයේ දිග හැරුණි.

Fidel: The Untold Story  එවැනි එක් වාර්තා චිත්‍රපටයකි. 2001 වසරේදී තිරගත වූ මෙය අධ්‍යක්ෂණය කෙරුණේ, එස්ටෙලා බ්‍රවෝ විසිනි. වසර හතලිහක කියුබානු විප්ලවය සමඟින් කුතුහලයෙන් පිරි කැස්ත්‍රෝගේ ජීවිතය ගැන එයින් කියවේ. නෙල්සන් මැන්ඩෙලා, ගේබ්‍රියල් ගාර්සියා මර්කේසි, ටෙඩ් ටර්නර්, මොහොමඩ් අලී වැනි අයගේ ද සම්මුඛ සාකච්ඡා මෙහි ඇතුළත් වේ.

2002 වසරේදී නිර්මාණය වූ Fidel කෙටි රූපවාහිනි කතා මාලාව අධ්‍යක්ෂණය කළේ ඩේවිඩ් ඇට්වුඩ් විසිනි. මිනිත්තු දෙසීයක් පුරා දිවෙන මෙම මෙය රචනා කළේ ස්ටෙෆන් ටොල්කින් විසිනි. කැස්ත්‍රෝගේ කියුබානු විප්ලවය සහ දේශපාලන සටන මෙහි නිරූපණය වේ. මෙහි කැස්ත්‍රෝගේ චරිතයට පණ වික්ටර් හියුගෝ මාර්ටින් ය.

චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවර් ස්ටොන් විසින් අධ්‍යක්ෂණ කළ Comandante දේශපාලන වාර්තා චිත්‍රපටයද විවිධ මාතෘකා ඔස්සේ ෆිදෙල් කැස්ත්‍රෝ සම්මුඛ සාකච්ඡාවට ලක් වේ. මේ වෙනුවෙන් ස්ටෝන් ඇතුළු චිත්‍රපට කණ්ඩායම කියුබාවට ගොස් කැස්ත්‍රෝ සමඟින් දින තුනක් ගත කළේය. 2003 වසරේදී සෝන්ඩන්ස් චිත්‍රපට උලෙළේදී එහි මංගල දර්ශය සිදු විය.

2004 වසරේ තිරගත වූ Looking for Fidel නම් වාර්තා චිත්‍රපටය ඔලිවර් ස්ටොන් විසින් Comandante වාර්තා චිත්‍රපටයේ දෙවැන්න ලෙසින් නිර්මාණය කළේය. 2003 වසරේ සිදු වූ ෆෙරී බෝට්ටු පැහැර ගැනීම සහ පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්වීම සමඟින් තවත් දේශපාලන කාරණා කිහිපයක් ගැන මෙහි අවධානයට ලක් විය.

ෆිදෙල් කැස්ත්‍රෝ මරා දැමීමට කළ උත්සාහයන් ගණනාවක් ගැන ද වාර්තා වේ. මේ අනුව අමෙරිකානු රහස් ඔත්තු සේවා විසින් වාර ගණනාවකදී කැස්ත්‍රෝ ඝාතනය කිරීමට උත්සාහ ගත් බවට සැක කෙරේ. ඒ අතරේ ඔහුගේ පෙම්වතිය පවා වරෙක ඔහු මරා දැමීමට ගත් උත්සාහයක් ගැනත් සඳහන්. මෙම ඝාතන තැත හෙළි වූ පසු කැස්ත්‍රෝ විසින් මාරිටා ලෝරෙන්ස් නම් තම පෙම්වතියගේ අතට තමාගේ පිස්තෝලය දුන් බවත් ඇය පසුව මාධ්‍ය වෙත පවසා තිබුණා. 638 638 Ways to Kill Castro වාර්තා චිත්‍රපටය එලෙස කැස්ත්‍රෝ ඝාතනය කිරීමට ගත් උත්සාහයන් සහ කියුබාවේ දේශපාලන පරිණාමය ගැන කියවෙන්නක්.

රොබට් ඩි නීරෝ අධ්‍යක්ෂණය කර 2006 වසරේදී තිරගත වූ The Good Shepherd  චිත්‍රපටය අමෙරිකානු රහස් ඔත්තු සේවා ආරම්භය ගැන කියවෙන්නක්. මෙහිදී කියුබානු නායක කැස්ත්‍රෝගේ චරිතයත් විශේෂ වීය. මැට් ඩෙමෝන්, ඇන්ජලීනා ජොලි මෙහි ප්‍රධාන චරිත රඟදැක්වූහ. ෆිදෙල් කැස්ත්‍රෝගේ චරිතයට පණ පෙවූයේ ඇලෙක් වොන් බාර්ගෙන් විසිනි.

පිදෙල් කැස්ත්‍රෝ පිළිබඳ කතා කරන විට අර්නෙස්ටෝ චේ ගුවේරා ගැනද කතා නොකරම බැරිය. කැස්ත්‍රෝහට ආර්ජන්ටිනානු වෛද්‍යවරයෙකු මෙන්ම මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ චේ හමු වෙන්නේ මොන්කාඩෝ පහරදීම නිසා ලද පහළොස් වසරක සිර දඬුවමක් තීන්දු වුවද දෙවසකරට පසු ලද නිදහසෙන් පසු මෙක්සිකෝවට පලා යන විටදීය. චේ සමඟින් යළිත් කියුබාවට පැමිණි කැස්ත්‍රෝ බැටිස්ටාගේ පාලනයට විරුද්ධව සටන් දියත් කළේය.

රිචඩ් ෆ්ලිස්චර් විසින් අධ්‍යක්ෂණය කර 1969 වසරේදී තිරගත වූ ඛ්ඩඥ චිත්‍රපටයේද ෆිදෙල්ගේ චරිතය ඇතුළත් වී ඇත. චේ ගුවේරාගේ ජීවිත කතාව ගැන කියවෙන මෙම චිත්‍රපටයේ දී ඔමාර් ශරීෆ් චේගේ චරිතයට පණ පෙවූ අතර කැස්ත්‍රෝගේ චරිතයට පණ පොවන්නේ, ජැක් පැලන්ස් විසිනි. මෙම චිත්‍රපටය විවේචකයන්ගේ දැඩි විවේදනයට ලක් වූ චිත්‍රපටයකි.

ස්ටීවන් සෝඩර්බර්ග් විසින් අධ්‍යක්ෂණය කර 2008 වසරේදී තිරගත වූ Che චිත්‍රපටයද ෆිදෙල් කැස්ත්‍රෝ සිනමාවට පිවිසි තවත් අවස්ථාවක් වන්නේය. කොටස් දෙකකින් යුක්ත වූ මෙට පැය හතරක ධාවන කාලයකින් යුක්ත විය. ඩේල් ටෝරෝ චේ ගේ චරිතයට පණ පොවන විටදී කැස්ත්‍රෝගේ චරිතයට පණ පෙවූයේ මෙක්සිකානු නළු ඩේමියන් බිචීර් විසිනි. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ ගණානවක විචාරකයන්ගේ ඉහළින් පැසසුම් ලද චිත්‍රපටයක් බවට පත්විය.

සිනමා නිර්මාණ සඳහා මාතෘකා වූ ෆිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවකාරයකු ලොව තවත් සිටී දැයි සැක සහිත බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. කෙසේ නමුත් කැස්ත්‍රෝගේ සම්පූර්ණ ජීවිත කතාව සිනමා තිරයට ගෙන ඒමට තවමත් කිසිදු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සමත් වී නොමැති බවද කිව යුතුමය.